සෞදි අරාබිය: ආපනශාලාවල ලිංගිකත්වය අනුව වෙනස්කම් ඉවත් කෙරෙන තීන්දුවක්

සෞදි අරාබිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සෞදි අරාබියේ 'මැක්ඩොනල්ඩ්' ආපනශාලාවක කාන්තාවන් සහ පුරුෂයන් වෙනස් දොරටුවලින් ඇතුල් කරගන්නා ආකාරය

ආපනශාලාවලට ඇතුල්වීමේ දී ලිංගිකත්වය සැලකිල්ලට ගනිමින් කාන්තාවන් සහ පුරුෂයන් සඳහා වෙන් වූ දොරටු පවත්වා ගනු ලැබීම තවදුරටත් අවශ්‍ය නොවන බව සෞදි අරාබි ආණ්ඩුව පවසයි.

කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා එක් දොරටුවක් ද, පුරුෂයන් සඳහා තවත් දොරටුවක් ද පවත්වා ගැනීම සෞදි අරාබියේ මෙතෙක් බල පැවැත්වුන අනිවාර්ය කොන්දේසියක් විය.

එහෙත් එරටෙහි බොහෝ ආපනශාලා, කුඩා අවන්හල් සහ පුද්ගලයන් මුණ ගැසෙන ස්ථානයන්හි තවදුරටත් ලිංගිකත්වය අනුව වෙන්කර තැබීමක් සිදු නොකිරීමත් සමඟ ඉහත කී කොන්දේසිය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනු ලැබීම දැනටමත් ලිහිල් කරනු ලැබ ඇත.

විසම්මුති මතවාදයන්ට එරෙහිව ක්‍රියා කිරීම දැඩි කිරීමක් සමඟ බැඳුණ සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක් සෞදි අරාබියේ දැනට පෙරට යමින් පවතී.

කාන්තාවක් පිරිමි රැකවලෙකුගේ අනුමැතියෙන් තොරව විදේශ සංචාරයන්හි නිරතවීම තහනම් කෙරුණ පැරණි නීතිය මේ වසර මුලදී සෞදි අරාබි රාජකීය ආඥාවක් මගින් අහෝසි කරනු ලැබුණි.

එපමණක් නොව, කාන්තාවන් රිය පැදවීම සම්බන්ධයෙන් දශක කීපයක් බල පැවැත්වුන තහනමත් 2018 වසරේ දී ඉවත් කෙරිණ.

එහෙත් සෞදි කාන්තාවන්ට එරෙහිව වෙනස්කම් සිදු කෙරෙන තවත් බොහෝ නීති තවමත් බල පැවැත්වෙන බව කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයෝ පෙන්වා දෙති.

ආණ්ඩුව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනු ලැබ ඇතත්, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන මුල් පෙළේ නීති උපදේශකයන් කීපදෙනෙකුම බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සෞදි අරාබිය
ඡායාරූප ශීර්ෂ වැකිය, නව ප්‍රතිසංස්කරණවලින් පසු රියැදුරු බලපත්‍රයක් ලබා ගන්නා සෞදි කාන්තාවක්

පසුගිය ඉරිදා (දෙසැම්බර් 08) නිවේදනයක් නිකුත් කළ සෞදි අරාබි නාගරික කටයුතු භාර අමාත්‍යාංශය, ආපනශාලාවලට ඇතුල් කරගැනීමේදී ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් වෙනස් දොරටු පවත්වා ගැනීම අවශ්‍ය නොවනු ඇතැයි කියා සිටියේය.

ඒ අනුව කාන්තාවන් සහ පුරුෂයන් ඇතුල් කරගැනීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙත තීන්දු කරනු ලැබීම ව්‍යාපාරික ආයතනවලට පැවරෙයි.

මේ දක්වා අනුගමනය කෙරුණ සම්ප්‍රදාය වුණේ ආපනශාලා තුළදීත් ස්ත්‍රී -පුරුෂ දෙපාර්ශ්වය තිරයක් පාවිච්චි කරමින් වෙන්කර තැබීමය.

මොහම්මඩ් බීන් සල්මාන් (Mohammed bin Salman) 2017 වසරේ ඔටුන්න හිමි කුමරා හැටියට නම් කරනු ලැබීමෙන් පසු, දැඩි මතධාරී ගතානුගතික සමාජයක් වූ සෞදි අරාබිය විවෘත සමාජයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම ආරම්භ කරනු ලැබුණි.

සල්මාන් කුමරාගේ ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රසාදයට ලක්වූ නමුත් එම ප්‍රතිසංස්කරණ පෙරට ගමන් ගත්තේ මර්දනකාරී ක්‍රියාමාර්ග රැල්ලක් ද සමඟය.

සෞදි අරාබිය

ඡායාරූප මූලාශ්‍රය, Instagram

ඡායාරූප ශීර්ෂ වැකිය, බයිසිකල් පදින සෞදි කාන්තාවෝ

සෞදි අරාබියානු සම්භවයක් සහිත කීර්තිමත් මාධ්‍යවේදියකු වූ ජමාල් කෂෝගි (Jamal Khashoggi) 2018 වසරේ දී තුර්කියේ 'ඉස්තාන්බුල්' නගරයේ පිහිටි සෞදි තානාපති කාර්යාලය තුළදී මරා දමනු ලැබීම දැඩි ජාත්‍යන්තර හෙළා දැකීමකට ලක්විය.

එහෙත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ප්‍රධාන පෙළේ ලෝක නායකයෝ සෞදි අරාබිය අත් නොහැර 'රියාද් පාලනය' සමඟ දිගටම කටයුතු කරති.

සෞදි අරාබිය

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සෞදි කාන්තාවන් රිය පදවනු දැන් දැකිය හැකිය

'රියාද් පාලනය' දෝෂ දර්ශනයට ලක් කළ ප්‍රකට විවේචකයකු වූ ජමාල් කෂෝගි, එක්තරා ඒජන්තයන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද "වගකීමකින් තොර මෙහෙයුමක"දී ("rogue operation") මරා දමනු ලැබ ඇතැයි සෞදි අරාබි නිලධාරීන් ප්‍රකාශ කොට ඇත.

එහෙත් බොහෝ විවේචකයන්ගේ විශ්වාසය වන්නේ වෙනත් අදහසකි.

කෂෝගි මරණය නීතියෙන් පරිබාහිරව සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයක් යයි එක්සත් ජාතීන්ගේ විශේෂඥයකු විසින් නිගමනය කරනු ලැබ ඇත.

කියවන්න: