ශ්‍රී ලංකාවේ සංගීතයට කළ මෙහෙය නිසා මහාචාර්ය අමරා "අමරණීය වේවි"

අමරා රණතුංග

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Amara_Ranathunga

ශ්‍රී ලංකාවේ සංගීතය පිළිබඳ මහාචාර්ය පදවියක් හිමි කර ගත් ප්‍රථමයා වශයෙන් ඉතිහාසගතව සිටි සුවිශේෂී කලාකාරිනියක වූ අමරා රණතුංග අභාවප්‍රාප්ත විය.

හෘදයාබාධයක් හේතුවෙන් සඳුදා (15) ඇය මිය යන විට 79 වන වියේ පසු වූවාය.

දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය එහිදී මිය ගිය බව ඇයගේ පවුලේ ඥාතිවරියක බීබීසී සිංහල සේවයට පැවසුවේය.

ආචාර්ය දයාරත්න රණතුංගගේ බිරිඳ වූ මහාචාර්ය අමරා රණතුංග පුතුන් දෙදෙනෙකුගේ මවකි.

මහාචාර්ය අමරා රණතුංගගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (18) සිදු කිරීමට නියමිතය.

Amara Ranathunga

ඡායාරූප මූලාශ්‍රය, Amara Ranathunga

ඡායාරූප ශීර්ෂ වැකිය, ආචාර්ය දයාරත්න රණතුංගගේ බිරිඳ වූ මහාචාර්ය අමරා රණතුංග පුතුන් දෙදෙනෙකුගේ මවකි

සංගීත විෂය පිළිබඳ පළමු මහාචාර්යවරිය ලෙස ඇය එම ක්ෂේත්‍රයට කළ මෙහෙය වෙනුවෙනි බීබීසී සිංහල සේවය තබන මේ සටහන.

මහාචාර්ය අමරා රණතුංගගේ අතීතය

Facebook/Amara_Ranathunga

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Amara_Ranathunga

ඇය 1961 වසරේදී ඉන්දියාවේ භාත්ඛණ්ඩේ ආයතනයට සම්බන්ධ වී සංගීතය හැදෑරීය. පසුව ඇය සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළේ, පාසල් ගුරුවරියක ලෙසිනි.

පසුව ඇය එවකට කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව පැවති සෞන්දර්ය කලා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරියක ලෙස පත්වීමක් ලැබූ අතර ආචාර්ය උපාධිය ද නිම කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සංගීත මහාචාර්ය පදවිය හිමි කර ගත්තාය.

සෞන්දර්ය කලා අධ්‍යයන අංශය පසු කලෙක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය බවට පත් කළ පසු ද මහාචාර්ය අමරා රණතුංග එහි මහාචාර්යවරියක සහ අධ්‍යයනාංශ ප්‍රධානියෙකු ලෙස ද සේවය කළා ය.

සංගීතය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ රැසක නියැළුණු ඇය, ඒ සම්බන්ධයෙන් ග්‍රන්ථ කීපයක් ම පළ කර තිබේ.

මහාචාර්ය අමරා රණතුංගගේ අභාවය සිංහල සංගීතයට බලවත් පාඩුවක් බව සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.

Amara Ranathunga/Facebook

ඡායාරූප මූලාශ්‍රය, Amara Ranathunga/Facebook

ඇයගේ අභාවය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ආචාර්ය රෝහණ වීරසිංහ පැවසුවේ, සිංහල සංගීතයට විශිෂ්ට සේවයක් කළ මහාචාර්ය අමරා රණතුංගගේ අභාවය අතිශය කනගාටුවට කරුණක් බව ය.

ඇය 1970 දශකයේ සුභාවිත ගීතය පෝෂණය කිරීම සඳහා මහඟු මෙහෙවරක් කළ අතර අර්ථවත් ගී පද සිය නිර්මාණවලට යොදා ගනිමින් ගීත සාහිත්‍යයක් ගොඩ නැගීමට ද දායක වූ බව රෝහණ වීරසිංහයන්ගේ අදහසය.

"මම රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් වන විට ඇය එහි කථිකාචාර්යවරියක් විදියට සේවය කළා. ඒ නිසා ඇයගෙන් ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගැනීමට මම වාසනාවන්ත වුණා. ඒ වගේ ම පසුකාලීනව මගේ ගුරුතුමිය වූ ඇය වෙනුවෙන් ගී තනු කිහිපයක් ම නිර්මාණය කිරීමේ භාග්‍යයත් මට ලැබුණා."

"ඇය මුදල් බලාගෙන වැඩ කළේ නැහැ. හොඳ ගීත නිර්මාණ විතරයි ගායනා කළේ. ඒ හරහා සිංහල සුභාවිත ගීතය පෝෂණය වුණා. සැබවින් ම රසිකයින් ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන ගිය කලාකාරියක් ලෙස ඇය හඳුන්වන්න පුළුවන්," ආචාර්ය රෝහණ වීරසිංහ තවදුරටත් පැවසීය.

මහාචාර්ය කෝලිත භාණු දිසානායක යනු මහාචාර්ය අමරා රණතුංග සමග සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සේවය කළ ආචාර්යවරයෙකි. ඇයගේ අභාවය සම්බන්ධයෙන් ඔහු බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූයේ මෙලෙසිනි.

"ඇය ශාස්ත්‍රීය, නිර්මාණාත්මක සහ ප්‍රායෝගිය යන අංශ තුනෙන් ම සිංහල සංගීතයට සේවයක් කළා. ඒ වගේ ම ශාස්ත්‍රීය පර්යේෂණ රැසක් කරල තියෙනවා. ඒ පර්යේෂණ හරහා ඇය පළ කළ ග්‍රන්ථ අදටත් සංගීත සිසුන්ට අත්වැලක් වී තියෙනවා."

"ඇය සිංහල සංගීතයට කළ මෙහෙය නිසා ඇය රසික හදවත්වල අමරණිය චරිතයක් වනු ඇති," මහාචාර්ය කෝලිත භාණු දිසානායක පැවසීය.

මහාචාර්ය අමරා රණතුංගගේ ගායන දිවිය

Facebook/Amara_Ranathunga

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Amara_Ranathunga

අමරා රණතුංග නමැති ජනප්‍රිය මෙන් ම ප්‍රවීණ ගායිකාව ගීත විශාල සංඛ්‍යාවක් ගායනා කර තිබේ. ඒ අතර, උපුලී, රාධා ක්‍රිෂ්ණා, සඳක් සදිසි, පාළු පැලේ මට තනි නෑ ආදී ගීත සියල්ල ම පාහේ ශ්‍රී ලාංකික රසිකයින් අතර අතිශය ජනප්‍රිය ය.

ඇය සිය සැමියා වූ ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය දයාරත්න රණතුංග සමග ප්‍රථමයෙන් ගායනා කළ යුග ගීතය, 'මහ රෑ යාමේ' ගීතය යි. පසුව ගැයූ 'සඳක් සදිසි' වැනි ගීත ශ්‍රී ලාංකික රසිකයින්ගේ ආදරයට පත් විය.