ජපානයේ ප්‍රබල භූ කම්පනය එරට භූමියේ පිහිටීම වෙනස් කරයි

ඡායාරූප මූලාශ්‍රය, EPA
ජපානයේ සිදුවූ ඒකක 7.5ක භූ කම්පනයේ ප්‍රබලත්වය කොපමණ ද යන්න, පොළොවේ පිහිටීම වෙනස් වී ඇති පරිමාණයෙන් විද්‍යාමාන වේ.
ස්ථාන කිහිපයක දී එය මීටර් හතරට (අඩි 13) වඩා ඉහළට එසවී ඇති අතර මීටරයකට වැඩි දුරකින් පසෙකට තල්ලු වී ඇත.
නිරන්තරයෙන් භූ කම්පනවලට ගොදුරු වන ජපානය භූ චලන හටගැනීමේ දී සිදුවන දෑ නිරීක්ෂණය කිරීමෙහි ලා ඉතා දියුණු ය. එතරම් නිවැරදි මිනුම් ලබා ගැනීමට ඔවුන්ට හැකිවී ඇත්තේ එනිසා යි.
ජපානය පුරා උපායමාර්ගිකව ස්ථාපනය කර ඇති GPS මධ්‍යස්ථාන ජාලයක් තිබේ. භූ කම්පනයක් සිදුවූ විට, විද්‍යාඥයින්ට එම එක් එක් මධ්‍යස්ථානවල පිහිටීම කොපමණ දුරකින් වෙනස් වී ඇති ද යන්න නිවැරදිව පැවසිය හැකි ය. එමඟින් පෘථිවි පෘෂ්ඨය විරූපණය වී ඇති ආකාරය සහ තිරස් අතට ගමන්කර ඇති ආකාරය පෙන්වයි.
සඳුදා ඇති වූ භූ කම්පනයෙන් පසු එරට භූමිය සෙන්ටිමීටර 130ක් පමණ බටහිර දෙසට තල්ලු වී ඇති ආකාරය මෙම පද්ධතිය මඟින් පෙන්නුම් කරයි.
මේ අතර, භූ කම්පනයට පෙර සහ පසු ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප සංසන්දනය කරමින් විද්‍යාඥයෝ අභ්‍යවකාශයේ සිට ද ජපානය ගැන අවධානයෙන් සිටිති.
කම්පනය නිසා යෙදුණු බලයෙන් පෘථිවි පෘෂ්ඨය ඉහළට එසවී ඇති හෙයින්, එය සහ පොළව අතර දුර අඩුවී ඇති බව ALOS-2 අභ්‍යවකාශ යානය එහි නවතම ගමන් වාරයේ දී වාර්තා කළේ ය.
භූමියේ පිහිටීම වැඩි වශයෙන් වෙනස් වී ඇත්තේ නෝටෝ අර්ධද්වීපයේ බටහිර ප්‍රදේශයේ ය. වෙරළාසන්නයේ වූ සාගර පතුලේ පිහිටීම ද, සෙන්ටිමීටර 80ක් පමණ උස සුනාමි රළ ජනනය කරමින් වෙනස් විය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එක් මරණයක් සිදුවීම පවා ඛේදජනක නමුත්, තවමත් සුන්බුන් අතර සිරවී සිටින අය සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් තිබියදීත්, මරණ සුළු ගණනක් පමණක් සිදුව ඇති ආකාරය කැපී පෙනේ. අලාභ හා හානි නිරූපක පුරෝකථනය කර ඇත්තේ, අවසානයේ දී සමස්ථයක් වශයෙන් එම ගණන උපරිම ලෙස සියයකට ආසන්න වනු ඇති බව ය.
මෙම සිදුවීම පසුගිය වසරේ තුර්කියේ සිදු වූ ඒකක 7.8 භූ කම්පනය සමග සංසන්දනය කිරීම වටියි. මුදා හරින ලද ශක්තිය අනුව භූ කම්පන ද්විත්වය ම බොහෝ සෙයින් සමාන වූ නමුත්, තුර්කියේ සහ සිරියාවේ මරණ සංඛ්‍යාව 50,000කටත් වඩා ඉහළ අගයක් ගත්තේ ය. 2010 වසරේ හයිටියේ සිදු වූ ඒකක 7 භූ කම්පනය දෙස ආපසු හැරී බලමු. එම බිහිසුණු සිදුවීමෙන් 100,000කට වැඩි පිරිසක් මියගියහ.
එම වෙනසට හේතු පැහැදිලි කිරීම සරල ය: පිළිතුර සූදානම ය.
ජපානය පිහිටා ඇත්තේ, විශාල භූ තැටි හතරක් ඡේදනය වන ස්ථානයක ය. එය පෘථිවියේ භූ කම්පන සම්බන්ධයෙන් වඩාත් ම ක්‍රියාකාරී ප්‍රදේශයකි; ඒකක 6.0ක හෝ ඊට වැඩි අගයක ගෝලීය භූමිකම්පාවලින් 20%ක් පමණ එරට තුළ සිදු වන අතර, භූ කම්පන මානවලින් සාමාන්‍යයෙන් සෑම මිනිත්තු පහකට වරක් යම් ආකාරයක සිදුවීමක් වාර්තා කරයි. එබැවින් ජපානය එරට යටිතල පහසුකම් සහ ජනතාව ඒවාට සූදානම් කර, ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇත.
ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා අනුගමනය කළ යුතු නීති ජපානය තුළ දැඩි ලෙස ක්‍රියාත්මක වේ. භූ කම්පනවලට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳව ද පුරවැසියන් හොඳින් පුහුණු කර ඇත. ජපානයේ ලෝකයේ වඩාත් ම දියුණු පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ද ඇත.
විද්‍යාඥයින්ට සිදුවීමක වේලාව සහ පරිමාණය පුරෝකථනය කළ නොහැකි නමුත් එවැන්නක් සිදුවන විට අදාළ උපකරණ රූපවාහිනිය, ගුවන්විදුලිය සහ දුරකතන ජාල හරහා දැනුම්දීම් සිදු කරනු ඇත. මෙම අනතුරු ඇඟවීම් භූ කම්පනයේ අපිකේන්ද්‍රයට ඈත සිටින ඇතැම් පුද්ගලයන්ට බොහෝ විට දරුණු කම්පන ආරම්භ වීමට තත්පර 10-20 කට පෙර ළඟා වනු ඇත.
එය ප්‍රමාණවත් කාලයක් ලෙස නොපෙනුන ද, ප්‍රදේශයේ ගිනි නිවන මධ්‍යස්ථානයේ දොර විවෘත කිරීමට, අධිවේගී දුම්රියක තිරිංග යෙදීමට සහ සෑම කෙනෙකුට ම "දෑත් සහ දණහිස් බිම තබා පහත් වීමට (drop), එක් අතක් භාවිත කර හිස සහ බෙල්ල ආවරණය කරගෙන සමීපයේ ඇති මේසයක් හෝ එවැනි ආරක්‍ෂිත තැනක් යටට යාමට (cover), සහ භූ කම්පනය අවසන් වන තුරු ඉවසීමෙන් රැඳී සිටීමට (hold on)," එය ප්‍රමාණවත් වේ.












