සෞදි අරාබියේ කාන්තා අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිනියකට මරණ දඬුවම දෙන්නැයි ඉල්ලීමක්

ඡායාරූප මූලාශ්‍රය, TWITTER/@ISRAAALGHOMGHAM
සෞදි ආරාබියේ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටි ඉස්රා අල්-ගොම්ගම් (Israa al-Ghomgham) ඇතුළු සමාජ සේවා ක්‍රියාකාරීන් පස් දෙනෙකුට මරණ දඬුවම් නියම කරන ලෙස නඩු විභාගයේ පැමිණිලි පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
මෙම ක්‍රියාකාරීන් පස් දෙනාගේ නඩු විභාග වූයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදු කිරීමේ වරද යටතේ බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. ගැටලු පවතින කාතිෆ් පළාත තුළ පැවති "විරෝධතාවලට සහභාගී වීම" ඔවුන්ට එරෙහිව තිබූ එක් චෝදනාවකි.
එම විරෝධතා ගෙන යනු ලැබුවේ සෞදි අරාබියේ සුළුතරයක් වන ෂියා මුස්ලිම් ප්‍රජාව විසිනි.
මානව අයිතීන් වෙනුවෙන් ක්‍රියාකිරීම නිසා බොහෝ විට මරණ දණ්ඩනයට ලක් වීමට ඉඩ තිබෙන ප්‍රථම කාන්තාව ඉස්රා අල්-ගොම්ගම් බව විශ්වාස කෙරේ.
පැමිණිලි පාර්ශවය අධිකරණයෙන් සිදු කරන මෙම ඉල්ලීම මේ වන විට අරාබි රටවල සිරගත කර සිටින අනෙක් ක්‍රියාකාරිනියන්ට ඉතා භයානක පූර්වාදර්ශයක් සපයන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය අනතුරු අඟවයි.
මැයි මස මුල සිට මේ දක්වා මානව හිමිකම් සහ කාන්තා අයිතීන් ක්‍රියාකාරිනියන් 13ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ක්‍රියාකාරකම්වල නියැලීම ඔවුනට එරෙහිව ඇති චෝදනාවයි. මේ අතරින් සමහර පුද්ගලයන් නිදහස් කර ඇතත්, අනෙක් අයගේ චෝදනා විභාග නොකර රඳවාගෙන සිටී.
මේ තොරතුරුද කියවන්න:
ඉස්රා අල්-ගොම්ගම් 2011 වර්ෂයේ සිට කාතිෆ් පළාතේ පැවති විශාල උද්ඝෝෂණවලට සහභාගී වී ඒවා වාර්තා කර තිබෙන බව හියුමන් රයිට්ස් වොච් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සුන්නි මුස්ලිවරුන්ගෙන් සමන්විත රජයෙන් එල්ල වන වෙනස්කම්වලට එරෙහිව හඬ නැගීමට ෂියා මුස්ලිම්වරු වීදි බැස තිබේ.
2015 දෙසැම්බර් මස ඉස්රා අල්-ගොම්ගම් සහ ඇයගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන අතර, මේ වන තෙක් ඔවුහු දම්මාම්ස් අල්-මබහිත් (Dammam's al-Mabahith) සිර කඳවුරේ රඳවා සිටිති.
"කාතිෆ් පළාතේ උද්ඝෝෂණවලට සහභාගී වීම, උද්ඝෝෂණවලට පුද්ගලයන් පෙළඹවීම, රජයට විරුද්ධ සටන් පාඨ කීම, සමාජ මතය ඇවිස්සීමට ක්‍රියා කිරීම, උද්ඝෝෂණ පටිගත කර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම, උද්ඝෝෂකයින් දිරිමත් කිරීම," ඉස්රා අල්-ගොම්ගම් ඇතුළු ක්‍රියාකාරීන් පස්දෙනාට එරෙහිව තිබූ චෝදනා බව හියුමන් රයිට්ස් වොච් පවසයි.
ඉස්ලාමීය නීතියේ ඇති "ටසීර්" ප්‍රතිපත්තිය අනුගමනය කරමින් මෙම පිරිසට මරණ දඬුවම දෙන ලෙස නඩු විභාගයේ මුල සිටම පැමිණිලි පාර්ශ්වය ඉල්ලීම් කර තිබේ. ටසීර් නීතිය අනුව වරද කුමක්දැයි යන්න සහ එයට සරිලන දඬුවම තීරණය කිරීම සඳහා විනිසුරුවරයාට සම්පූර්ණ බලය පැවරේ.
"සෑම මරණ දණ්ඩනයක්ම ඉතා බියජනකයි. නමුත් ඉස්රා අල්-ගොම්ගම් වැනි දරුණු හැසිරීමක් ගැන චෝදනා ලබා නැති ක්‍රියාකාරීන්ට මරණ දඬුවම දීම අතිශය භයානකයි" යැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ මැද පෙරදිග අධ්‍යක්ෂිකා සාරා ලියා විට්සන් කළ ප්‍රකාශයක සටහන් වී තිබිණි.
ඉස්රා අල්-ගොම්ගම්ට එරෙහිව ඇති චෝදනාවලින් ඇයව නිදහස් කරන ලෙස ලන්ඩන් නුවර පිහිටි යුරෝපා සෞදි මානව හිමිකම් සංවිධානයක් සෞදි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
නමුත් මේ වන තෙක් සෞදි රජය ඉස්රා අල්-ගොම්ගම්ගේ නඩු විභාගය පිළිබඳ කිසිදු ප්‍රකාශයක්කර නොමැත.
තවත් තොරතුරු:








