BBC 'සංදේශය' හිටපු සංස්කාරක ප්‍රියත් ලියනගේ දිවියෙන් සමුගනී: සිංහල සේවයේ කාර්ය මණ්ඩලයේ ආචාරය!

ප්‍රියත් ලියනගේ

ඡායාරූප මූලාශ්‍රය, Priyath Liyanage

බීබීසී සිංහල සේවයේ හිටපු සංස්කාරක ප්‍රියත් ලියනගේ ලන්ඩනයේ රෝහලක දී අභාවප්‍රාප්ත වූ බව සිංහල සේවයේ කාර්ය මණ්ඩලය වන අපි සාතිශය සංවේගයෙන් යුතුව වාර්තාකරමු.

හදිසියේ අසනීපව රෝහල්ගත කරන ලද ප්‍රියත් ලියනගේ දිවියෙන් සමුගන්නා විට හැට වෙනි වියේ පසුවිය.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ප්‍රියත් ලියනගේ 'තරුණයා' පුවත්පතේ ඡායාරූප ශිල්පියෙකු වශයෙන් ජනමාධ්‍ය ලෝකයට පිවිසිණි.

1980 දශකයේ මුල්භාගයේ එක්සත් රාජධානියට පැමිණි ප්‍රියත් නාට්‍යකරණය සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටින අතරවාරයේ බීබීසී සිංහල සේවයට එක්විය.

කලක් අඩාලව පැවති බීබීසී සිංහල සේවය එම් වසන්තරාජාගේ ප්‍රයත්නයෙන් යළි පණ ගැන්වුණු අතර, ආරම්භයේ දී එම වැඩසටහනට සම්බන්ධ සෙසු මාධ්‍යවේදීන් වශයෙන් ඉන්ද්‍රා රාමනායක, රෙඩ්ලි සිල්වා, සරත් වලගෙදර සහ සිනමා අධ්‍යක්ෂ ජී.ඩී එල් පෙරේරා කටයුතු කළහ.

Priyath liyanage

ඡායාරූප මූලාශ්‍රය, Priyath liyanage

මාධ්‍යවේදී එම් වසන්තරාජාගේ පුරෝගාමිත්වයෙන් යළි පණගැන්වුනු බීබීසී ලෝක සේවයේ සිංහල සේවයේ 'සංදේශය' වැඩසටහන එහි පූර්ව අවධියෙන් වෙනස් මුහුණුවරක් ගනිමින් තත්කාලීන ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර දේශපාලන ප්‍රවනතා කෙරෙහි දැඩි නැඹුරුවක් සහිත විසංවාදී වැඩසටහනක් බවට පත්වූ අතර, වසන්තරාජා බීබීසියෙන් සමුගැනීමෙන් අනතුරුව 'සංදේශය' සංස්කාරක පදවිය පැවරුණු ප්‍රියත්, වසන්තරාජා විසින් ආරම්භ කරන ලද සම්ප්‍රදාය පෙරට ගෙනයාමේ ප්‍රයත්නයෙහි නිරතවූයේ විවිධ දිශාවන්ගෙන් එල්ලවෙමින් පැවැති අභියෝගයන් පවා නොතකමිනි.

මුල් අවධියේ මිනිත්තු පහළොවකට සීමාවූ 'සංදේශය' ගුවන්විදුලි වැඩ සටහන පැය භාගයක් තෙක් දීර්ඝකරනු ලැබීම සහ බීබීසී සිංහල අන්තර්ජාල වෙබ් අඩවිය ආරම්භකරනු ලැබීමත්, වැඩසටහන ෆේස්බුක් සහ ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පළකරනු ලැබීමත් ප්‍රියත් ලියනගේ අවධියෙහි තබන ලද ඉදිරි පියවර වෙති.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතිශයින් දරුණු තත්ත්වයක පැවති එම අවධියෙහි යුද්ධයේ සැබෑ තොරතුරු වාර්තාකරණයේ දී එවක එල්ලවෙමින් පැවති දැඩි අභියෝගය මැද ප්‍රියත්, සිය සේවා කාලය තුළදී ලන්ඩනයේ කාර්යමණ්ඩල සගයින් වූ රෙඩ්ලි සිල්වා, චන්දන කීර්තිබණ්ඩාර, නන්දන වීරරත්න, උපාලි ගජනායක, ඉන්ද්‍රා රාමනායක, විමලසේන හේවගේ, එම්.ජේ.ආර් ඩේවිඩ්, සරෝජ් පතිරණ සහ නිදහස් මාධ්‍යවේදියකු මට්ටමින් සම්බන්ධ වූ දයාපාල තිරාණගම මෙන්ම කොළඹ වාර්තාකරු එල්මෝ ප්‍රනාන්දු සමඟ ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරතවෙමින් සිටියේ ගැරහුම් පමණක් නොව ජීවිත අවදානම ද නොතකමිනි.

යාපනයේ සිට බීබීසී යට වාර්තාකරණයේ නිරත වූ නිමලරාජන් මයිල්වාගනම් කුරිරු ඝාතකයන් විසින් මරාදමන ලද අතර, ඔහුගේ කාර්යභාරයට උපහාරයක් වශයෙන් ලන්ඩනයේ බීබීසී මූලස්ථානයේ විශේෂ මැදිරියක් නම්කරනු ලැබ ඇත.

bbc
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රියත් ලියනගේ සමඟ BBC සංදේශය කාර්යමණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් - බුෂ් හවුස් ඉදිරිපිට (වමේ සිට) විමලසේන හේවගේ, නන්දන වීරරත්න, ඉන්ද්‍රා රාමනායක, සරෝජ් පතිරණ, චන්දන කීර්තිබණ්ඩාර, ප්‍රියත් ලියනගේ සහ උපාලි ගජනායක

1987-89 භීෂණ සමයේ මෙන්ම සිවිල් යුද සමයෙහි සහ ඉන් අනතුරුව එම් වසන්තරාජාගේ සහ පසුව ප්‍රියත් ලියනගේ අවධියෙහි බීබීසී සංදේශය ගුවන්විදුලි වැඩසටහන ශ්‍රී ලංකාවේ පමණක් නොව මැදපෙරදිග ඇතුළු ලෝකයේ බොහෝ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ මාධ්‍ය මූලය බවට පත්විය.

එම අවධියෙහි ප්‍රියත්ගේ පුරෝගාමිත්වයෙන් බීබීසී සිංහල 'සංදේශය' සහ 'තමිලෝසෙයි' දමිළ වැඩසටහන ශ්‍රීලංකා ගුවන්විදුලි සේවය ඔස්සේ සජීවී මට්ටමින් විකාශනය කිරීම ආරම්භ වූ අතර, පසුකාලයෙහි 'සිරස' ගුවන්විදුලිය ඔස්සේ බීබීසී සිංහල ප්‍රවෘත්ති විකාශනයක් ආරම්භකිරීමට ද ඔහු පියවර ගත්තේය.

එම කාර්යයේ දී තිසර රතුවිතාන, තක්ෂල ශ්‍රීනාත් ප්‍රනාන්දු සහ අසාම් අමීන් ඇතුළු මාධ්‍යවේදීන් රැසක් සම්බන්ධ කරගනිමින් බීබීසී සිංහල සේවය තවත් පුළුල් කිරීමට ප්‍රියත් ලියනගේ කටයුතු කළේය.

බීබීසී මාධ්‍ය ජීවිතයේ දී ප්‍රියත් ලියනගේ විසින් සම්පාදනය කරන ලද 'The boy with a violin' ගුවන්විදුලි විශේෂාංගය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයෙන් පුදනු ලැබුණි. එය ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් අනාථ භාවයට පත් දරුවකුගේ ඉරණම සම්බන්ධයෙනි.

බීබීසී සිංහල සේවයේ සංස්කාරකවරයා වශයෙන් කටයුතු කරන අතරවාරයේ ඔහු ශ්‍රී ලංකාවේ තොරතුරු ජාත්‍යන්තරයට වාර්තාකරණය සඳහාත් දායක විය.

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය වාර්තාකරුවන් වෙනුවෙන් පැවැත්වූ වැඩමුළුවක දී
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රියත් ලියනගේ සහ එල්මෝ ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය වාර්තාකරුවන් වෙනුවෙන් පැවැත්වූ වැඩමුළුවක දී

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කරමින් කලා නිර්මාණ කාර්යයන්ට දායක වූ ප්‍රියත් ලියනගේ සම්මානලාභී සිනමාවේදී ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරනලද 'ඉර මැදියම' චිත්‍රපටයේ තිරනාටක රචකයා මෙන්ම ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ 'හොරු සමඟ හෙළුවෙන්' නාට්‍යයේ මුල්පිටපත සිංහලට පරිවර්තනය කිරීම සඳහාත් දායකවිය.

එම වසරේ හොඳම චිත්‍රපට තිර නාටකයට පිරිනැමෙන රාජ්‍ය සම්මානය 'ඉර මැදියමට' හිමිවිය.

සිනමා ක්‍ෂේත්‍රයට නිශ්චල ඡායාරූප ශිල්පියකු වශයෙන් ප්‍රියත් පළමුවරට හවුල් වූයේ ජයලත් මනෝරත්න විසින් සිනමාවට ගෙනඒමට උත්සාහ දරන ලද 'දවස තවමත් තරුණයි' චිත්‍රපටය සඳහාය. පසුව ඔහු වසන්ත ඔබේසේකර විසින් අධ්‍යක්ෂණය කරන ලද 'දඩයම' චිත්‍රපටයේ නිශ්චල ඡායාරූප ශිල්පියා ලෙසත් කටයුතු කළේය.

දේශපාලන තොරතුරු වාර්තාකරණය පමණක් නොව කලා විචාරකයකු වශයෙන් ද භූමිකාවක් සහිත ප්‍රියත් ලන්ඩන් නගරයට පැමිණෙන මාධ්‍යවේදීන් සහ කලාකරුවන් සමඟ සාකච්ඡා සම්මන්ත්‍රණ සංවිධානය කිරීම අතින් පමණක් නොව ඔවුන්ට සත්කාර කිරීමෙහි ද නොපැකිළිව කටයුතු කළේය.

පුරා දශක තුනකට ආසන්න කාලයක් බීබීසී සිංහල සේවය ඔස්සේ විශිෂ්ඨ මාධ්‍ය භාවිතයක නිරත වූ ආදරණීය ප්‍රියත් ලියනගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියානෙනි! සිංහල සේවයේ සමස්ත කාර්ය මණ්ඩලය වන අප සියලුදෙනා ඔබගේ අභාවයෙන් බලවත් කම්පාවට පත්ව සිටින්නෙමු.

අපගේ මාධ්‍ය සගයා ප්‍රියත්ගේ අභාවයෙන් ශෝකයට පත්ව සිටින ඔහුගේ ප්‍රිය බිරිඳ දුලාමනී, පුතුන් තිදෙනා වන ගයාන්, දුලාන් සහ ප්‍රියාන් වෙත අපගේ මෙන්ම අපට එක්වෙන සහෘද පාඨකයන්ගේ සහ අසන්නන්ගේ ද බලවත් ශෝකය පිරිනමන්නෙමු.

කියවන්න: