තුර්කියේ සහ සිරියාවේ භූ කම්පන: 'ඒක ලෝක විනාසේ වගේ. මම කොහොමද මගේ පුතාව බේරගන්නේ?’

Ismael and his son Mustafa

ඡායාරූප මූලාශ්‍රය, Ismael Alrej

ඡායාරූප ශීර්ෂ වැකිය, භූ කම්පනයට මිනිත්තු පහකට පෙර, ඉස්මයිල් සහ ඔහුගේ පුත්‍ර මුස්තාෆා රෝහලේ දී
    • Author, ලීනා ෂයිකූනි
    • Role, බීබීසී ලෝක සේවය

එය පියෙකුට දැකිය හැකි දරුණම හා නරකම හීනය විය හැකිය. රෝගීවූ ඔබේ දරුවා රෝහලට රැගෙන ගොස් ඇතුළත් කොට සැනසුම් සුසුමක් හෙළන ඔබ මොහොතකට රෝහලෙන් පිටතට පැමිණෙයි.

පිටතට ආ ඒ කෙටි මොහොතේ දී, සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ මාධ්‍යවේදියෙකු වන ඉස්මයිල්ගේ ජීවිතය කණපිට ගැසුණි.

එරට ප්‍රාදේශීය වේලාවෙන් පෙ.ව. 04:18ට ඒකක 7.8ක අති ප්‍රබල භූ කම්පනයක් සිදුවිය. ඉස්මයිල් වටා වූ සියලු දේ මිනිත්තු දෙකක් පුරාවට දැඩි සේ සෙලවිණි.

"ඊට පස්සේ භූමිකම්පාවේ සැර වැඩිවුණා," ඔහු කඩින් කඩ නැසී යන අපැහැදිලි දුරකථන ඇමතුමක් ඔස්සේ මට කියයි.

"ලයිට් ගියා. ඉස්පිරිතාලේ එන්ට්‍රන්ස් එක - ඒක වීදුරුවලින් හදලා තිබ්බේ - ඒක බිඳෙන්න ගත්තා."

මීටර 150කට පමණ එපිටින් පිහිටි තට්ටු නිවාස ගොඩනැගිලි දෙකක් බිඳවැටෙනු ඔහු දුටු අතර හදිසියේ ඇතිවූ අඳුර නිසා අන්දමන්දව සිටියේ ය.

"ඒක හරියට ලෝක විනාසෙ සිද්ධවුණා වගේ," ඔහු පවසයි. " මගෙ පුතාව සුන්බුන් අතරින් බේරගන්නේ කොහොමද කියලා මම හිතේ මවාගන්න ගත්තා."

ඉන් මිනිත්තුවකට පමණ පසු, ඔහු සිය පුත්‍ර මුස්තාෆා හඬමින්, විලාප තබමින් තමා වෙත දිව එනු දිටීය. දරුවා සිය IV බටය තමා විසින්ම ඇද දමා ගලවාගෙන තිබූ හෙයින් ඔහුගේ අතින් රුධිරය වැගිරෙමින් තිබුණි.

පැයක් පමණ ගතවන තුරුම කිසිවෙකුටත් කඩාවැටුණු ගොඩනැගිලි වෙත ප්‍රවේශවීමට නොහැකිවිය. එසේම, විදුලි හා අන්තර්ජාල සබඳතා බිඳවැටී තිබූ හෙයින් සිවිල් ආරක්ෂක ඒකකයන් ඇමතීමට ද ඔවුනට නොහැකිවී තිබුණි.

අල්-ඩේනා යනු තුර්කි දේශ සීමාව ආසන්නයේ පිහිටි, විපක්ෂයේ පාලනය යටතේ පවතින නගරයකි.

රජයේ ගලවාගැනීමේ සේවාවන් නොමැති විට දී හදිසි ප්‍රථම ප්‍රතිචාර දක්වන්නන් වන්නේ සිවිල් ආරක්ෂක ඒකකයන් පමණි. නමුත් විනාශයේ පරිමාණය නිසාවෙන්, පීඩාවට පත් සියලුදෙනා වෙත ප්‍රවේශවීමට ඔවුනට නොහැකිවිය.

A young boy gets medical care at a SAMS hospital in northern Syria

ඡායාරූප මූලාශ්‍රය, Syrian American Medical Society

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු සිරියාවේ වෛද්‍යවරුන් පවසන්නේ භූ කම්පනයෙන් පසු [වෛද්‍ය] අවශ්‍යතා අතිමහත්බව යි

පැය කීපයකට පසු, ඉස්මයිල් ඉද්ලිබ් පළාතේ තත්ත්වය තක්සේරුකර ගැනුමට පිටත්ව ගියේ ය.

"ඒ හානිය විස්තර කරන්න බැරි තරම් [විශාල යි]," ඔහු පවසයි. "වැඩියෙන්ම හානි වෙලා තියෙන්නේ ඉස්සර සිරියාවේ ආණ්ඩුවෙන් හරි රුසියානු හමුදාවෙන් හරි බෝම්බ ගහපු පැතිවලටම යි."

2011 වසරේ සිරියානු කැරැල්ල, කටුක සිවිල් යුද්ධයක්බවට පත්විය. එහිදී, රුසියාවේ සහාය ලද සිරියානු රෙජීමය කැරලිකරුවන් විසින් පාලිත ප්‍රදේශවලට දැඩිව පහර දුන්නේ ය.

සටන අවසන්වූයේ, ඉදිරියට යෑමට ක්‍රමයක් නොහැකි තත්ත්වයක දී ය. දැන් වයඹදිග සිරියාව, සිරියානු විපක්ෂ හමුදාව විසින් හෝ, දමස්කස්හි පිහිටි රජය විසින් පාලනය කරනු ලබන කුඩා කලාපවලට බෙදී තිබේ.

ඇලෙප්පෝ නගරයට උතුරින් පිහිටි අටරෙබ් නගරයේ තට්ටු නිවාස ගොඩනැගිලි දුසිම් ගණනක් විනාශවී ඇතිබව ඉස්මයිල් දුටුවේ ය.

"උපකරණ හිඟ නිසා, ගලවාගැනීමේ කණ්ඩායම්වලට ළඟාවෙන්න බැරුව ඉන්න ගොඩක් ගොඩනැගිලියි, ප්‍රදේශයි තියෙනවා," ඔහු පවසයි.

"අපට ඇත්තටම ජාත්‍යන්තර සංවිධානවල උදව් ඕනේ."

වටිනා සම්පත්

වෛද්‍ය ඔසාමා සලූම්, විපක්ෂ හමුදා විසින් පාලිත වයඹදිග ප්‍රදේශයේ රෝහල් ගණනාවකට සහායවන සිරියානු ඇමරිකානු වෛද්‍ය සංගමයේ (SAMS) පදනම සඳහා සේවය කරයි.

"මම භූමිකම්පාවෙන් පැය කිහිපෙකට පස්සේ අටරෙබ්වල SAMS රෝහලට ආවා," ඔහු පවසයි.

"මම ඉස්පිරිතාලෙන් පිටවෙලා යද්දී 53 දෙනෙක් මැරිලා හිටියා. මට තුවාල ලබලා හිටි අයව ගණන්කර ගන්නවත් බැරි වුණා."

එම රෝහලේ දී පමණක් පුද්ගලයින් 120කට වැඩි දෙනෙකු මියගියේයැ යි ඔහු ප්‍රකාශ කරයි.

Rubble on a hospital bed

ඡායාරූප මූලාශ්‍රය, Syrian American Medical Society

ඡායාරූප ශීර්ෂ වැකිය, අල්-දානාහි මාතෘ රෝහලක ඇඳක් මතට වැටුණු සිමෙන්ති ගල් කුට්ටි

වෛද්‍ය සලූම් පවසන්නේ, මෙවැනි ව්‍යසනයකට මුහුණදීමට රෝහල් සතුව ඇත්තේ ඉතා සුළු සම්පත්බව ය.

"සුන්බුන් අතරින් ගලවගත්ත ගොඩක් දෙනෙකුට ගැඹුරු තුවාල තියෙනවා. ඒවාට විශේෂ ප්‍රතිකාරත්, දියුණු උපකරණත් අවශ්‍ය කරනවා," ඔහු පවසන්නේ, අටරෙබ් රෝහල සතුව ඇත්තේ පැරණි සීටී ස්කෑනර් යන්ත්‍රයක් පමණක්බව ද සඳහන් කරමිනි.

බොහෝ ආධාර පැමිණෙන්නේ ද තුර්කිය හරහා වන නිසාවෙන් දේශසීමාවේ දී දැඩි පරීක්ෂාවන්ට යටත්කෙරෙයි.

තුර්කිය ද දැවැන්ත මානුෂීය අර්බුදයකට මුහුණදී සිටිනා හෙයින්, සිරියාව තුළ විපක්ෂ පාලනය යටතේ පවතින ප්‍රදේශවලට කුමන සැපයුම් ළඟාවනු ඇත්දැ යි අපැහැදිලි ය.

"අපි ළඟ දැනට තියෙන වෛද්‍ය සැපයුම් ඉවරවුණොත් අපට විඳවන්න සිද්ධවෙනවා," වෛද්‍ය සලූම් කියා සිටියි.

කම්පනයෙන් පණ නැතිව

භූ කම්පනය, උතුරේ පිහිටි රජය විසින් පාලිත ප්‍රදේශවලට ද බලපෑවේ ය.

ඇගේ පළමු නම පමණක් පැවසීමට කැමැතිවූ අයා භූ කම්පනය සිදුවන අවස්ථාවේ දී සිටියේ ලටාකියා නගරයේ, ඇගේ පවුල හමුවීමට ගොසිනි.

විදුලිය විසන්ධි වන විට මේ 26-හැවිරිදි සූපවේදිනිය සිටියේ ඇගේ මව සහ සහෝදර සහෝදරියන් තිදෙනා සමග නින්දේ ය.

Rescuers stand on the rubble of a collapsed building in Latakia, Syria,

ඡායාරූප මූලාශ්‍රය, Reuters via SANA

ඡායාරූප ශීර්ෂ වැකිය, රජය විසින් පාලිත ලටාකියාවට ද දැඩි හානි සිදුවී ඇත

"මම ඇඳෙන් නැගිට්ටා. ඒ වුණාට මං එවෙලෙ දැනන් හිටියේ නෑ ඇයි මම ඇහැරුණේ කියලා," ඇය මා හා පවසයි.

"මගේ පවුලෙ අනිත් අයත් නැගිටලා කියලා දැනගන්නකල් මට තේරුනේ නෑ මොකද්ද මේ වෙන්නේ කියලා."

ඇගේ පවුලේ නිවෙස ප්‍රධාන මාර්ගයක් අසබඩ පිහිටා තිබෙන අතර, එහි වීදුරු ජනෙල් රැසක් තිබුණි.

"භූමිකම්පාව කොච්චර හයියෙන් වුණා ද කිව්වොත් අපට කොහේටවත් යාගන්න බැරිවුණා," ඇය කියයි. "අපි උන්හිටි තැන්වලටම වෙලා හිටියා."

අයාගේ මව පාකින්සන් රෝගයෙන් පෙළෙයි. ඇය බියෙන් ගල්ගැසී, කලබලයට පත්වෙමින් උන්නා ය.

"මම ශොක්වෙලා හිටියේ, මට ඇවිදින්න බැරිවුණා," අයා කියන්නී ය. "මං බිත්ති හෙල්ලෙන හැටි, ඉස්සරහට පස්සට වැනෙන හැටි දිහා බලාගෙන හිටියා."

"ඒ වෙලාවෙ කොහොම කලබලයක් තිබ්බ ද කියලා මට විස්තර කරන්නත් අමාරු යි."

විසිහය හැවිරිදි ගෘහ නිර්මාණ ශිල්පිනියක වන හනීන් ද වෙසෙන්නේ ලටාකියාවේ ය. ඇගේ අසල්වාසියේ තරුණයන්, ප්‍රදේශවාසීන් වර්ෂාවෙන් මුවා කිරීම සඳහා කූඩාරම් ඇටවූ අයුරු ඇය මට පවසයි.

සාමාන්‍යයෙන් මේ කූඩාරම් භාවිතා කෙරෙන්නේ අවමංගල උත්සවයක දී වැලපෙන්නන්ට අසුන් ගැනීමට ය. එය හනීන් තුළ අමිහිරි සිතිවිල්ලක් ඇතිකරයි.

ඇගේ මව ඇගේ මුල් ගමේ සුරක්ෂිතව සිටින නමුත් හනීන් කම්පනයට පත්ව සිටියි.

"මට විශ්වාස නෑ මම මුලින් මගේ නංගිට ගෙයින් පිටවෙන්න උදව් කළා ද, නැත්නම් එයාව දාලා මම පිටවුණා ද කියලා. මට එයාගෙ මූණ බලාගෙන ඒක අහන්න බෑ," ඇය කියයි.

ඔවුහු ආපසු නිවෙස කරා යෑමට පෙර ප්‍රදේශයේ බේකරිය ඉදිරිපිට සෙවණ සඳහා නැවතුනහ.

The scale of the destruction is visible from the air in rebel-held northern Syria

ඡායාරූප මූලාශ්‍රය, BBC News

ඡායාරූප ශීර්ෂ වැකිය, කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින උතුරුදිග සිරියාවේ කොටස්වල තත්ත්වය කිසිවෙකු තක්සේරුකර නැතැ යි බියක් පවතියි

අයාට නම් තත්ත්වය වඩාත් දුෂ්කර විය. රාත්‍රිය මැද වැසි කුණාටුව මධ්‍යයේ කුලී රියක් හෝ සෙවණක් සොයාගැනීමට ඔවුන් අපොහොසත් විය.

අයා සහ ඇගේ පවුල අවසානයේ දමස්කස් වෙත පැමිණීමට සමත්වූ නමුත්, නැවතත් ලටාකියාවේ නිවසට යාමට තමාට හැකිදැ යි ඇයට විශ්වාස නැත.

"අපි යුද්ධෙ අත්දැක්කා. 2012 දී අපිව අපේ ගෙවල්වලින් බලහත්කාරයෙන් අයින් කළා," ඇය පවසයි.

"භූමිකම්පාව මැද්දෙ මට ඇතිවෙච්ච හැඟීම, යුද්ධෙ දි මට දැනුණු හැඟීමට වඩා ගොඩක් වෙනස්.

"මට ඒ මොහොතේ දැනුනා, මගේ වටේ තිබ්බ ඔක්කොම කඩා වැටෙන්න පුළුවන් කියලා," ඇය පවසයි.

"මට මගෙ අම්මව හරි නංගිව හරි නැතිවෙන්න පුළුවන්. ඒක හරි බර, හරිම අමාරු හැඟීමක්."

ආරක්ෂිත දමස්කස්හි වෙත යෑම ද පූර්ණ විසඳුමක් නොවීය.

අයාට පැය ගණනක් පුරා කරකැවිල්ලක් දැනුනේ, භූ කම්පනය තවමත් සිදුවෙමින් පවතින විටෙක මෙනි.

"ඒක හරියට තුවාලයක් පාරනවා වගේ. හෙමීට හෙමීට හොඳවෙවී තිබ්බ ලොකු තුවාලයක් ආයෙත් පෑරුවා වගෙ," ඇය පවසන්නේ, දශකයකට වැඩි කලක් තිස්සේ පැවැති සිවිල් යුද්ධය සිහිපත් කරමිනි.

"එක්කෙනෙක් නෑර සිරියාවේ ඉන්න හැමෝගෙම තුවාල පෑරුණා."

Dr Osama Salloum in hospital

ඡායාරූප මූලාශ්‍රය, Dr Osama Salloum

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු සිරියාවේ අවතැන්වූ ජනතාවගේ අනාගතය කුමක් වේදැ යි වෛද්‍ය ඔසාමා සලූම් කනස්සල්ලෙන් පසුවෙයි

කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින උතුරුදිග සිරියාවේ කොටස්වල තත්ත්වය කිසිවෙකු තක්සේරුකර නැතැ යි බියක් පවතියි.

භූ කම්පනය විසින් වෛද්‍ය සලූම් යුද්ධයේ නරකම දින වෙත යළි කැඳවාගෙන ගියේ ය. එකල ඔහු විපක්ෂයේ පාලනය යටතේ පැවැති නැගෙනහිර ඇලෙප්පෝහි බෝම්බ ප්‍රහාර මධ්‍යයේ ජීවත්විය.

"මට දැනුනා [මං] මැරෙන්න කිට්ටු යි කියලා," ඔහු කියයි. "බිල්ඩින් වැටෙනවා, ගල් වැටෙනවා මට දිගටම ඇහුණා."

ඔහු, මිනිසුන් කලබලවනු, උදව් ඉල්ලා කෑගසනු ඇසුණු, භූ කම්පනයේ පළමු මොහොත කිහිපයේ අවුල්සහගතබව විස්තර කරයි.

"මොකද්ද සිද්ධවෙන්නේ කියලා මට තේරුනේ නැහැ," ඔහු කියයි.

"අද මහ අමාරු දවසක්. මේක ඉවරවෙනබවට ලකුණක්වත් පේන්න නැහැ."