කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි රජයට දැඩි විවේචන

සෞදි අරාබි ප්‍රවීණ මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබි රජයේ පැහැදිලි කිරීම පිළිබඳව තමන් "සෑහීමකට පත් නොවන" බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ජමාල් කෂෝගි මරණයට පත් වූ බව සෞදි අරාබිය පසුගිය සිකුරාදා (19) පළමු වරට පිළිගත්තේය. ඔවුන් එහිදී ප්‍රකාශ කළේ, ඉස්තාන්බුල් කොන්සල් කාර්යාලයේදී "අතින් පයින්" වූ ගැටුමකදී ඔහු මරණයට පත්ව ඇති බවය.
එහෙත්, එම පැහැදිලි කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව සැක පළ කළහ.
තුර්කි බලධාරීන්ගේ විශ්වාසය වී ඇත්තේ, සෞදි රජය විවේචන කළ මාධ්‍යවේදියෙකු වූ කෂෝගි, ඝාතනය කර ඔහුගේ සිරුර සඟවා ඇති බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මේ සම්බන්ධයෙන් අවසන් පිළිතුරක් ලැබෙන තුරු මට සෑහීමකට පත් වෙන්න බෑ" අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය. මේ සම්බන්ධයෙන් සම්බාධක පැනවීමක් කළ හැකි නමුත් අවි ගනුදෙනු අත්හිටුවීමෙන් "එය ඔවුන්ට වඩා අපට අහිතකර බලපෑමක් ඇති කරන" බව ඔහු සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, බලවත් සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ අනුදැනුමකින් තොරව මෙය "සිදු විය හැකි" බවය.
සිකුරාදා වන තුරු සෞදි අරාබිය ජමාල් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව පැවසූ අතර ඔවුන් පැවසුවේ, කෂෝගි කොන්සල් කාර්යාලයෙන් නිරුපද්‍රිතව පිටව ගිය බවය.
කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළිදරව් කරන බව තුර්කිය පවසා තිබේ.
තුර්කිය මේ වන විට කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සෞදි අරාබියට චෝදනා කිරීම නතර කර ඇතත්, තුර්කි පරීක්ෂකයින් පවසන්නේ, කොන්සල් කාර්යාලය ඇතුළතදී සෞදි නියෝජිතයින් පිරිසක් විසින් ඔහු ඝාතනය කරනු ලැබූ බවට සාක්ෂි සපයන හඬ පට සහ වීඩියෝ පට තමන් සතුව පවතින බවය.
කොන්සල් කාර්යාලය අවට පරීක්ෂා කිරීමෙන් අනතුරුව කෂෝගිගේ මළ සිරුර සෙවීමේ කටයුතු අසල වනාන්තර ප්‍රදේශය දක්වා පුළුල් කර තිබේ. පරීක්ෂකයින්ගේ විශ්වාසය වී ඇත්තේ, මළ සිරුර වනබද ප්‍රදේශයක සඟවා ඇති බවටය.

ඡායාරූප මූලාශ්‍රය, BBC/CCTV
සෞදි අරාබියේ ප්‍රකාශය
සෞදි රජය පවසන්නේ, තමන් සමග එදිරිවාදී වූ කෂෝගිට, කොන්සල් කාර්යාලයට පැමිණ සිටි සෞදි වැසියන් පිරිසක් විසින් පහර දෙනු ලැබීමෙන් පසු ඔහු මිය ගිය බවය.
එම නිවේදනය අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන අතර සෞදි වැසියන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර, නම සඳහන් නොකළ සෞදි නිලධාරියෙකු රොයිටර් සහ New York Times පුවත් සේවාවන්ට පවසා ඇත්තේ, ඝාතනයෙන් පසු අදාළ මළ සිරුර තුර්කි සහයකයෙකුට භාර දී ඇති අතර මළ සිරුරට කුමක් කළේ ද යන්න සෞදි අරාබිය නොදන්නා බවය.
සෞදි වැසියන් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අමතරව මේ වන විට සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ. ඒ, නියෝජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී අහමඩ් අල් අසිරි සහ ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සවුද් අල් කටානි යන දෙදෙනාය.
වෙනත් රටවල ප්‍රතිචාර
සෞදි අරාබිය සමග මිත්‍ර රටවල් රැසක් මෙම ඝාතනය හෙළා දැක තිබේ.
කෂෝගිගේ මරණය සම්බන්ධයෙන් සෞදි රජය කර ඇති පැහැදිලි කිරීම කිසිසේත් "ප්‍රමාණවත් නොවන" බව ජර්මානු චාන්සලර් අන්ගෙලා මර්කල් පවසා ඇති අතර ප්‍රංශ විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, "තවමත් පිළිතුරක් නොමැති" ප්‍රශ්න ගණනාවක් ඇති බවය.
එක්සත් රාජධානියේ විදේශ කාර්යාලය මෙම ඝාතනය හඳුන්වා ඇත්තේ, "අතිශය බිහිසුණු ක්‍රියාවක්" ලෙසය. එසේ ම, මෙය ඝාතනය පසුපස සිටින්නන් "අනිවාර්යයෙන් වගකීම භාර ගත යුතු" බව ද එම කාර්යාලය පවසයි.
මේ අතර, මේ පිළිබඳව නිවැරදි පරීක්ෂණයක් පවත්වන ලෙසට යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුම් දී තිබේ.
අමෙරිකාවේ රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සෞදි අරාබිය විවේචනය කර ඇති අතර, සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් පවසා ඇත්තේ, මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව පිළිබඳව සැකයක් පවතින බවය.
ජමාල් කෂෝගිට මොකද වුණේ?
ජමාල් කෂෝගිට සිදුවූ දේ පිළිබඳව මෙතෙක් කිසිවක් පැහැදිලි නැත. ඔහු අවසන් වරට දක්නට ලැබුණේ, ඔක්තෝබර් 02 වෙනිදා සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වන ආකාරය පමණි.
ඔහු එහි ගොස් ඇත්තේ, සිය පෙම්වතිය වූ හැටිස් සෙන්ගිස් විවාහ කර ගැනීම සඳහා අවශ්‍ය අවසර ලිපියක් ලබා ගැනීමටය.
තුර්කි බලධාරීන් සැක කරනුයේ, කොන්සල් කාර්යාලයේ සිටි සෞදි නියෝජිතයින් පිරිසක් විසින් කෂෝගි ඝාතනය කර පසුව ඔහුගේ මළ සිරුර එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇති බවටය.

