සංඥා භාෂාව: වසර 15ක් තිස්සේ පිළිගැනීමක් ඉල්ලන හඬක් නැති භාෂාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
"මේ පනත සම්මත වුණොත් දොරක් විවර කර ගන්න යතුරක් ලැබුණා වගේ. එතකොට අපිට දොරවල් වගේ තියෙන බාධා සියල්ල ම ඇරගෙන යන්න පුළුවන් වෙයි."
ශ්‍රී ලංකා බිහිරිවූවන්ගේ මධ්‍යම සම්මේලනයේ, ප්‍රධාන ලේකම් අනිල් ජයවර්ධන විසින්, සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපනය කිරීම හරහා බිහිරි ප්‍රජාවට ලැබෙන වරප්‍රසාද පිළිබඳව බීබීසි සිංහල වෙත සංඥා භාෂාවෙන් එලෙස විස්තර කරන ලදී.
මුල් වරට 2010 වසරේ සැප්තැම්බර් 08 වන දින සංඥා භාෂාව ශ්‍රී ලංකාව තුළ පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතත්, වසර 15කට ආසන්න කාලයක් ගත වී තිබියදීත් මේ දක්වා එය ක්‍රියාත්මක වී නොමැත.
ඉන්පසුව, සංඥා භාෂාව විධිමත් සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් පිළිගැනීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට 2017 නොවැම්බර් 12 වන දින සහ 2021 ජනවාරි 18 වන දින ගනු ලැබ ඇති අමාත්‍ය මණ්ඩල තීරණයන් පරිදි, නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ද දී තිබේ.
වසර 15කට ආසන්න කාලයක් තිස්සේ ඉටු නොවුණ අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා නව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගැනීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට ජූනි 02 වන දා 'සිව් වන වරට' යළි කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාවේ 2012 වසරේ පවත්වන ලද ජන සංගණනයට අනුව ශ්‍රව්‍යාබාධිත හා අර්ධ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් සංඛ්‍යාව 389,077ක් වන අතර සන්නිවේදන අපහසුතා සහිත පුද්ගලයින් සංඛ්‍යාව 180,833කි.
මෙම පිරිස සඳහා අධ්‍යාපනික, සමාජයීය හා සංස්කෘතික සේවාවන් සැපයීමට මෙන් ම වෛද්‍ය, සෞඛ්‍ය හා නෛතික පහසුකම් සැපයීම සඳහා ද සන්නිවේදන මාධ්‍යය වනුයේ සංඥා භාෂාව ය.
සංඥා භාෂාවට පිළිගැනීමක් ලබා ගැනීමට ගත් උත්සහයන්
සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපනය කිරීම බිහිරි ප්‍රජාවට ලැබෙන ප්‍රතිලාභ සහ එම භාෂාවට තවමත් පිළිගැනීමක් නොමැති වීමෙන් ඔවුන් මුහුණ දෙන ගැටලු සහ පීඩා පිළිබඳව සොයා බැලීමට බීබීසි සිංහල සේවය සීදුවේ පිහිටි ශ්‍රී ලංකා බිහිරිවූවන්ගේ මධ්‍යම සම්මේලනය වෙත ගියේ ය.
එහිදී, එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් අනිල් ජයවර්ධන හමුවීමට බීබීසී සිංහල වෙත හැකිවූ අතර, ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකු වූ ඔහු සංඥා භාෂාවෙන් පළ කළ අදහස් පරිවර්තනය කර දෙනු ලැබුවේ, එම සම්මේලනයේ පරිවර්තිකාවන් ලෙස කටයුතු කරන බර්නඩීන් ද කෲස් සහ අපේක්ෂා විජේරත්න විසිනි.
"මුලින් ම කැබිනට් අනුමැතිය ලැබුණේ 2010 දී ෆීලික්ස් පෙරේරා මැතිතුමාගේ සහයෝගයෙන්. ඊට පස්සේ අපි උත්සහ කළා පනතක් විදියට මේක සම්මත කර ගන්න. එස්.බී. දිසානායක මහතා දෙවැනි වතාවටත් කැබිනට් අනුමැති ලබා දුන්නා. රජයන් මාරු වීම එක්ක අපිට අවස්ථාව ලැබුණේ නැහැ ඒක සම්මත කර ගන්න. ඊට පස්සේ නැවත අපි කැබිනට් අනුමැතිය ලබා ගත්තා ඒත් කොරෝනා කාල වකවානුව හේතුවෙන් ඒ වැඩකටයුතු ඉදිරියට කරගෙන යන්න අපහසු වුණා," යැයි සංඥා භාෂාවට පිළිගැනීමක් ලබා ගැනීමට ගත් උත්සාහයන් ගැන අනිල් ජයවර්ධන පැවසීය.
ශ්‍රවණාබාධිත ප්‍රජාව මුහුණ දෙන ගැටලු මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ශ්‍රවණාබාධිත ප්‍රජාව සංඥා භාෂා පහසුකම් නොමැති වීම හෝ නිසි දැනුමක් සහිත පරිවර්තකයෙකු නොමැති වීමෙන් නීතිමය කටයුතුවලදී, සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදී සහ අධ්‍යාපන කටයුතු වැනි එදිනෙදා ජීවිතයේ බොහෝ අවස්ථාවල ගැටලුවලට මුහුණ දෙන බව ද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ ය.
"නීතිමය ගැටලුවලදී ගොඩක් අවස්ථාවල ගැටලුවලට මුහුණ දෙනවා. ගොඩක් වෙලාවට තමන්ට ගැටලුවක් වෙලා හෝ වෙනත් කෙනෙක්ගේ පැමිණිල්ලකට පොලීසියට ගියත් ශ්‍රවණාබාධිතයන්ට සන්නිවේදනය කරන්න බැරි නිසා ගොඩක් වෙලාවට ඔවුන් කරන්නේ අනිත් පාර්ශවයේ කතාව අහලා ඒකට ගැලපෙන විදියට ශ්‍රවණාබාධිත පුද්ගලයාගේ පැමිණිල්ල හෝ කට උත්තරය ලියා ගන්න එක. භාෂා පරිවර්තකයෙක් එතනට සම්බන්ධ කර ගන්න පුළුවන් නම් එයාට හරියට ඒ දේ සංඥා භාෂාවෙන් සන්නිවේදනය කර ගන්න පුළුවන්."
"ගර්භණී අවස්ථාවක ඉන්න ශ්‍රවණාබාධිත කාන්තාවක් නම් ඒ අවස්ථාවලදී පවුල් සෞඛ්‍ය නිලධාරිනිය ලබා දෙන තොරතුරු හරියට සන්නිවේදනය වෙන්නේ නැහැ. ගන්න ඕන බෙහෙත් මොනවා ද අදාළ මාත්‍රාවන් මොනවා ද කියන එක ගැන හරි දැනුවත්භාවයක් ලැබෙන්නේ නැහැ," ඔහු සංඥා භාෂාවෙන් පැවසුවේ ය.
"ඒ වගේ ම කාන්තාවක් අපයෝජනයට ලක් වුණා ම ඒ ගැන පොලීසියට ගිහිල්ලා පැමිණිලි කරන්න, ඒ ගැන උසාවියේදී කරුණු ඉදිරිපත් කරන්න ඔවුන්ට හරියාකාරව අවස්ථාවක් ලැබෙන්නේ නැහැ."
මීට අමතරව, පොලිස් හදිසි ඇමතුම් අංකය ඇමතීම හෝ සුව සැරිය ගිලන් රථ සේවය අමතා සේවා ලබා ගැනීම වැනි පහසුකම් ලබා ගැනීමට ද ශ්‍රවණාබාධිත ප්‍රජාවට අසීරු වී ඇතැයි ද ඔහු කියා සිටියේ ය.
සන්නිවේදන අපහසුතා හේතුවෙන් ශ්‍රවණාබාධිත සිසු සිසුවියන්ට අධ්‍යාපනය ලැබීමේදී ද බාධාවන්ට මුහුණ දීමට සිදුව තිබේ.
"සාමාන්‍ය ප්‍රජාවගේ අධ්‍යාපන මට්ටම ගත්තොත් ඔවුන්ට අදාළ සියලු ම දේවල් ලබා දෙනවා. නමුත් ශ්‍රවණාබාධිත ප්‍රජාව ඇස ගැටෙනවා අඩු යි වගේ දෙයක් තමයි අපිට පේන්න තියෙන්නේ. අපේ ශ්‍රවණාබාධිත ප්‍රජාවේ කිහිප දෙනෙක් ඉගෙනුම ලබනවා විශ්වවිද්‍යාලවල නමුත් ඔවුන්ට සාමාන්‍ය ප්‍රජාව හා සමානව අධ්‍යාපනය ලබා ගන්න බැරි වෙනවා ඔවුන්ට සංඥා භාෂා පරිවර්තකයෙක් සම්බන්ධ කර ගන්න බැරි වෙන නිසා. ගොඩක් දුරට විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වෙන්නේ පූර්ණ ශ්‍රවණාබාධිත ළමයින්ට වඩා අර්ධ ශ්‍රවණාබාධිත ළමයි. මොක ද ඔවුන්ට සමාන්‍යයෙන් කතා කරන්න සහ තොල් කියවීම මගින් කියන දේවල් තේරුම් ගන්න පුළුවන් නිසා," ඔහු පැවසුවේ ය.
සන්නිවේදන මාධ්‍යක් ලෙස නොව භාෂාවක් ලෙස
ශ්‍රී ලංකා බිහිරිවූවන්ගේ සම්මේලනය සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපනය කිරීමට මුල් වී කටයුතු කරන අතර පනත් කෙටුම් පත සකස් කිරීමට අවශ්‍ය යෝජනා රාශියක් එම සම්මේලන විසින් රජය වෙත ලබා දෙනු ලැබ තිබේ.
මේ වන විට, සංඥා භාෂාව සන්නිවේදන මාධ්‍යයක් ලෙස ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර ඔවුන් පවසන්නේ සංඥා භාෂාව, භාෂාවක් ලෙස පිළිගැනීමට ලක් කිරීම වැදගත් බව ය.
"පනතේ යම් යම් අඩු පාඩු තියෙනවා, ඒක සන්නිවේදන මාධ්‍යයක් විදියට තමයි කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන්නේ. නමුත් අපිට ඕනේ භාෂාවක් ලෙස පිළිගන්න."
"වෙනත් රටවල තියෙන්නේ සංඥා භාෂාව, භාෂාවක් විදියට පිළිගැනීම ලබා දීලා. ඒක අපි සන්නිවේදනය කරන භාෂාව. ඉතින් මම හිතනවා ඒ විදියට පිළිගන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියලා," අනිල් ජයවර්ධන සංඥා බසින් කියා සිටියේ ය.
සන්නිවේදන මාධ්‍යයක් ලෙස දැනට පනත කෙටුම්පතේ සඳහන් සංඥා භාෂාව, භාෂාවක් ලෙස සංශෝධනය කර කෙටුම්පත ඉදිරිපත් කරන ලෙස රජයට ඉල්ලීම් කර ඇති බව ද ශ්‍රී ලංකා බිහිරිවූවන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරයා පැවසී ය.
සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපනය කරන ලෙස ඉල්ලන්නේ ඇයි?
සංඥා භාෂාවට පිළිගැනීමක් ලබා දීම හරහා සංඥා භාෂාවට ප්‍රමිතියක් ලැබෙනු ඇති බව මෙන් ම, ඒ හරහා පරිවර්තකයන්ට හා සංඥා භාෂා ගුරුවරුන්ට නිවැරදි ලෙස සංඥා භාෂා දැනුම ලබා දිය හැකි බවට ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ සම්මේලනය විශ්වාසය පළ කරයි.
"1912 රත්මලාන බිහිරි පාසල ආරම්භ කළත් තවමත් ශ්‍රවණාබාධිත ප්‍රජාව අධ්‍යාපන මට්ටමින් හොඳ තැනක නැහැ. සමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගන්න සිසුන් බොහොම අඩුයි. ඒවාට ප්‍රවේශ වෙන්න අවස්ථාව නැති වෙලා තියෙන්නේ ඔවුන්ට සංඥා භාෂාවෙන් ඒ ස්ථානවල ඉගැන්වීම් කටයුතු සිදු නොවන නිසා. සංඥා භාෂා පනත සම්මත වුණොත් ගුරුවරුන්ගේ තවදුරටත් සංඥා භාෂා දැනුම වැඩි කරන්න, ඒ වගේ ම පොලීසි, රෝහල් වගේ ස්ථානවලට සංඥා භාෂා පරිවර්තන සේවා ස්ථාපනය කරන්න පුළුවන්."
"සංඥා භාෂා දැනුම තියෙන ගුරුවරු ප්‍රමාණවත් ලෙස නැහැ. සමහර ගුරුවරුන්ට භාෂාව හැසිරවීම ගැන ප්‍රමාණවත් දැනුමක් නැහැ. අපි සම්මේලනය හරහා සංඥා කෝෂ හදලා තියෙනවා ඒවා අපි ඒ පාසල්වලට දීලා තියෙනවා, ඒ ගුරුවරුන්ටත් ලබා දෙනවා. නමුත් මම හිතන්නේ නැහැ ඔවුන් ඒවා හරියට අධ්‍යනය කරලා ළමයින්ට ඉගෙනීම් කටයුතු කරගෙන යනවා කියලා. මේවාට අදාළ ක්‍රියාමාර්ග ගන්න අපිට නීතියක් නැති නිසා ඔවුන් ඒක නොසලකා හරිනවා. මම හිතනවා පනතක් විදියට සම්මත වෙලා මේ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන් වුණාට පස්සේ ඔවුන්ගේ වැඩි අවදානය යොමු වෙයි කියලා," යැයි අනිල් ජයවර්ධන පැවසී ය.
ශ්‍රවණාබාධිත ප්‍රජාවට බැංකු ණය ලබා ගැනීම, රක්ෂණාවරණ පවා ලබා ගැනීම අපහසු බවත් පනත සම්මත වුවහොත් එම ප්‍රජාවට ද එවැනි දෑ සඳහා ද අවස්ථාව ලැබෙනු ඇති බවට එම සම්මේලනයේ පරිවර්තිකාවක් වූ බර්නඩීන් ද කෲස් විශ්වාසය පළ කළා ය.
'ශ්‍රවණාබාධිත ප්‍රජාවට අනුකම්පා කරන එක නෙමෙයි අපිට ඕනේ'
වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ කරන ලද සටනකට පසුව ශ්‍රවණාබාධිත ප්‍රජාවට මේ වන විට රියදුරු බලපත් ලබා ගැනීමට හැකියාව ලැබී ඇති බවත්, පොලිස් නිලධාරින්ට සංඥා භාෂාව ඉගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත් ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ ය.
"අපිට ඕනේ සාමාන්‍ය ප්‍රජාව හා සමානව අයිතිවාසිකම් ලබාගෙන ඔවුන් හා සමානව ජීවත් වෙන්න. මොක ද අපිට කතා කරන්න විතරයි බැරි, අපිට සන්නිවේදනය කරන්න වෙන ම භාෂාවක් තියෙනවා. ශ්‍රවණාබාධිත ප්‍රජාවට අනුකම්පා කරන එක නෙමෙයි අපිට ඕනේ, අපිවත් සාමාන්‍ය ප්‍රජාව වගේ පිළිගන්න එකයි වෙන්න ඕනේ," යනුවෙන් අවසන් වශයෙන් අනිල් ජයවර්ධන සංඥා බසින් පැවසී ය.














