මරණයක් විකිණූ බවට ජනමාධ්‍යවලට චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, Prasad Purnimal Jayamanne
- Author, නාලක ගුණවර්ධන
- Role, කොළඹ සිට
කොටදෙණියාව නිවසකින් පැහැර ගත්තා යයි සැක කැරෙන පස් හැවිරිදි සේයා දැරිය සාහසික ලෙස මරා දැමීම ශ්‍රී ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළ ආකාරය පුවත්පත් පැමිණිලි කොමිසමේ මෙන්ම බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේද දැඩි විවේචනයට ලක් වී තිබේ.
පුවත්පත් පැමිණිලි කොමිසමේ ප්‍රධාන විධායක සුකුමාර් රොක්වුඩ් කියන්නේ අපරාධයක් ගැන අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සොයා ගැනීම් සහ මහේස්ත්‍රාත් විභාගය වාර්තා කිරීමට ඕනෑම මාධ්‍යයකට නිදහස ඇති බවයි.
"මේ දක්වා මිය ගිය දැරියගේ සිරුරේ ඡායාරූප පළ කොට නැහැ. එහෙත් දෙමවුපියන්ට හා පවුලේ හිතවතුන්ට මේ අධික මාධ්‍ය ආවරණය සිත් වේදනා දිය හැකියි," සුකුමාර් රොක්වුඩ් පැවසීය.
"ලිංගික අපරාධයේ දරුණු විස්තර වාර්තා කළොත් නම් වැරදියි. එය නොකළ යුතුයි. එසේ කළොත් එය ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ වෘත්තීය ප්‍රතිපත්ති මාලාවට පටහැනියි. ඇත්තටම මෙතරම් බිහිසුනු විස්තර පාඨකයන් අපේක්ෂා කරනවාද? මා කියන්නේ එහෙම නැති බවයි!."

මෙය නීතියක් නොව ස්වේච්ඡාවෙන් අනුගමනය කිරීමට ඇති ආචාර ධර්ම මාලාවක්.
එම ප්‍රතිපත්ති මාලාවේ 7.3 වගන්තිය මෙසේයි: "ශෝකය හෝ කම්පනය හා සම්බන්ධ සිද්ධි පිළිබඳ කරුණු විමසීමේදීත් ඒ සඳහා ඒවාට සමීපවීමේදීත් නිසි සංවේදීතාවෙන් හා ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් ද කටයුතු කිරීමට පුවත්පත් කලාවේදිහු විශේෂයෙන් සැලැකිලිමත් විය යුත්තෝය."
දැරිය ඝාතනය කිරීම සම්බන්ධ බොහෝ මාධ්‍යවල වාර්තාකරණය පිළිකුල් සහගත බව මගේ අදහසයි.
'සද්භාවයෙන්'
එහෙත් හිරු නාලිකාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී උපේන්ද්‍ර හේරත් පවසන්නේ, මෙහිදී තරමක් දුරකට එම ප්‍රතිපත්ති මාලාව නොතකා හරිමින් දැරිය ඝාතනය කිරීමේ සිදුවීම වාර්තා කළේ සද් චේතනාවෙන් බවයි.
"අපි මාධ්‍ය සදාචාරය එක්ක තදින්ම බැඳිලා ඉන්නවා. හැබැයි මේ කාරණේදි අපි ඒකෙන් පොඩ්ඩක් එලියට ගියා මොකද අපිට අවශ්‍ය වෙලා තිබුණා ඒ විදියට ඒක වාර්තා කරලා, මේ වගේ පාපකාරී ක්‍රියාවන්ට එරෙහිව සමාජය තුල ප්‍රබල මතයක් ඇති කරන්න," උපේන්ද්‍ර හේරත් පැවසීය.
"අපි ඒක කළේ සමාජය තුල අනේ අපොයි කියන දේ ඇති කරන චේතනාවෙන්."
තමන්ට අදහස් දැක්විය හැක්කේ හිරු නාලිකාවේ වාර්තාකරණය පිළිබඳව පමණක් බවත් ඔහු අවධාරණය කළේය.
එහෙත් මෙවන් වාර්තාකරණය හරහා සිදු වන්නේ ඒ දැරිය යළි යළිත් මරා දැමීමක් බව මගේ අදහසයි. තරගකාරිත්වයේ මුවාවෙන් ඇතැම් මාධ්‍ය කරන්නේ අපේ සමාජයම අසංවේදී හා නිර්වින්දිත තත්ත්වයට තල්ලුකිරීමක් නොවේද?

