බයිසිකල් පදින සෞදි කාන්තාවෝ

සෞදි

ඡායාරූප මූලාශ්‍රය, INSTAGRAM/@JEDDAH_WOMAN

ඡායාරූප ශීර්ෂ වැකිය, සැරසේන් - එලවේන් - යා... බයිසිකල් තරඟය ආරම්භක ස්ථානය

සෞදිඅරාබියේ කාන්තාවන් සහභාගී වූ ප්‍රථම බයිසිකල් තරඟය පිළිබද සමාජ මාධ්‍ය තුළ මහත් කතා බහක් ආරම්භව පවතී.

එවැනි කාන්තා බයිසිකල් තරඟයක් දක්නට ලැබීම බොහෝ දෙනාගේ පුදුමයට හේතු වී ඇත.

පසුගිය අඟහරුවාදා සෞදි කාන්තා බයිසිකල් තරඟය පැවැත්වුනේ 'ජෙඩාහ්' නුවරය.

'බී ඇක්ටිව් (Be Active)' ලෙස හැඳින්වෙන කණ්ඩායමක් විසින් තරඟය සංවිධානය කර තිබුණ අතර, කාන්තාවන් හතළිස්‌ හත් දෙනෙක් කිලෝමීටර් දහයක දුරක් බයිසිකල් පැදීමේ නිරතව ඇත.

තරඟයට සහභාගී වූ කාන්තාවන්ගේ සංඛ්‍යාව දැක තමා පුදුමයට පත් වූ බව තරඟ සංවිධායක නදීමා අබු අල්-එනීන් පවසන්නීය.

"තරඟයට සහභාගී වීම සදහා සිතුවාටත් වඩා වැඩි කාන්තාවන් පිරිසක් පැමිණි නිසා, අපි මුලින් සැලසුම් කළ උපරිම තරඟකරුවන් ගණන 30 සිට 47 දක්වා වැඩි කරන්න සිදු වුණා. තරඟයට සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටි තවත් බොහෝ දෙනෙකුට අවස්ථාව නොදීමට සංවිධායක මණ්ඩලයට සිදු වුණා" නදීමා පැවසුවාය.

සෞදි

ඡායාරූප මූලාශ්‍රය, INSTAGRAM/@JEDDAH_WOMEN

ඡායාරූප ශීර්ෂ වැකිය, තරඟය අවසන් වීමට නියමිත ස්ථානයේ රැඳී සිටින නදීමා අබු අල්-එනීන්

ට්විටර් සමාජ ජාලය තුළ මෙම තරඟය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්නට ලැබුණත් සමහර පුද්ගලයන් කාන්තා බයිසිකල් තරඟය අනුමත කර නැත.

"මම ආගමික නායකයෙක් නොවේ. හැබැයි මම සිතන්නේ කාන්තාවක් බයිසිකල් පැදීමෙන් ඇයගේ ශරීරයේ සරාගී කොටස් නිරාවරණය වීමෙන් අනවශ්‍ය ලෙස පුරුෂයන් ආකර්ෂණය කර ගන්නවා කියලා. කාන්තාවන්ට බයිසිකල් පදින්න අවශ්‍ය නම් එය ප්‍රසිද්ධියේ නොකර පෞද්ගලික දෙයක් හැටියට කළ යුතුයි"එක් ට්විටර් පණිවිඩයක දැක්වෙයි.

"කාන්තාවන් ක්‍රීඩා කිරීම අවශ්‍යයි. නමුත් ඒ දේවල්වලට සීමාවක් තිබිය යුතුයි. පුරුෂයන් ඉදිරියේ ක්‍රීඩා කිරීම සුදුසු නැහැ," තවත් ට්විටර් පණිවුඩ කරුවෙක් පවසයි.

මේ තොරතුරුද දැනගන්න:

කෙසේ වෙතත්, බොහෝ ට්විටර් පරිශීලකයන් මෙම තරඟය වර්ණනා කරමින් පණිවිඩ නිකුත් කර තිබුණි.

@p9p_ ලෙස නම් කර ඇති ට්විටර් ගිණුමේ සඳහන් වූයේ, "මේ තරඟය ඉතා විනෝදජනක බව පෙනී යනවා" යනුවෙනි.

මෙවැනි තරඟයක් පැවැත්වීම පිළිබද තම සතුට පළ කළ @foof_foofa, "අපිට ඔබේ විරුද්ධත්වයෙන් වැඩක් නැහැ" ලෙස සඳහන් කර ඇත.

"සමාජ මාධ්‍යජාල ඔස්සේ මෙම තරඟය හෙළා දකින කාන්තාවන් තව අවුරුදු පහකින්, දහයකින් හෝ විස්සකින් මෙවැනි තරඟවලට සහභාගී වීමට උත්සහ කරාවි. නැත්නම් තරඟකරුවන්ට ඔල්වරසන් නඟයි. ජංගම දුරකථන, රූපවාහිනී යන්ත්‍ර, පාසල්, හෙද සේවය සහ සෞඛ්‍ය සේවා හඳුන්වා දෙන විටත් මේ දේම සිදු වුණා.... නමුත් කාලය ගත වීමත් සමග ඔවුන් ආපසු හැරී බලා තමන් පෙර හැසිරුණ ආකාරය ගැන ලැජ්ජාවට පත් වුණා" යැයි @N9n9Ta පළ කළ ට්විටර් පණිවිඩයේ සඳහන් විය.

සෞදි

ඡායාරූප මූලාශ්‍රය, REUTERS

ඡායාරූප ශීර්ෂ වැකිය, සෞදි අරාබිය, සිය පළමුවෙනි ඔපෙරා ශාලාව 'ජෙඩාහ්' නගරයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර ඇත.

නදීමා අබු අල්-එනීන්ගේ මූලිකත්වයෙන් 2017 වර්ෂයේ දී මෙම බයිසිකල් සංගමය පිහිටුවන ලදී. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සෞදිය පුරා විසිරී සිටින බයිසිකල් ගැන උනන්දුවක් දක්වන කාන්තාවන් රැස් කරගෙන බයිසිකල් පැදීමෙන් ශරීර සෞඛ්‍යයට අත් වන වාසි පිළිබද සමාජය දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

සෞදි අරාබි කාන්තාවන් බයිසිකල් පදින විට මුහුණ දෙන අපහසුතා ගැන 'සයික්ලින් ටුඩේ (Cycling Today)' සමග පැවති සාකච්ඡාවකදී නදීමා පැහැදිළි කළාය. නමුත්, බයිසිකල් පදින කාන්තාවන් දිනෙන් දින වැඩි වෙමින් පවතින බව ඇය පවසන්නීය.

ක්‍රීඩා සදහා වෙන් කළ ප්‍රදේශයක දී, ශරීරය වැසෙන ඇඳුමක් ඇඳ, පුරුෂයෙකුගේ ආරක්ෂාව යටතේ කාන්තාවකට බයිසිකල් පැදිය හැකි බව 2013 වර්ෂයේ දී සෞදි අරාබිය ප්‍රකාශයට පත් කර තිබිණි.

2030 වර්ෂය වන විට විශාල සමාජ වෙනසක් සිදු කිරීම සෞදි බාධාරීන්ගේ සැලැස්මයි.

පසුගිය සඳුදා එරට පළමු ඔපෙරා නෘත්‍ය ශාලාව 'ජෙඩාහ්' නගරයේදී විවෘත කෙරිණ.

තවත් තොරතුරු: