ජී.ඩී.එල්.පෙරේරා: බීබීසී සිංහල සේවයේ තවත් සගයෙක් සමුගනියි

ජී ඩී එල්

ඡායාරූප මූලාශ්‍රය, youtube/SL Rupavahini Corporation

''ජී.ඩී.එල්'' යන සහෘද ආමන්ත්‍රණයෙන් කලක් අප සමඟ බීබීසී සිංහල සේවයේ සේවය කළ නිදහස් මාධ්‍යවේදී, සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ජී.ඩී.එල්.පෙරේරා දිවියෙන් සමුගත්තේය.

කලක් අඩාලව තිබූ බීබීසී සිංහල 'සංදේශය' ගුවන් විදුලි වැඩසටහන එම්.වසන්තරාජා විසින් යළි පණගන්වනු ලැබීමෙන් අනතුරුව 1990 දශකය ආරම්භයේදී ඊට හවුල් වූ ජී.ඩී.එල්.පෙරේරා දශකයක තරම් දීර්ඝ කාලයක් සිංහල සේවය වෙනුවෙන් ප්‍රවෘත්ති සහ විශේෂාංග සම්පාදනය කිරීමෙහි ලා දායක විය.

බීබීසී සිංහල සේවයට ලැබෙන ශ්‍රාවක ප්‍රතිචාර සම්බන්ධීකරණය භාරව කටයුතු කළ ජී.ඩී.එල්.පෙරේරා, අසන්නන්ගේ අදහස් සමාලෝචනය කෙරෙමින් සෑම සිකුරාදා දිනකම ප්‍රචාරය කරන ලද ''තැපැල් මල්ල'' සම්පාදනය කිරීමෙහි ලා පුරෝගාමී විය.

ආරම්භයේ දී ලන්ඩන් නගරයේ වෙසෙමින් බීබීසී සිංහල සේවය සමඟ කටයුතු කළ ''ජී.ඩී.එල්'' පසුව එවක බීබීසී කොළඹ වාර්තාකරුව සිටි එල්මෝ ප්‍රනාන්දු සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාවේ සිට සංදේශය අසන්නන් සම්බන්ධීකරණය කිරීමේ කාර්යය භාරව කටයුතු කළේය.

දෙවැනි ලෝක මහා සංග්‍රාමය අවධියේදී යුද පුවත් ප්‍රචාරය කිරීමේ මාධ්‍යයක් වශයෙන් බීබීසී සිංහල සේවය ආරම්භ කරනු ලැබීමේ පටන් 1990 දශකයේ අගභාගය තෙක් එහි ගමන්මගට අදාළ තොරතුරු ගවේෂණය කරමින් ඓහිහාසික ලේඛනයක් පිළියෙළ කොට එය පාදක කරගනිමින් වැඩ සටහන් මාලාවක් සඳහා අවශ්‍ය පිටපත් රචනය බීබීසී ලෝක සේවය සමඟ කටයුතු කරමින් සිටින අතරවාරයේ ජී.ඩී.එල්. විසින් සිදුකරන ලද විශේෂ කාර්යභාරයකි.

ජී.ඩී.එල් ශ්‍රී ලාංකික සමාජය තුළ වඩාත් ප්‍රකටව සිටියේ නාට්‍ය නිෂ්පාදකයකු සහ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසය.

සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක් කොළඹ සහ ලන්ඩන් නගරයේ ජීවත් වුව ද තම කලා නිර්මාණවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන ලද්දේ කුඩා කළ ග්‍රාමීය ජීවිතයෙන් ලද අත්දැකීම් සම්භාරය බව ජී.ඩී.එල් සුහද සංවාදවල දී නිතර පළකරන ලද අදහසකි.

රත්නපුර තිරුවානකැටියේ දී තමා දුටු ගැමියන්ගේ සිරිත් සහ නාගරික මෙන්ම විදේශගතවූවන්ගේ මිශ්‍ර ජීවන ආකල්ප සහ ජීවන රටාවත් එම චර්යාවන්ගෙන් ඔවුන්ගේ ඊළඟ පරපුර වියෝජනය වෙන ආකාරයත් නිරූපණය කරමින් ජී.ඩී.එල්. සිය ''රටගිය ඇත්තෝ'' නිර්මාණය කරන ලද්දේ ලන්ඩන් නගරයෙහි සිටිමිනි.

නාට්‍යකරණයෙන් සිනමාවට

තරුණ ජී.ඩී.එල් ගේ කලා දිවිය ආරම්භ වූයේ වේදිකා නාට්‍ය නිෂ්පාදකයකු වශයෙනි. සම්මානනීය නාට්‍යවේදී සුගතපාල ද සිල්වා එම අවධියේ ''අපේ කට්ටිය'' පවත්වා ගෙන ගිය අතර ජී.ඩී.එල් සිය කලානිර්මාණ වෙනුවෙන් 'කලාපෙළ'' නමින් සමකාලීන නාට්‍ය ශිල්පීන්ගේ එකතුවක් නිර්මාණය කළේය.

තොටුපොළ, මෙහෙව් ලෝකෙක, සාමා, සක්කර වට්ටම් වැනි නාට්‍ය නිර්මාණ ජී.ඩී.එල් අතින් නිර්මාණය කරන ලද්දේ 'කලාපෙළ' මගිනි. දෙනවක හාමිනේ හඳුන්වාදීම ඔහු අතින් සිංහල සිනමාවට මෙන්ම වේදිකාවට සිදු වූ අනගිතම දායාදය ලෙස හැඳින්විය හැකිය.

ජී.ඩී.එල් සඳහන් කළ පරිදි ඔහුගේ බලවත් ''පෙරැත්ත'' අනුව දෙනවක හාමිනේ ඔහුගේ ''සාමා'' චිත්‍රපටයේ චරිතයක් ද භාරගත් අතර එය මහා රංගනවේදිනියක් සිංහල සිනමාවට ''වැඩමවීමක්'' විය.

රංගධාරිනී චන්ද්‍රා කලුආරච්චිගේ සිනමා දිවිය ආරම්භ වූයේ ජී.ඩී.එල්ගේ ''දහසක් සිතුවිලි'' චිත්‍රපටයෙනි.

'රෝමියෝ ජුලියට්' ජී.ඩී.එල්ගේ ' තවත් සිනමා නිර්මාණයකි. 'සැඩොල් කඳුළු' චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයා වන ජී.ඩී.එල් ඉංග්‍රීසි චිත්‍රපට කීපයක් ද නිර්මාණය කරනු ලැබ ඇත.

සිය දිගුකාලීන නිර්මාණ චාරිකාවේ අවසන් සමයේ මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ කලා දිවිය ඔපමට්ටම් කිරීමෙහිලා ජී.ඩී.එල් විසින් ඉටුකරන ලද්දේ අගනා මෙහෙයකි.

බීබීසී සිංහල සේවය සඳහා මාහැඟි මෙහෙයක් ඉටුකරන ලද සහෘද ''ජී.ඩී.එල්'' ට අපගේ උපහාරය පුදමු!

GDL
ඡායාරූප ශීර්ෂ වැකිය, BBC සිංහල එවකට කාර්ය මණ්ඩලය සමඟ.ජී.ඩී.එල්.පෙරේරා(දකුණුපස කෙළවරේ)

කියවන්න;