ඡායාරූප මූලාශ්‍රය, Prasad Purnimal Jayamanne
බහුතරයක් සිංහල පත්තර හා ප්‍රධාන ප්‍රවාහයේ ආයතනවල සමහර සිංහල වෙබ් අඩවි මෙය පොල් ගෙඩි අකුරින් වාර්තා කළේ මේ ඛේදවාචකයට මුහුණ දුන් පවුලේ හා ගමේ අයගේ හැඟීම් ගැන යාන්තමින් හෝ සංවේදී නොවෙමින්.
වෙබ් පාඨක ගණන වැඩි කර ගන්නට තියුණු තරගයක යෙදී සිටින ඇතැම් වෙබ් අඩවි හෙඩිමට යොදා තිබුණේ සිරුර හමු වන විට එය නිරුවත්ව තිබීමයි.
මේ මිනීමැරුම 2015 සැප්තැම්බර් 14 වනදා ලංකාදීපයට සංත්‍රාසමය මුල් පුවත වෙද්දී එම ආයතනයේම ඉංග්‍රීසි පත්‍රය Daily Mirror මුල් තැන දුන්නේ අගමැතිවරයාගේ තීරණාත්මක ඉන්දීය සංචාරය ගැන කතා කරන්නයි.
යුද්ධයේ බලපෑම
එබැවින් මෙලෙස වාර්තාකරණයේ යෙදෙන්නේ හිමිකරුවන්ගේ උපදෙස් මත යයි සිතිය නොහැකියි. එසේ නම් වරද කතුවරුන් හා වාර්තාකරුවන් අතද?
පත්තර හා වෙබ් අඩවි කරන්නේ මහජනයා ඉල්ලන දේ හැකි තාක් දීම යයි තර්ක කළ හැකි බව සැබෑ මුත් වගකීම් සහිත මාධ්‍යකරණය වැල යන අතට මැස්ස ගැසීමට සීමා විය නොහැකියි.

තමන් රිසි ලෙස ප්‍රධාන පුවත තේරීමට හා වාර්තා කිරීමට කතුවරුන්ට නිදහස තිබෙන බව සැබෑවක්. එහෙත් මිනීමැරුම් හා මාරක රිය අනතුරු ඔස්සේ මෙතරම් ලේ සොයා යන්නේ තිස් වසරක සිවිල් යුද්ධ කාලය තුළ ලද ඇබ්බැහිකම නිසාවත්ද?
උතුරේ පුණ්ඩතිවුහි ලිංගික අපරාධයට ලක්වූ පාසල් දැරියගේ මරණය මෙරට මාධ්‍ය සමහරක් වාර්තා කළ ආකාරය එම සිදුවීම තරම්ම කම්පනයක් ඇති කිරීමට හේතු විය. අප එය විවේචනය කළත් යළිත් එම වරදම මෙතැනදීත් සිදු වෙමින් පවතී.
ඍජුවම සමාජයට අදාළ හා වැදගත් එහෙත් සංවරයකින් යුතුව වාර්තා කළ යුතු සිදුවීම් අරභයා අපේ මාධ්‍යවල ක‍්‍රියා කලාපය කෙසේ දියුණු විය යුතුද? දැනට අප අසන දකින භාවප‍්‍රකෝපකාරී හා සංත‍්‍රාසය දනවන පුවත් හා රූප වඩාත් සංවේදී තලයකට ගෙන යා හැකිද? එසේ කිරීමේදී මාධ්‍ය නිදහසට හානි නොකර, මාධ්‍ය කර්මාන්තයේ ප‍්‍රායෝගික සාධක ද සැලකිල්ලට ගෙන ආචාරධර්මීය රාමුවක් සකසා ගන්නේ කෙසේද?
විද්‍යුත් මාධ්‍යවේදියෙක් වරක් මට කීවේ: "මේ තමයි අපේ මාධ්‍යයේ හැටි. විනාඩියෙන් දෙකෙන් ඕනෑම ස්ටෝරි එකක් අපි හසු කර ගත යුතුයි. පත්තර විශේෂාංග ලිපි නැතිනම් විශ්ව විද්‍යාල නිබන්ධ අපේ මාධ්‍යවල කරන්න බැහැ," කියාය.
හැම අසංවේදී වාර්තාකරණයක්ම තනිකර මාධ්‍යවල වරදක්ද? නැතිනම් අසංවේදී ජන සමාජයේ පිළිබිඹුවක්ද? මේවා පුළුල්ව විවාදයට ලක් විය යුතුයි.

ඡායාරූප මූලාශ්‍රය, Prasad Purnimal Jayamanne
මාධ්‍ය කළ යුත්තේ කුහක හා ගතානුගතික සමාජයේ ආකල්ප එලෙසින්ම (කැඩපතක් මෙන්) හසු කර ගැනීම පමණක්ද? නැතිනම් සංවේදී හා දැනුවත් මාධ්‍යවලට සමාජයේ පෙරගමන්කරුවන් වීමට හැකිද?
එසේ විය හැකි නම් එය ඉතා අගෙයි.
(මෙහි දැක්වෙන්නේ ලේඛකයාගේ පෞද්ගලික අදහස් බව සලකන්න)








