'මම ලියන හැටි': ආරියවංශ අබේසේකර

ලියන්න විශේෂ කාලයක් කියල එකක් නැහැ. මම උදෙත් ලියනවා දවලුත් ලියනවා රෑත් ලියනවා. ලියන්නෙ පරිගණකයෙන් නිසා මට කාමරේ ඉන්න සිද්ධ වෙනවා. ලියන වෙලාවට කවුරුහරි ආවොත් ගිහින් කතා කරනවා. වෙන වැඩක් තිබුණොත් ඒකටත් නැගිටල යනවා. ලියන එක මගෙ රොමෑන්ටික් වැඩක් නෙමෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Provided

ඡායාරූප ශීර්ෂ වැකිය, "ලියන්න විශේෂ කාලයක් කියල එකක් නැහැ. මම උදෙත් ලියනවා දවලුත් ලියනවා රෑත් ලියනවා. ලියන්නෙ පරිගණකයෙන් නිසා මට කාමරේ ඉන්න සිද්ධ වෙනවා. ලියන වෙලාවට කවුරුහරි ආවොත් ගිහින් කතා කරනවා. වෙන වැඩක් තිබුණොත් ඒකටත් නැගිටල යනවා. ලියන එක මගෙ රොමෑන්ටික් වැඩක් නෙමෙයි"
    • Author, කෞශල්‍ය කුමාරසිංහ
    • Role, ලේඛක

මම ලියන හැටි සංවාද මාලාවේ අවසාන කොටස වෙනුවෙන් අප තෝරා ගෙන ඇති ආරියවංශ අබේසේකර යනු සිය කෘතීන් ඔස්සේ අද්විතීය ප්‍රබන්ධ ලෝකයක් නිර්මාණය කරන සිංහල සාහිත්‍ය ඉතිහාසයේ අපට හමුවන සුවිශේෂී නවකතාකරුවෙකි.

'දාගේ' කෘතිය ඔස්සේ 1988 දී නවකතාකරණයට ප්‍රවේශ වන ඔහු චාරුමන්දා, මතකවත, මාතෘකාවක් සොයන වචන අනූ තුන්දාහක් සහ ආරාමදාස යන නවකතා රචනා කරමින් සිය අනන්‍යතාව සිංහල සාහිත්‍යය තුළ සලකුණු කර ඇත.

මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය.

හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි.

ලියන තැන, ලියන විදිහ, ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය.

මේ සංවාද මාලාව තුළ දී උත්සාහ කළේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.

කෞශල්‍ය: මේ සංවාදය ආරම්භ කිරීමට මම මුලින්ම ඔබෙන් අහන්න කැමතියි ඔබේ නවකතා වල සමාරම්භක මොහොත ගැන. නවකතාවක පළවෙනි වාක්‍යය ලියවෙන හැටි ගැන යමක් කියන්න පුලුවන් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ආරියවංශ: මම ලියන්නේ මට මුණ නොගැසුන පිරිසකටනේ, මුණ නොගැහුනා කියන්නෙ අඳුරන්නේ නැහැ කියන එක නෙමෙයි. අඳුරනවා නමුත් හමුවෙලා නැහැ. එතකොට මේ පිරිස මම මේ කතාව කියන්න ග්‍රහණය කර ගන්න ඕනෙනේ. ඒ නිසා මට මේ ආරම්භක වාක්‍යය සහ වාක්‍ය කිහිපය ඉතාම වැදගත් වෙනවා. ඒකෙන් ලැබෙන උත්තේජනය මත තමයි ඔවුන් මගෙත් එක්ක දිගටම රැඳෙනවද කියන එක තීරණය වෙන්නේ. මට හිතෙන්නෙ මේ ආරම්භක වාක්‍යය කියන්නේ හරියට මම අරින දොරක් වගේ. මම මවන්නේ කල්පනා ලෝකයක්නේ. පාඨකයා මේ කල්පනා ලෝකයට ඇතුල් වෙන්නෙ මං අරින මේ දොරෙන්. මේ දොර ලස්සන වෙන්නත් ඕනෙ ඒ වගේම ශක්තිමත් වෙන්නත් ඕන. මොකද ඒ ගොල්ලො ඇතුල් වුනාට පස්සෙ අපි මේ දොර වහනවනෙ. එතකොට මේ ඇතුල් වෙච්ච කෙනාට පිටතට යන්න බැරි වෙන්න ලොක් වෙන්නත් ඕන. කඩාගෙන යන්න බැරි වෙන්න ශක්තිමත් වෙන්නත් ඕන. ඒ වගේම මම හිතන දෙයක් තමයි මම මවන ලෝකයට කෙනෙක් ඇතුල් වුනාම එයාට දැනෙන්න ඕන මේ ලෝකය මම හඳුනන තැනකුත් නෙමෙයි නාඳුනන තැනකුත් නෙමෙයි කියන එක. ඒ දෙගිඩියාව තමයි මට වැදගත් වෙන්නෙ මගෙ කතාව ඉස්සරහට ගෙනියන්න. ඔන්න ඔය කාරණාව නිසා මට පළවෙනි වාක්‍ය සහ වාක්‍ය කිහිපය මට හුඟක් වැදගත් වෙනවා. ඒක හැබැයි මම නවකතාවක් ලියන්න පටන් ගන්නකොටම ලියවෙනවා නෙමෙයි. මේ නවකතාවේ මැදකදි එහෙමත් නැත්තං අවසන් වුනාට පස්සෙ වෙන්නත් පුළුවන් මේ මුල ටික ලියවෙන්නේ.

කෞශල්‍ය: ලියන්න පටන් ගන්නකොට ලියන්න යන නවකතාව ගැන ඔබ මොනතරම් දුරට දැනුවත්ද?

ආරියවංශ: ලියන්න පටන් ගන්නකොට මගෙ ඔලුවෙ කතාවක් තියනවා ඇත්තටම. හැබැයි කවදාවත් ඒක ලියවුණේ නැහැ. මම චරිත ගන්නවා. ටික වෙලාවක් ගියාට පස්සෙ ඒ චරිත වලට පණ එනවා. පණ ආවට පස්සේ මට ඒගොල්ලන්ව කන්ට්‍රෝල් කරන්න බැහැ. කන්ට්‍රෝල් කරන්න යනව නං මම ඒකාධිපතියෙක් වෙනවනෙ. ඒ චරිත හිතේ ක්‍රියා කරන්න ගත්තට පස්සේ මම අපේක්ෂා නොකල අන්තයන් කරා යන අවස්ථා තියනවා. මම චරිතයක් ගොඩනැගුවට පස්සෙ යම් වෙලාවකින් මේ චරිතයට ස්වකීයමය බවක් එනවා. ඊට පස්සේ ඒ චරිතයට අවශ්‍ය දේ ඒ චරිතයට යන්න අවශ්‍ය තැනට ගෙන යනවා මිස මට අයිතියක් නැහැ මට ඕන දේවල් කරන්න. ඒ නිසා මගේ හැම නවකතාවකම මම අපේක්ෂා කළ අවසානය ලැබිලත් නැහැ. මම ඇතුල් කරන්න ඕන කියල හිතාගෙන හිටපු සමහර සිදුවීම් ඇතුල් කරන්න ඉඩ ලැබිලත් නැහැ. සමහර වෙලාවට මම ලියපු පදාස පිටින් මට ඉවත් කරන්න සිද්ධ වෙලා තියනවා. මහන්සි වෙලා ලියපු දේවල්. නමුත් ඒ දේවල් මට ඕන වුනාට ඒ චරිත වල ක්‍රියාදාමයන්ට අදාළ නැහැ. එක අවස්ථාවක් වෙනකන් නවකතාව මගේ හැබැයි යම් අවස්ථාවක් එනවා ඒක තවදුරටත් මගෙ නෙමෙයි. මේ විදිහට තමයි නවකතාව ඉදිරියට යන්නේ. ඒ නිසා ඕන නං මට කියන්න පුලුවන් නවකතාවක් ලියන්න පටන් ගන්න මොහොතෙදි ලියවෙන්න යන නවකතාව ගැන මම කිසිම දෙයක් දන්නෙ නැහැ කියල. මොකද මගෙ ඔලුවෙ තියන කතාවයි මගෙ අතින් ලියවෙන නවකතාවයි අතර හැම විටම ලොකු පරතරයක් තියන නිසා.

කෞශල්‍ය: එතකොට ලියන්න පටන් ගන්න කලින් ඔලුවේ හැදිල තියන කතාවට අදාළව යම් ආකාරයක සටහන් තබා ගැනීමක් කරනවද?

ආරියවංශ: නැහැ. මම කිසිම ආකාරයට සටහන් තබා ගැනීමක් කරන්නේ නැහැ. සමහර වෙලාවට ලිවීම පටන් ගත්තට පස්සෙ පරිගණකයේ තැනක චරිත වලට අදාළ යම් යම් දේවල් ලියල තියාගන්න ඉඩ තියනවා. නමුත් ලිවීම පටන් ගැනීමට පෙර එවැන්නක් කරන්නේ නැහැ. යම් යම් අවස්ථා වල නවකතාවක් ලිවීමට හොඳයි කියල හිතෙන වස්තු බීජයන් පරිගණකයේ තැනක ලියල තියාගන්න අවස්ථා තියනවා. නමුත් ලිවීමට අදාළව සැලසුම් ලෙස කරන කිසිදු සටහන් තබා ගැනීමක් මගෙ අතින් සිද්ධ වෙන්නෙ නැහැ.

කෞශල්‍ය: ඔබ නවකතාව කියන ආකාරය, ඒකේ ආඛ්‍යාන ශෛලිය ගැන කලින් දැනුවත්වද ඉන්නෙ?

ආරියවංශ: ඒ රටාව ලිවීම තුළම තමයි හොයා ගන්නෙ. සමහර අවස්ථා වලදි මට පණ තියන මිනිස්සු පාවිච්චි කරන්න බැරි වෙනවා. මළගිය ආත්ම ඕනෙ වෙනවා. යම් අවස්ථා වල සැබෑ මිනිහෙකුගෙන් කරගන්න බැරි දේ මම මළගිය ආත්මෙකින් ඉල්ලා හිටිනවා. ඒක සිද්ධ වෙන්නෙ පූර්ව සැලැස්මකට අනුව නෙමෙයි. උදාහරණයක් හැටියට මගෙ චාරුමන්දා කියන නවකතාව ගත්තොත්, ඒක ලියවෙන්නෙ හෙණකඳ බිසෝ බංඩාර කියන චරිතය ආශ්‍රයෙන්. හෙණකඳ බිසෝ බංඩාර කියන්නෙ දෙවියෙකුට සහ රජෙකු මැදි වෙච්ච කාන්තාවක්. කතරගම දෙවියෝ එයාව මරලා එයා ළඟට ගන්නවා. එතෙන්දි මම හිතුවෙ නැහැ මළගිය ආත්ම වැනි දේවල් මගේ පොතට ගන්න. මට ඕන වුනේ භෞතික සහ අභෞතික ආශාවන්ට මැදි වුණ කාන්තාවක් ගැන ලියන්න. එතෙන්දි මම හෙණකඳ බිසෝ බංඩාර චරිතය ආශ්‍රයෙන් වෙනත් ගැමි චරිතයක් ගොඩනගනවා චාරුමන්දා කියන. එතෙන්දි මම දේවාත්මය වැනි දේවල් ගැන හිතුවෙත් නැහැ. නමුත් කතාව ගොඩනැගෙද්දි අර මළගිය ආත්ම වැනි දේවල් නැතුව මට ඒ කතාව කියා ගන්න බැරි වුණා. මම කලින් කිව්ව වගේ නවකතාවක සැලැස්ම ඉස්සෙල්ලා හදා ගන්නෙ නැහැ. මට ඇත්තටම ප්‍රධාන වෙන්නෙ චරිත කිහිපයක්. ඒ චරිත ටික අතර ඇති වෙන සම්බන්ධය විදාරණය කර ගන්න අවශ්‍ය වෙන ආකෘතියක් ඒක ඔස්සේ හැදෙනවා. මගෙ පැත්තෙන් ගත්තොත් හදනවා කියන එකට වඩා හැදෙනවා කියල කියන එක තමා නිවැරදි කියල මට හිතෙන්නේ. දැන් 'මගෙ මාතෘකාවක් සොයන වචන අනූ තුන්දාහක්' කියන නවකතාව ගත්තොත්, ඒකෙන් මට කියන්න ඕන වුනේ අපි මේ සියලුම මිනිස්සු බොරුවට ඇනකොටා ගෙන ප්‍රශ්න ඇති කර ගන්නවා අපි සේරම එකයි කියන දේ. ඒක කියන්න මට තිබුණ ක්‍රමය තමයි මියගිය සිංහල සොල්දාදුවෙකුගෙ කයට එන ඕපපාතික උත්පත්තියක්. එතකොට එයා එල්ටීටීඊ සෙබලෙක්. අපි දන්නවා පුනරුත්පත්තිය වගේ දේවල් අපේ ජනතවගෙ හිතේ කා වැදුණු දේවල්. එතකොට මම එවැනි දේවල් මගේ නවකතා ලිවීමේදී ප්‍රයෝජනයට ගන්නවා.

කෞශල්‍ය: අපි ටිකක් කතා කරමුද නවකතාවක් ලියන්න පටන් ගත්තට පස්සෙ ඔබේ කාලය ගත වෙන හැටි ගැන?

ආරියවංශ: ලියන්න විශේෂ කාලයක් කියල එකක් නැහැ. මම උදෙත් ලියනවා දවලුත් ලියනවා රෑත් ලියනවා. ලියන්නෙ පරිගණකයෙන් නිසා මට කාමරේ ඉන්න සිද්ධ වෙනවා. ලියන වෙලාවට කවුරුහරි ආවොත් ගිහින් කතා කරනවා. වෙන වැඩක් තිබුණොත් ඒකටත් නැගිටල යනවා. ලියන එක මගෙ රොමෑන්ටික් වැඩක් නෙමෙයි. මගෙ හිතේ තියන දෙයක් එළියට දාගන්න මං දරන මහන්සියක් මිසක් ඒක තවත් වැඩක් මිසක් ඒක මට මහා නිකං භාවනානුයෝගී වැඩක් නෙමෙයි. අර කටුවක් ඇනුණම දැනෙන වේදනාවෙන් ගැලවෙන්න ඒ කටුව අයින් කරන්න ඕනෙනෙ. ඉතින් කටුව අයින් කරන්න කලක් වේලාවක් නැහැනෙ. ඒ ගලවල අයින් කරනවා වගේ මම ලියන එකට මහන්සි වෙනවා. ඒ මහන්සි වෙන්නේ මගෙ ජීවිතේ අනිත් වැඩත් එක්ක. මං මේ මාර කාර්යභාරයක් කරනවා වගේ මට හැඟීමක් නැහැ. මට ඕන අර කටුව ගලවල අයින් කරන්න. අනිත් එක මම ලියන ඒව කියවල මට හොඳ කිව්වත් මට බැන්නත් ඒකෙන් මට වැඩක් නැහැ. සාමාන්‍යයෙන් නවකතාවක් ලියන්න මට අවුරුදු දෙක තුනක් වත් ගතවෙනවා. ලියන්නෙ නැතුව ඉන්නව නෙමේ අතර මැද, හැමදාම ලියනවා. නමුත් ලියන දේවල් නැවත නැවත වෙනස් කරනවා. ප්‍රකාශකයෙකුට භාර දෙනතුරු මගෙ ළඟ තියන තුරු නවකතාව වෙනස් වෙනවා. මොකද මම ඒකත් එක්ක ජීවත් වෙනවා. මම ඒකත් එක්ක ජීවත් වෙන එක නතර වෙන්නෙ මම ඒක ප්‍රකාශකයට භාර දුන්නට පස්සෙ. ඊට පස්සෙ මං ඒකෙන් අයින් වෙනවා. ඊට පස්සේ තියෙන්නෙ අනිත් අයගෙ වැඩ. කියවනවද නැද්ද කියන එක. ඒක ඉතින් මං අදාළ කර ගන්නෙ නැහැ. මොකද මෙතනින් පස්සෙ නවකතාවෙ චරිත මට තවදුරටත් කරදර කරන්නෙ නැහැ. ඒක එතනින් අවසානයි.

කෞශල්‍ය: ලිවීම තුළ ඔබ පවතින ආකාරය ගැන, ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුළුවන්ද අවසාන වශයෙන්?

