වීසා බලපත් නැති ශ්‍රී ලාංකිකයන්ට පොදු සමා කාලයක්

මැදපෙරදිගින් ආපසු ගෙන්වා ගත් ශ්‍රී ලාංකික කාන්තාවන් කණ්ඩායමක් කටුනායක ගුවන් තොටුපොළේ දී.

ඡායාරූප මූලාශ්‍රය, SLBFE

ඡායාරූප ශීර්ෂ වැකිය, මැදපෙරදිගින් ආපසු ගෙන්වා ගත් ශ්‍රී ලාංකික කාන්තාවන් කණ්ඩායමක් කටුනායක ගුවන් තොටුපොළේ දී.

වීසා බලපත‍් රහිතව සියරටේ ජීවත් වෙන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ට එරටින් පිටවීම සඳහා කුවේට් රාජ්‍යය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය පවසන පරිදි, 2018 ජනවාරි 29 දින පටන් පෙබරවාරි මස 22 තෙක් අදාළ පොදු සමා කාලය බල පැවැත්වෙන බව කුවේටයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනය කරනු ලැබ ඇත.

වීසා නොමැතිව කුවේට්හි වෙසෙන විදේශිකයින්ට එකී පොදු සමා කාලය තුළ දඩ මුදල් ගෙවීමකින් තොරව සහ අදාළ ආයතනවල අවසරයකින් තොරව එරටින් පිටවිය හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

එසේම එසේ පිටව යන පුද්ගලයන්ට වෙනත් නෛතික තහංචි නැත්නම් නීත්‍යානුකූල මට්ටමින් අනාගතයේ යළිත් කුවේටයට පැමිණීමේ බාධාවක් නොමැති බවත් එම නිවේදනය සඳහන් කරයි.

ආපසු සියරටට ඇතුල්වීමට අවශ්‍ය බලපත් සකසමින්

ඡායාරූප මූලාශ්‍රය, SLBFE

ඡායාරූප ශීර්ෂ වැකිය, ආපසු සියරටට ඇතුල්වීමට අවශ්‍ය බලපත් සකසමින්

මේවනවිට 15,447 කට ආසන්න ශ්‍රී ලාංකික ප්‍රජාවක් නියමිත වීසා බලපත් නොමැතිව නීති විරෝධී මට්ටමින් කුවේටයේ රැඳී සිටින බව අධිකරණ සහ විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල පවසයි.

එවැනි පුද්ගලයන් මෙම පොදු සමා කාලය තුළ කුවේට් රාජ්‍යයෙන් පිට නොවී තවදුරටත් එරට රැඳී සිටියොත්, එවැන්නන් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට කුවේට් බලධාරීන් පියවර ගැනීමට ඉඩකඩ ඇති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙයි.

කුවේටයේ අනවසරයෙන් රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තොරතුරු ලද පළමු අවස්ථාව මෙය නොවේ.

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නීති වි‍රෝධී අයුරින් එරට රැඳී සිටි ලාංකිකයන් 120 දෙනකු 2017 මැයි මාසයේත් ආපසු ගෙන්වා ගනු ලැබුණි.

ඔවුන් සිය සේවා ගිවිසුම් කාලය ඉක්මවා නීති විරෝධී අයුරින් රැඳී සිටිමින් විවිධ රැකියාවල නිරතවූවෝ වූහ.

අධිකරණ සහ විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල
ඡායාරූප ශීර්ෂ වැකිය, අධිකරණ සහ විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල

සෞදි අරාබිය

නියමිත බලපත් නැතිව රැඳී සිටින විදේශීය ශ්‍රමිකයන් නෙරපා හැරීමට, සෞදි අරාබි ආණ්ඩුව මෙයින් කලකට පෙර මෙහෙයුමක් ගෙන ගිය අතර ඒ සමඟ එරට වෙළෙඳසැල් ,ව්‍යාපාරික ආයතන සහ පාසල් ආදිය වසා දැමෙන තත්වයක් උද්ගතව වූ බවක් වාර්තා විය.

'ජෙඩා' වරායේ ව්‍යාපාරික කටයුතුවල නිරත වෙන්නන්, ප්‍රාදේශීය මාධ්‍ය ආයතනවලට අදහස් දක්වමින් වරාය සේවකයන්ගෙන් පහෙන් හතරක්ම රැකියාවන්ට වාර්තා නොකිරීමත් සමඟ, කල්තබා ගත නොහැකි ආහාර වර්ග කුණු වෙන්නට පටන් ගෙන ඇති බව කියා තිබුණි.

සෞදි බලධාරීන් විසින් හඳුන්වා දුන් නව නීති රීති යටතේ, විදේශීය ශ්‍රමිකයන්ට අනුග්‍රහ දක්වන හාම්පුතුන් දැඩි කොන්දේසිවලට යටත් කෙරෙන අතර, වීසා බලපත් නැතිව රැඳී සිටින දස දහස් සංඛ්‍යාත විදේශීය ශ්‍රමික ප්‍රජාවක් අත්අඩංගුවට ගෙන රටින් නෙරපා හරිනු ලැබීමට සැලසුම් කරන ලදී.

කුවේටය පමණක් නොව වෙනත් මැදපෙරදිග රටවල් විසින් ද අනවසර සංක්‍රමණිකයන් ආපසු යැවීමේ පොදු සමාකාල ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණි

ඡායාරූප මූලාශ්‍රය, SLBFE

ඡායාරූප ශීර්ෂ වැකිය, කුවේටය පමණක් නොව වෙනත් මැදපෙරදිග රටවල් විසින් ද අනවසර සංක්‍රමණිකයන් ආපසු යැවීමේ පොදු සමාකාල ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණි

එම වැඩ පිළිවෙලේ අරමුණ විදේශ ශ්‍රමය මත රඳා පැවැත්ම නිම කිරීම සහ දේශීය ජනතාවට වැඩිපුර රැකියා සැපයීම වන බව, සෞදි අරාබි බලධාරීහු ප්‍රකාශ කළහ.

පොදු සමාවක් යටතේ සෞදි අරාබියෙන් පිටවීම සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තුන්සියයත් හාරසියයත් අතර පිරිසක් යළි සිය රටට පැමිණීමට නොහැකිව එරට අතරමංව සිටි බව ඒ දිනවල වාර්තා විය.

සබැඳි පුවත්;