සෞදි රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන් පවසන්නේ, කෂෝගි නිරුපද්‍රිතව තානාපති කාර්යාලයෙන් පිටව ගිය බවය.
සාක්ෂි තිබේ ද?
තුර්කි රජයට සමීප සබඳතා ඇති මාධ්‍යවල පළවී ඇත්තේ, තුර්කි රජයට ලැබී ඇති හඬපටයේ කෑගැසීම් සහ සෞදි කොන්සල් මොහොමඩ් අල් ඔටේබිගේ කටහඬ ශ්‍රවණය වන බවය.
තුර්කි රජයට සමීප සබඳතා සහිත Yeni Safak නමැති පුවත්පත වාර්තා කළේ, "ඕක මෙහෙන් එළියට ගිහින් කරන්න. ඕගොල්ලො හදන්නේ මාව අමාරුවෙ දාන්න" යනුවෙන් තුර්කියේ සෞදි කොන්සල්වරයාගේ කටහඬ පටිගත වී ඇති බවය.
මේ අතර, සෞදි නියෝජිතයින් බවට සැක කෙරෙන පුද්ගලයින් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අතුරුදන් වීම සිදුවූ දිනයේ ඉස්තාන්බුල් නගරයට ඇතුළු වූ බවත් පසුව ඔවුන් පිටව ගිය බවත් හඳුනාගෙන ඇතැයි තුර්කි මාධ්‍යවල දැක්වේ.
කෂෝගි කොන්සල් කාර්යාලයට ඇතුළත් වීමෙන් පැය දෙකකට පමණ පසු සෞදි රාජ්‍යතාන්ත්‍රික අංක සහිත වාහන කිහිපයක් කාර්යාලයේ සිට කොන්සල්වරයාගේ නිවස දෙසට ධාවනය වූ ආකාරය CCTV කැමරාවල සටහන් වී තිබේ.
Apple Watch දත්ත
මේ අතර, ඉස්තාන්බුල්හි සෞදි කොන්සල් කාර්යාලය තුළදී සිදුවූ සියල්ල කෂෝගිගේ Apple Watch ස්මාර්ට් අත් ඔරලෝසුවෙහි සටහන් වී ඇති බවට වාර්තා පළ විය.
ඒ පිළිබඳව පළමු වරට වාර්තා කළේ, Sabah නමැති තුර්කි පුවත්පතය. පසුව එය තවත් පුවත් ආයතන රැසක් පළ කළේය.
Sabah පුවත්පත වාර්තා කළේ, කෂෝගි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමට පෙර සිය ස්මාර්ට් අත් ඔරලෝසුවේ පටිගත කිරීම් විශේෂාංගය ක්‍රියාත්මක කර තිබූ බවය. ඒ අනුව, එහි කෂෝගිගෙන් කළ "ප්‍රශ්න කිරීම්, වධ දීම් සහ ඝාතනය" පිළිබඳව පටිගත වී ඇති අතර එසේ පටිගත වූ දේ ඔහුගේ iPhone දුරකකතනය වෙත යවා තිබූ බව එම පුවත්පත වාර්තා කර තිබිණි. එම පුවත් වාර්තාවට අනුව ඔහුගේ iPhone දුරකකතනය තිබී ඇත්තේ, ඒ වන විට කොන්සල් කාර්යාලයෙන් පිටත රැඳී සිටි පෙම්වතිය අතය.

ඡායාරූප මූලාශ්‍රය, AFP/GETTY IMAGES
එම පුවත්පත් වාර්තාවේ වැඩිදරටත් දැක්වුණේ, කෂෝගිට පහර දුන් පුද්ගලයින් ඔහුගේ අත් ඔරලෝසුව දැක එය රැගෙන එහි පටිගත වී තිබූ දත්ත කිහිපයක් මකා දැමූ බවත්, එහි දත්ත සියල්ල මකා දැමීමට ඔවුන්ට නොහැකි වී ඇති බවත්ය.
කවුද මේ ජමාල් කෂෝගි?
ජමාල් කෂෝගි යනු සෞදි පුවත් ආයතන කිහිපයක් වෙනුවෙන් ප්‍රබල පුවත් ආවරණය කළ ප්‍රකට මාධ්‍යවේදියෙකි.
ඔහු සෞදි රජයේ උපදේශකයෙකු ලෙස ද සේවය කර ඇති අතර, පසුකාලීනව රජයේ උදහසට ලක් විය.
පසුව ඔහු පසුගිය වසරේ අමෙරිකාවට ගොස් Washington Post පුවත්පතේ මාසික තීරු ලිපියක් පළ කළේ ය.
මේ අතර, Washington Post පුවත්පත බ්‍රහස්පතින්දා (18) කෂෝගි අවසන් වරට ලියූ තීරු ලිපිය පළ කළ අතර එහි අන්තර්ගත වූයේ, අරාබි ලෝකයේ මාධ්‍ය නිදහස පිළිබඳවය.