ආරියවංශ: එහෙම විශේෂ දෙයක් නැහැ. තමන්ගෙ හිතට ආව කිසියම් දෙයක් එළියට දාගන්න උත්සාහ කරන කෙනෙක් එතෙන්දි මම. ඒ වෙලාවෙදි මම ඒ චරිතත් එක්ක ජීවත් වෙනවා. දැන් මම ආරාමදාස නවකතාව ලියද්දි වෙනදට වඩා මම පොලොන්නරුවෙ නටඹුන් අතර ගැවසුණා. වාමන රූප, මුරගල්... ඒවත් එක්ක ආශ්‍රය තියෙන්න ඕන. මගෙ මාතෘකාවක් නැති වචන අනූතුන්දාහක් නවකතාව ලියද්දි මම ඔය හමුදාවට ගිය තරුණයෝ, තුවාල ලබපු කට්ටිය වගේ අය ආශ්‍රය කළා. ඒ ගැන පොතපත කියෙව්ව. අන්න ඒ වගේ මම ලියන දේට අදාළ පරිසරය තුළ තමයි මම ජීවත් වෙන්නේ. ලියන කාලයට නවකතාවේ චරිත අපේ කට්ටිය බවට පත් වෙනවා. ඒ අය විඳින දුක් වේදනවා දැනෙනවා. ඒක කටුක වෙන අවස්ථා වලදි ඒක පැත්තකට දාපු අවස්ථාත් තියනවා ඒක ටිකක් සමහන් වෙනකන් හිතේ. මුලින්ම මං ගන්න චරිත මගෙ අතේ රූකඩ වගේ හිටියට ටිකකින් ඒ අය මිත්‍රයෝ බවට පත් වෙනවා. ඊට පස්සෙ මිත්‍රයෝ විඳින දේවල් අපිටත් කාන්දු වෙනවනේ.

සිංහල නවකතාකරුවන් ලියන මොහොතේ පවතින අකාරය, ලිවීම සම්බන්ධ තාක්ෂණයන් සහ ඒ හා සම්බන්ධ ඔවුන්ගේ හැඟීම් ගවේෂණය කළ 'මම ලියන හැටි' සංවාද මාලාව මෙයින් සමාප්ත වෙයි.

අපට අවශ්‍ය වූයේ විවිධාකාර ආස්ථානයන්ගේ සිට සිංහල සාහිත්‍ය පෝෂණය කරන නවකතාකරුවන් සහ නවකතාකාරියන්ගේ ලිවීම හා සම්බන්ධ ජීවිතය හෙළිදරව් කර ගැනීමට ය.

එහිදී අපට ලංකාවේ මේ මොහොතේ සිටින සියලු නවකතාකරුවන් සහ කාරියන් එක්කර ගැනීමට අවකාශ නොපැවතුන බව අවධාරණය කළ යුතුය. එම නිසා තරුණ, පරිණත, ජනප්‍රිය, ජනප්‍රිය නොවන යනාදී වශයෙන් වෙනස් තල වල සිටින, නවකතාකරණය කෙරෙහි කැප වුණු කතුවරුන් යම් පිරිසක් මේ සඳහා අප විසින් තෝරා ගන්නා ලදි.

මෙයට එක් කර ගත නොහැකි වූ තවත් බොහෝ පිරිසක් සිටින බවත් ඔවුන් අතර අතිශය වැදගත් නවකතාකරුවන් සිටින බවත් සිහිපත් කළ යුතුය.

මේ සංවාද මාලාව අප අපේක්ෂා කල ප්‍රමාණයටත් වඩා දුරක් ගමන් කළේ එයට ලැබුණු සාධනීය පාඨක ප්‍රතිචාර නිසා ය.

ලිවීම සහ කියවීම කෙරෙහි උනන්දු විශාල පිරිසක් මේ සංවාද මාලාව සමඟ බැඳී සිටි අතර ඔවුන්ගේ උනන්දුව අපට විශාල ශක්තියක් විය.

එසේම මේ සංවාද වලට එක් වූ කතුවරුන් හා කතුවරියන් අපට දැක් වූ සහයට ද අපගේ ආචාරය හිමි විය යුතු ය.

බොහෝ අය අපට ලියා එවූ පරිදි මේ සංවාද මාලාව ලිවීමට ඇති ඔබගේ ආශාව දැල් වූයේ නම් එය අපට සතුටකි. අතිශය වැදගත් ලේඛක ලේඛිකාවන් තිස් දෙකක් සමඟ සිදුකළ ඒ සෑම සංවාදයටම මෙතැනින් ප්‍රවේශ විය හැකි ය.

බීබීසී සිංහල වෙනුවෙන් මෙම සංවාද මාලාව මෙහෙය වූ කෞශල්‍ය කුමාරසිංහ නවකතාකරුවෙක්,පරිවර්තකයෙක් සහ සමාජ සංස්කෘතික ක්‍රියාධරයෙකි. ඔහු නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ.