‘දරුවන් රැක ගැනීම දෙමාපිය වගකීමක්’

අපයෝජනයට ලක් කොට ඝාතනය කරනු ලැබුණ සේයා සදෙව්මි දැරියගේ අවසන් කටයුතු අඟහරුවාදා (15) සිදු විය.

මීගමුව බඩල්ගම පැවති අවමගුල් උත්සවයට ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

ආගමික වතාවත් සිදු කිරීම සඳහා වැඩම කළ සංඝරත්නය අවධාරණය කළේ මව්පියන් විසින් දරුවන් වෙත නිසි අවධානය යොමු කොට ඔවුන් හොඳින් රැක බලා ගැනීමේ වැදගත්කමයි.

අවමංගල්‍යය සඳහා පැමිණ සිටි බොහෝ දෙනා ඉතා හැඟීම්බර ලෙස සිටින ආකාරය දක්නට ලැබුණ බවයි එහි ගොස් සිටි බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රසාද් පූර්නිමල් ජයමාන්න පවසන්නේ.

ළමා අපයෝජකයන් සහ ස්ත්‍රී දූෂකයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කොට ඔවුන්ට මරණ දණ්ඩනය ලබා දිය යුතු බව සේයා සදෙව්මි දැරියගේ ඉරණමෙන් සංවේගයට පත් බොහෝ දෙනෙක් කියා සිටින්නේ.

දෙමව්පියන්ටත් විවේචන

'සේයා' අවමඟුලට එක් වූ දහම් සිරිසේන සහ රන්ජන් රාමනායක.

ඡායාරූප මූලාශ්‍රය, Prasad Purnimal Jayamanne

ඡායාරූප ශීර්ෂ වැකිය, 'සේයා' අවමඟුලට එක් වූ දහම් සිරිසේන සහ රන්ජන් රාමනායක.

සදෙව්මි දැරියගේ ගේ මව්පියන්ද ඇතැමෙකුගේ දෝෂදර්ශනයට ලක් වෙති.

අවමංගල්‍යය සඳහා පැමිණ සිටි සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අදහස් පළ කරමින් කියා සිටියේ මෙවැනි අපරාධකරුවන්ට මරණ දණ්ඩනය ලබා දෙන ලෙස ලාංකිකයන්ගෙන් අතිබහුතරයක් ඉල්ලා සිටින බවයි.

දැරියගේ ඝාතකයන් සොයා පොලිස් කණ්ඩායම් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.