ශ්‍රී ලංකාවේ මරණ දඬුවම: ක්‍රියාත්මක කරන්නට සුදානම්, "වධකයෙක් නැහැ"

ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා පැවති විවාදය අවසානයකට ගෙන ඒමේ ලකුණු පහල වූයේ මරණීය දණ්ඩණය යළි ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අඟහරුවාදා (ජූලි 10) එකඟතාවකට පැමිණීමත් සමගිනි.
ඒ අනුව, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරුවන්ව මරණීය දණ්ඩනය පැනවුණු පුද්ගලයින් සඳහා එසේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් එකඟතාව පළවූයේ ඒ සඳහා ජනාධිපතිවරයා ගෙන ආ යෝජනාවකට අවධානය යොමු කිරීමෙන් අනතුරුවය.
මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණ දඬුවමට ලක්ව සිටින ජාවාරම්කරුවන් "හිරගෙදර ඉඳලා මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා, රටේ මත්ද්‍රව්‍ය බෙදනවා," යැයි බදාදා (ජූලි 11) මහනුවර පැවති උත්සවයකදී පෙන්වා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන "මරණීය දණ්ඩනයට නියම වීමෙන් පසුවත් පුළුල් ලෙස මහා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මරණීය දණ්ඩණය නියමවුවන්ට එම දඬුවම දීමට මම මගේ අත්සන යොදනවා," යැයි අධිකරණ අමාත්‍යංශයට දැනුම් දුන් බව කියා සිටියේය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
මරණ දඬුවමට ලක්වුවන්
බීබීසී සිංහල සේවය කළ විමසීමකදී තොරතුරු හෙළි කළ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය පැවසූ පරිදි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරුවන් බවට තීන්දු කර මරණ දණ්ඩනයට යටත් කර ඇති පුද්ගලයින් ගණන 16 කි.
ඒ අතර විදේශිකයින් කීපදෙනෙකු ද සිටින බව ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ මරණ දඬුවම හැත්තෑව දශකයේ අගභාගයේ අත්හිටුවනු ලැබීමෙන් පසුව ස්ථිර වශයෙන් ම එම දඬුවමට ලක්කෙරුණු වරදකරුවන් 374 දෙනකු මේ වනවිට සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එසේම මරණ දණ්ඩනයට යටත් වුව ද ඊට එරෙහිව අභියාචන ඉදිරිපත් කළ තවත් 880 දෙනෙක් ද බන්ධානාගාරය තුළ සිටිති.
ප්‍රතිචාර
මරණ දඬුවම යළි ක්‍රියාවට නැගීම සම්බන්ධයෙන් විවිධ ප්‍රතිචාර පළවෙමින් තිබෙන අතර ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) සඳහන් කරන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ කවර හෝ සැලසුමක් වේ නම් ශ්‍රී ලංකාව එය හකුලා ගත යුතු අතර මෙම "කෘර මෙන්ම ආපසු හැරවිය නොහැකි දඬුවම් ඉවතලීම" සම්බන්ධයෙන් දිගු කාලයක් පුරා පවතින සාධනීය වාර්තාව රැකගත යුතු බවය.
"මෙය යළි ක්‍රියාවට නැගීම නිසා වසර 40 ට වැඩි කාලයක් පවතින කීර්තියට ශ්‍රී ලංකාව හානි කරගන්නවා" යැයි එම ආයතනයේ දකුණු ආසියානු කලාපය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා දිසානායක පෙන්වා දෙන්නීය.
මරණ දඬුවම ඉවතලීම අතින් කලාපය තුළ ප්‍රමුඛයකු වී සිටි ශ්‍රී ලංකාව, "දැන් ලෝකයේ බොහෝ රටවල් මරණ දඬුවමට පිටුපාද්දී වැරදි දිශාවකට යොමුවෙමින් සහ මේ භයානක භාවිතය පවත්වාගන්නා කුඩාවෙමින් තිබෙන සුළුතර රාජ්‍ය ගොන්නට එකතුවෙමින් අවදානමක් කරා යනවා," යැයි ද ඇය කියා සිටී.
මරණ දඬුවම ගැන 'විවාදය'
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම රට තුළ බිහිසුණු හා සංවිධානාත්මක අපරාධ පිළිබඳ අවධානය ඉහළ යද්දී මරණ දඬුවම යළි බලපැවැත්විය යුතු ද නැද්ද යන විවාදය කලක සිට පැවතිණි.
හෝකන්දර සමූහ ඝාතනය, මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය, සේයා සදෙව්මි හා ශිවලොගනාදන් විද්‍යා වැනි බාල වයස්කාර දැරියන් දූෂණය හා ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක අපරාධ පිළිබඳ අවධානය යොමු කළ ඇතැම් දෙනා ශ්‍රී ලංකාව තුළ නැවත මරණීය දණ්ඩණය ක්‍රියාත්මක කළ යුතු බවට අදහස් පළ කළහ.
එහෙත්, ඊට ප්‍රතිරෝධී අදහස් ද ශ්‍රී ලාංකික සමාජය තුළ ඕනෑතරම් විය.
කෙසේවෙතත්, මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට ජනතාව අතරින් නැගුණු ඉල්ලීමට පවතින ආණ්ඩුවේ පළමු නිල ප්‍රතිචාරය ලෙස, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලදහොත් ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පැවසුවේ 2015 සැප්තැම්බර් මස ගාලු නගර ශාලාවේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහෙත්, එවක විදේශ අමාත්‍ය ධුරය දැරූ මංගල සමරවීර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ජිනීවා හි රැස්වූ අවස්ථාවේදී පෙන්වාදුන්නේ ශ්‍රී ලංකාවේ මරණ දඬුවම තහනම් කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව බවය.
මරණ දඬුවම යළි පැනවිය යුතුද? නැද්ද ? යන විවාදය මීට කලකට ඉහත පවතින අතරේදී බීබීසී සිංහල සේවයට අදහස් පළකළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩගම, ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්මවලට සහ වටිනාකම්වලට ගැලපෙන මානුෂීය සමාජයක් බිහිකිරීමේ කැපවීම ප්‍රදර්ශනය කරනු වස් මරණ දඬුවම අහෝසි කළ යුතු බව කොමිසමේ නිර්දේශය බව සඳහන් කළාය.
එය ශ්‍රී ලංකාවේ නීති පොතින් ඉවත් කළ යුතු බව මානව හිමිකම් කොමිසම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නිදේශ කරන බව කී ඇය වැඩිදුරත් කියා සිටියේ "මරණ දඬුවම තහනම් කරන්න කියන එක අපි දන්නවා ජනප්‍රිය මාතෘකාවක් නෙවෙයි," යනුවෙනි.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ සූදානම
දැනට බන්ධනාගාරයේ සිටින මරණ දඬුවමට ලක්වූවන් අතර හිටපු දේශපාලනඥයින් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයින් ද සිටිති.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවයට පැවසු පරිදි, දැනට මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැක්කේ වැලිකඩ බන්ධනාගාරයේ පමණි.
මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් ඊට සූදානම් වීමේ පියවරක් ලෙස, පෝරකය සඳහා විශේෂයෙන් සකසන ලද කඹයක් ආනයනය කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව 2013 වසරේදී පියවර ගත්තේය.

එසේම, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා පුරප්පාඩුව පැවති 'අළුගෝසු' නොඑසේනම් 'වධක' තනතුර සඳහා බඳවාගන්නා ලද පුද්ගලයින් වරින් වර එය අතහැර යාමෙන් බන්ධානාගාර දෙපාර්තමේන්තුව ගැටලුවකට මුහුණ දී තිබිණි.
ඊට බඳවා ගත් දෙදෙනෙක් එය අතහැර ගොස් මාස අටක පමණ කාලයකින් අනතුරුව තවත් අයෙකු බඳවා ගත්තද 2014 මාර්තු මස දී එම පුද්ගලයා ද සතියක පමණ පුහුණුවකින් අනතුරුව එම රැකියාව අතහැර යන්නට ගියේය.
කෙසේවෙතත්, දැනට පුරප්පාඩුව පිළිබඳ අදහස් දැක්වූ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය කියා සිටියේ එම තනතුර සඳහා ඉදිරියේදී අයදුම්පත් කැඳවන බවය.
මරණ දඬුවම: ගෝලීය තත්ත්වය
මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකරන ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) 2017 වසරේ අවසන් වරට නිකුත් කරන ලද සවිස්තර වාර්තාවට අනුව 2016 වසරේ ලොව වැඩිම මරණ දඬුවම් ප්‍රමාණයක් ක්‍රියාවට නගා ඇති රට චීනය ලෙස සැළකේ. දත්ත නිසි ලෙස ලබා ගැනීම අපොහොසත් වීමේ තත්ත්වයක් තුළ වුව ද, ක්‍රියාවට නංවන ලද මරණ දඬුවම් ප්‍රමාණය දහස් ගණනක් බව පෙන්වා දී ඇත.
ඊට පසු ඉරානය සිටින අතර එරට ක්‍රියාවට නගන ලද මරණ දඬුවම් සංඛ්‍යාව 567 ඉක්මවා ඇති අතර සෞදි අරාබිය 154 ට වැඩි ප්‍රමාණයක් ද, ඉරාකය 88 ට වැඩි ප්‍රමාණයක් බව ක්ෂමා ආයතනය සඳහන් කර තිබිණි.
ශ්‍රී ලංකාව අයත් දකුණු ආසියානු කලාපය තුළ 2016 වසරේදී වැඩි ම මරණ දඬුවම් ප්‍රමාණය ක්‍රියාවට නගා ඇත්තේ පාකිස්තානය බව ද එම වාර්තාවේ දැක්වේ. එම සංඛ්‍යාව 87 ඉක්මවා ගොස් ඇත.
ඊට අමතරව බංග්ලාදේශය තුළ මරණ දඬුවම් 10 ක් ක්‍රියාවට නංවා ඇත.
මේ අතර 2016 වසර අවසාන වනවිට ලොව රටවල් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් මරණ දඬුවම නෛතිකව හෝ භාවිතයෙන් අවලංගු කර ඇති බව ද ක්ෂමා ආයතනය නිකුත් කළ වාර්තාවේ දැක්වේ. ඒ අනුව රටවල් 141ක් එම දඬුවම අවලංගු කර ඇති අතර රටවල් 57ක් එය පවත්වාගෙන යමින් සිටිති.








