මරණ දඬුවමට මම විරුද්ධ නෑ - ජනපති

ඡායාරූප මූලාශ්‍රය, AFP
පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණ හොත් ශ්‍රී ලංකාවේ යළිත් වරක් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ගාලු නගර සභා ශාලාවේ පැවැත්වුණ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායේ දෙවැනි ජාතික වැඩසටහනට එක්වෙමින්.
"මරණ දඬුවම් දීම පිළිබඳව මගේ අකමැත්තක් නෑ. නමුත් මට ඒ සඳහා බලය තිබුණත්, මම බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස කීපය තුල ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න," ජනාධිපතිවරයා පැවසීය.
එහෙත් පසුගිය සඳුදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඇමතූ විදේශ අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ, ශ්‍රී ලංකාවේ මරණ දඬුවම තහනම් කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව බවයි.
පළමු ප්‍රතිචාරය
කොටදෙණියාවේ දී සේයා සදෙව්මි දැරිය ලිංගික අපයෝජනයට ලක් කොට ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ යළිත් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට ප්‍රබල ජනතා මතයක් ගොඩ නැගෙමින් පවතී.
ළමා අපයෝජකයන්ට දැඩි දඬුවම් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමින් දිවයින පුරා විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ පැවැත්වෙන අතර, මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කළ යුතු බව සමාජ සේවා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ද දිගින් දිගටම අවධාරණය කරයි.

පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව මරණ දඬුවම යළි ක්‍රියාවට නගන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගාල්ලේ දී නිවේදනය කළේ, ජනතාවගෙන් මතු වන එම ඉල්ලීම් සම්බන්ධයෙන් පළමු වරට ආණ්ඩුවේ නිල ප්‍රතිචාරය පළ කරමින්.
කෙසේ නමුත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම රට තුල අපරාධ අඩු කිරීමට කිසිදු රුකුලක් වනු නැති බව ළමාරක්ෂක ක්‍රියාධරයෝ අවධාරණය කරති.
සැබවින්ම අවශ්‍යව නව නීති පැනවීම නොව පවතින නීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීම බව ළමාරක්ෂක අධිකාරියේ ආරම්භක සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මීට ඉහතදී බීබීසී සංදේශයට පැවසීය.
විසඳුම?
"නීතිය ක්‍රියාත්මකවීම හරි හැටි කෙරෙනව නම් ඔය ප්‍රශ්නේ විසඳෙනවා. දැන් බලන්න සරත් එන් සිල්වා මහත්තයා පවා අත්හිටවූ දඬුවම් දුන්න ළමා අපයෝජනයට. ඒක මේ දණ්ඩ නීති සංග්‍රහයේ නෑ," මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පැවසීය.
ළමුන්ට එරෙහි අපරාධ වළක්වාලීම සඳහා මරණ දඬුවම අවශ්‍ය නොවන බව පසුගිය බදාදා කොළඹ දී මාධ්‍ය හමුවක් ඇමතූ ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි ආචාර්ය නතාෂා බාලේන්ද්‍ර ද කියා සිටියාය.

වැරදිකරුවකුට මරණ දඬුවම නියම කිරීමට ශ්‍රී ලංකාවේ අධිකරණයට බලය තිබෙන නමුත්, එය ක්‍රියාවට නැගීම පිණිස රාජ්‍ය නායකයා අනුමැතිය පළ කළ යුතුය.
රාජ්‍ය නායකයාගේ අනුමැතිය පළ නොවීම හේතුවෙන් දශක ගණනාවක් ඇතුලත ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය ක්‍රියාවට නැගී නැත.
සේයා සදෙව්මි සහ උතුරේදී දූෂණය කොට මරා දැමුණු දැරියන් සම්බන්ධයෙන් සිංහල ජනමාධ්‍යවල වාර්තාකරණයද දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.








