ආචාර්ය අශෝක රන්වල: කතානායක පුටුවට පැමිණි වෘත්තීය සමිති නායකයා

දස වැනි පාර්ලිමේන්තුවේ අභිනව කතානායකවරයා ලෙස ආචාර්ය අශෝක සපුමල් රන්වල අද (නොවැම්බර් 21 වැනිදා) තේරී පත්විය.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Parliament

දස වන පාර්ලිමේන්තුවේ අභිනව කතානායකවරයා ලෙස ආචාර්ය අශෝක සපුමල් රන්වල අද (නොවැම්බර් 21 වන දා) තේරී පත්විය.

නව පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද ආරම්භ වූ අතර පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු පළමුව කතානායකවරයා තෝරා පත් කර ගැනිණි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවලගේ නම කතානායක ධූරය සඳහා යෝජනා කරනු ලැබූ අතර, අමාත්‍ය විජිත හේරත් එය ස්ථීර කළේ ය.

ඒ අනුව, ඒකමතික යෝජනා ස්ථීරත්වයෙන් අශෝක රන්වල, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 22 වන කතානායකවරයා ලෙස තෝරා පත් කර ගැනිණි.

දේශපාලන ගමන් මග

ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභිකයෙකු වන රන්වල, මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප ඡන්ද 109,332ක් ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ හය වන ස්ථානයට පත් විය.

තරුණයෙකු ලෙස ඔහු සිය දේශපාලන ගමන ආරම්භ කළේ, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු ලෙස ය.

ආචාර්ය රන්වල බියගම ආසනය කේන්ද්‍ර කර ගනිමින් සිය දේශපාලන කටයුතු මෙහෙයවීය.

ඔහු වරක් බියගම ප්‍රාදේශීය සභාව නියෝජනය කළ අතර දෙවරක් බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේ ය.

අධ්‍යාපනය හා වෘත්තීය ජීවිතය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇති පරිදි, අචාර්ය අශෝක රන්වල මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික ඉංජිනේරු උපාධිධරයෙකි.

ඊට අමතරව, ඔහු ජපානයේ වසේදා (Waseda University) විශ්වවිද්‍යාලයෙන් ජෛව රසායනය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ඇති බව ද පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වෙයි.

තිරසර ජෛවජනක කෘෂිකාර්මික භාවිතයන් සංවර්ධනය කිරීම අරමුණු කර ගත් BioGenic Green Technology Research Instituteහි අධ්‍යක්ෂවරයෙකු වූ බව ද ඔහු පවසයි.

ඔහු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ සේවය කර තිබේ.

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අශෝක රන්වල, ජාතික ජන බලවේගය සමග ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූවෙකි.

වෘත්තීය සමිති අරගලයට නායකත්වය

ආචාර්ය අශෝක රන්වල සැලකෙන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති ව්‍යාපාරය මෙහෙය වූ ප්‍රබල නායකයෙකු ලෙස ය.

යහපාලන ආණ්ඩු සමයේදී ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය කැබිනට් පත්‍රිකාවක් හරහා ඉන්දියාවට පැවරීමට එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සුදානම් වෙද්දී ඛනිජ තෙල් වෘත්තීය සමිති ඊට විරෝධය පළ කළේ ය.

ඛනිජ තෙල් සේවක වැඩ වර්ජනයක් මෙහෙයවමින් ඊට නායකත්වය දුන්නේ, ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල අතුළු ක්‍රියාකාරීන් පිරිසකි.

රජයට අයත් චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දීමට ආණ්ඩුව සූදානම් වුවහොත් පිරිපහදුවේ ඉන්ධන සැපයීම අත්හිටුවන බවට ඔහු එහිදී අනතුරු අඟවා තිබිණි.

එමෙන් ම ඛනිජ තෙල් සේවකයන්ට ආණ්ඩුව ඇහුම්කන් නොදුන්නොත් රටේ සෑම ක්ෂේත්‍රයක් ම අඩපණ වනු ඇතැයි පෙන්වා දුන් අශෝක රන්වල එහිදී කියා සිටියේ, කිසි ලෙසකින්වත් අනාගත පරම්පරාවේ දේපළ සුරක්ෂිත කිරීමේ වෑයම අත්නොහරින බව ය.

අත්අඩංගුවට පත්වීම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අශෝක රන්වල 2018 වසරේ ජනවාරි 4 වන දා සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ, ඔහු ජනතා විමුක්ති පෙරමුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන සමයේදී ය.

තම බල ප්‍රදේශයේ තරුණයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් පිළිබඳ විමසීම සඳහා සපුගස්කන්ද පොලිසියට ගිය අවස්ථාවේදී කළහකාරී ලෙස හැසිරුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අශෝක රන්වල අත්අඩංගුවට පත්විය.

සපුගස්කන්ද අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් එහිදී අශෝක රන්වල අත්අඩංගුවට පත්වූ අතර ඔහු පවසා තිබුණේ, සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් තමාට ඉතා බරපතළ ලෙස පහර දුන් බව ය.

අත්අඩංගුවට පත්වීමෙන් පසු සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා තමාට පහර දුන් බව කියමින් මන්ත්‍රීවරයා රෝහල්ගත විය. සපුගස්කන්ද පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා රාගම රෝහලට ගොස් නේවාසිකව ප්‍රතිකාර ලබන මන්ත්‍රීවරයා නිරීක්ෂණයට ලක්කර ඔහු රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු, මන්ත්‍රීවරයා මහර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් 2000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට පසුව නියෝග කර තිබිණි.

මේ අතර, ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ධුරය දරන සමයේ ද අශෝක රන්වල, ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර යන නායකයින් ඇතුළු ඛනිජ තෙල් සේවකයින් 16 දෙනෙක් 2017 වසරේ ජූලි මාසයේදී අත්අඩංගුවට පත් වූහ.

ඒ, අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබියදීත් ඉන්ධන බෙදා හැරීමට බාධා කළ බවට චෝදනා කරමිනි.

වෘත්තීය සමිති මෙන් ම සිවිල් සංවිධාන රැසක් නියෝජනය කළ ආචාර්ය අශෝක රන්වල රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ජාතික සංවිධායක ලෙස ද කටයුතු කළේ ය.

ඒ, මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ගෙන ගිය සටන දායක වෙමිනි.