වැසිකිලියේ "කාලය කා දැමීම" වැලකීමට වැසිකිලියක්

ඡායාරූප මූලාශ්‍රය, STANDARDTOILET
අසුන් ගත්විට ඉදිරිපසින් මඳක් පහළට ඇලවූ ස්වභාවයක් ඇති, විනාඩි කිහිපයකට වඩා අසුන්ගෙන සිටීමට අපහසු නවතම වැසිකිලි අසුන් මාදිලියක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයකට ලක්ව තිබේ.
නව වැසිකිලි අසුන් මෝස්තරයේ උඩ කොටස අංශක 13 ක කෝණයකින් යුක්තය.
එක්සත් රාජධානිය තුළ පේටන්ට් බලපත්‍රය සඳහා ඉදිරිපත් කර ඇති මේ මෝස්‌තර අදහස ඇතැමුන්ගේ අවඥාවට ලක්ව ඇත.
"ස්ටෑන්ඩර්ඩ් ටොයිලට්" (StandardToilet) යනුවෙන් නම් කර ඇති එම වැසිකිලියේ නිර්මාපකයා වන මහබීර් ගිල් බීබීසී වෙත සිය නිර්මාණයේ පසුපස වූ අත්දැකීම පැහැදිලි කරමින් පැවසුවේ, "මේක මගේ පෞද්ගලික අත්දැකීමකින් මතුවූ එකක්. අධිවේගී මාර්ගයේ එක තැනක නැවතුනු මට වැසිකිළියට යාමට අවශ්‍ය වුණත් එතැන දිගු පෝලිමක් ඇති බව දුටුවා," යනුවෙනි.
"මිනිස්සු මේක ඇතුළේ මොනවද කරන්නේ කියලා මට හිතුණේ ඔවුන් තමන්ගේ ජංගම දුරකතන භාවිත කරන ගමන් ඉන් එළියට ආ නිසයි"
මෙම මුලාදර්ශය නිපදවූ ගිල් එය ඔහු විසින්ම අත්හදා බලා තිබේ.
ඔහු සඳහන් කරන පරිදි අංශක 11ක් වූ යෝග්‍ය ආනතියකදී විනාඩි 15 ට වඩා කාලයක් වැසිකිලි අසුනේ පහසුවෙන් අසුන්ගෙන සිටිය හැකිය. අංශක 13ක කෝණයකදී උපරිම වශයෙන් සිටිය හැක්කේ "විනාඩි පහත්, හතත්" අතර කාලයක් බව ගිල් කියා සිටී.

මේ අදහස සමාජ මාධ්‍ය ඔස්සේ හාස්‍යයට ලක්ව තිබේ.
මෙම ඇලවුණු වැසිකිලි බඳුන "පරාජය" කිරීම සඳහා එම අසුන සම මට්ටම් කිරීමට ඊට උඩින් වෙනත් යමක් තබන බවට ඇතැමුන් පවසා ඇත.
ට්විටර් ඔස්සේ එක් අයෙක් පවසා තිබුනේ මේ වැසිකිලියෙන් එන බලපෑම දුරුකිරීම සඳහා එහි පසු පසට අසුන්ගත හැකි වනු ඇති බවය.
"මෙය සැබෑවක් නම්, එය, සේවකයින් හා මානව වර්ගයා කෙරෙහි ඇති පිළිකුල් ධනවාදය තුළ ඇති ස්වභාවයේ නියෝජනයක්" යැයි ගායන ශිල්පිනියක වන හිලරි ගාඩිනර් බීබීසී සමග පැවසුවාය.
මෙම වැසිකිලිය පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් ද ප්‍රකාශයට පත් කර ඇත.
"දැනට ඇති වැසිකිලි අසුන්වල ඇත්තේ තිරස් මතුපිටකි," යැයි පෙන්වාදෙන එම වෙබ් අඩවිය "මෙයින් භාවිත කරන්නාට සාපේක්ෂ සුව පහසුවක් වැසිකිලිය තුළදී ලැබේ" යනුවෙන් පවසයි.
"එහි ප්‍රතිඵලයක් ලෙස අවශ්‍ය පමණට වඩා වැඩි කාලයක් භාවිත කරන්නෙකු වැසිකිලිය තුළ රැඳෙන්නේ කෙටි කාලීන අපහසුතාවකින් තොරවය. අවශ්‍ය තරමට වැඩි කාලයක් එසේ සිටීම සාමාන්‍යයෙන් අපේක්ෂා කරන්නක් නොවේ."
මෙම ඇලයක් ඇති මාදිලිය හේතුවෙන් බිලියන ගණනක අපතේ යන පැය ප්‍රමාණය ඉතිරි කරගැනීමට මේ කර්මාන්තයට හැකි බව ස්ටෑන්ඩර්ඩ් ටොයිලට් (StandardToilet) සමාගම පවසයි.
කොන්දේ හා දණහිසේ ආබාධ ඇති පුද්ගලයින්ට හා බඩවැල (අන්ත්‍රය) ආශ්‍රිත ගැටලු ඇති පුද්ගලයින්ට මෙම වැසිකිලිය සැබෑ දුෂ්කරතා මතු කරනු ඇත්දැයි සමාජ මාධ්‍ය පරිශීලකයෝ ප්‍රශ්න කරති.
කෙසේවෙතත්, බ්‍රිතාන්‍ය වැසිකිලි සංගමයේ කළමනාකාර අධ්‍යක්ෂ රේමන්ඩ් මාර්ටින්, නව මෝස්තරය ගැන ආරක්ෂණවාදී පිළිවෙතක හිඳිමින් පවසන්නේ, "මෙසේ කාලය සීමා කිරීම උපකාරී වන ඇතැම් ස්ථාන තිබෙනවා" යනුවෙනි.
වැසිකිලි පිළිබඳ ඉතිහාසය උපුටා දක්වමින් එක් තැනැත්තෙකු ට්විටර් ඔස්සේ ප්‍රකාශ කර තිබුණේ නානකාමර උපාංග නිපදවන සමාගමක් වූ ට්වයිෆර්ඩ්ස් (Twyfords) විසින් වසර 108 ට පෙරදී මෙවැනි ඇලයක් ඇති වැසිකිලි නිර්මාණය කරන ලද බවය.
"ට්වයිෆර්ඩ්ස්, ශතවර්ෂයකට පෙර ඒක ගැන උත්සාහ කළත් සාර්ථක වුණේ නැහැ" යැයි ටෙරී වූලිස්ක්රොෆ්ට් බීබීසී සමග පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, TERRY WOOLLISCROFT/TWYFORDS
ට්වයිෆර්ඩ්ස් සමාගම විසින් ප්‍රකාශයට පත්කරන ලද විවිධාකාර වැසිකිලි මෝස්‌තර ගොනු කෙරුණු බ්ලොග් පිටුවක් වූලිස්ක්රොෆ්ට් සතුව ඇත.
StandardToilet විසින් හඳුන්වා දෙන ලද සංකල්පයට ඉල්ලුමක් ඇතිවේදැයි යන්න ගැන තමන්ට සැක සහිත බව ඔහු කියා සිටී.
වැසිකිලියේ වැඩි කාලය අපතේ යැවීම, සමාජ මාධ්‍යවල ආගමනය සමග සෘජුව සම්බන්ධ කළ හැකිදැයි යන්න පිළිබඳව ඔහු ප්‍රශ්න කරයි.
"සමාජ මාධ්‍ය හෝ ජංගම දුරකථන නොවූයේ නම්, පුවත්පත් කියවමින් හෝ මිනිසුන් වැඩි වෙලාවක් වැසිකිලිය තුළ ගත කරන්නට ඉඩ තිබෙනවා" යැයි ඔහු කියා සිටී.
මේ තොරතුරුද දැනගන්න:









