කුසුම් පීරිස්: ගුවන් විදුලි 'පහන් තරුව' නිවී යයි

ඡායාරූප මූලාශ්‍රය, Niranjala Sarojini/Facebook
"හෙටත් සුපුරුදු වේලාවට ඔබ හමුවන තෙක් ඔබෙන් සමුගන්නා මා ඔබේ හිතවත් කුසුම් පීරිස්," මීට දශක කිහිපයකට පෙර නිරන්තරයෙන් සවන් වැකුණු ඒ හඬ යළිදු සජීවීව අසන්නට නොලැබෙනු ඇත.
ඒ, ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සන්නිවේදන කලාවේ සන්ධිස්ථානයක් සනිටුහන් කළ හඬ පෞරුෂයකට හිමිකම් කී ඇය, ඉරිදා (ජූලි 21) රාත්‍රියේ මෙලොවින් සමුගත් හෙයිනි.
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක, ගීත රචිකාවියක, හඬ කැවීම් ශිල්පිනියක සහ ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදිකාවක ලෙස සිය අනන්‍යතාව ප්‍රකට කළ ඇය අවසන් ගමන් ගියේ, රාගම පෞද්ගලික රෝහලකදීය.
ඇය අභාවප්‍රාප්ත වන විට 71 වන වියේ පසුවූවාය.
සඳුදා (ජූලි 22) පස්වරුවේ සිට කුසුම් පීරිස්ගේ මෘත දේහය අංක 47/1, ස්වර්ණ පෙදෙස, ඇල්දෙණිය, කඩවත යන ලිපිනයේ පිහිටි ඇගේ නිවසේ තැන්පත් කර තැබෙන අතර බදාදා (ජූලි 24) සවස 4ට ඇල්දෙණිය පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.
අතීත තොරතුරු
වත්තල, එඬේරමුල්ල ප්‍රදේශයේ උපත ලද කුසුම් පීරිස් අධ්‍යාපනය ලැබුවේ, කැලණිය ගුරුකුල විද්‍යාලයෙනි.
1965 වසරේදී ගුවන් විදුලි සංස්ථාවේ නාට්‍ය ශිල්පීන් තෝරා ගැනීම සඳහා පැවති පරීක්ෂණයකින් ඇය විශිෂ්ට ශ්‍රේණියේ ශිල්පිනියක ලෙස තෝරා ගැනිණි.
මොනරතැන්න (සඳා), මුවන්පැලැස්ස (සපුමලී සහ සිලිඳි යන චරිත), ගුවන්විදුලි රඟමඬල ආදී අතිශය ජනාදරයට පත් ගුවන් විදුලි නාට්‍ය සඳහා ඇයට සහභාගි වීමට අවස්ථාව හිමි වී ඇත්තේ, ඉන් පසුවය.
1972 වසරේ පැවති පරීක්ෂණයකින් සමත් වීමෙන් අනතුරුව ඇය ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදිකාවක බවට පත්වුවාය.
ඉන්පසු ගුවන් විදුලි නිවේදිකාවක සහ නාට්‍ය ශිල්පිනියක ලෙස ඇය කටයුතු කළ අතර 'පහන් තරුව' නමින් ගුවන් විදුලි නාට්‍යයක් නිෂ්පාදනය කරමින් නාට්‍ය නිෂ්පාදනයට ද පිවිසියාය.
ගීත රචනය
ගුවන් විදුලි ශිල්පිනියක වූ කුසුම් පීරිස් මාධ්‍ය වෙත පවසා තිබුණේ, තමන් "අහම්බයෙන්" ගීත රචනයට පිවිසි බවය.
ගුවන් විදුලි සංස්ථාවේ රැකියාව කරමින් සිටි කාලයේ එක් දිනෙක ඇති වූ සිතිවිල්ලක් පිළිබඳව ඇය ලියූ පද පේළි දෙකක් දුටු ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජිනීගේ පෙරැත්තය මත ඉතිරි පද සම්පූර්ණ කිරීමෙන් පසුව නිරංජලා සරෝජිනී සහ අබේවර්ධන බාලසූරිය එම ගීතය සරල ගී වැඩසටහනක් සඳහා ගායනා කර තිබිණි.
එම ගීතය, 'නිසංසලේ මා තනියෙන්' නමැති ගීතයයි.
ඉන්පසු ඇය අතින් තවත් ගීත රැසක් රචනා විය. ඒ අතරින් අතිශය ජනාදරයට පත් ගීත කිහිපයක් පහත දැක්වේ.
- නිසංසලේ මා තනියෙන් - අබේවර්ධන බාලසූරිය/නිරංජලා සරෝජිනී
- අසුරු සැණින් එක මොහොතකදී - යමුනා විනෝදනී
- සිත ගාව දඟ කළා - වික්ටර් රත්නායක
- සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ - බණ්ඩාර අතාවුද/නිරංජලා සරෝජිනී
- ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ - එඩ්වඩ් ජයකොඩි
- ඈත හිනැහෙන තාරකාවේ - දයාරත්න පෙරේරා/යමුනා විනෝදනී
- දිගු නෙත් හසරැල්ලේ - දයාරත්න පෙරේරා
- සිතුවිලි සිර වී හදවත පතුලේ - බණ්ඩාර අතාවුද
ප්‍රවීණ ගායිකා නිරංජලා සරෝජිනී:කුසුම් පීරිස් ගේය පද රචිකාවියක් බවට පත් කළ ගායිකාව, නිරංජලා සරෝජිනීය.

ඡායාරූප මූලාශ්‍රය, Niranjala Sarojini/Facebook
"ඇත්තට ම ඇය නැති වීම ලොකු කනගාටුවක්. ඇය ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා. මේ වෙලාවේ ඒ දේවල් කියන්න පුළුවන් තත්ත්වයක නෙවේ මම ඉන්නේ. කුසුම් පීරිස් සන්නිවේදන කලාවට ලොකු මෙහෙවරක් කළා," බීබීසී සිංහල සේවය සමග කෙටි සංවාදයකට එක්වෙමින් නිරංජලා සරෝජිනී එසේ පැවසුවාය.
සමකාලීනයන්ගේ මතක සැමරුම්

ඡායාරූප මූලාශ්‍රය, Thilaka Ranasinghe/Facebook
ප්‍රවීණ නිවේදිකා තිලකා රණසිංහ: 1972 වසරේ සහන නිවේදිකාවක ලෙස ගුවන් විදුලි සංස්ථාවේ නිවේදන වෘත්තියට පිවිසීමේදී කුසුම් පීරිස් සමග ඊට ඇතුළත් වූ කණ්ඩායමේ තිලකා රණසිංහ ද විය.
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා තිලකා රණසිංහ බීබීසී සිංහල සේවය සමග එක්වෙමින් කුසුම් පීරිස් පිළිබඳ මෙසේ පැවසුවාය.
"මම ගුවන් විදුලියට ආව දවසේ ඉඳලා කුසුම් පීරිස්ව ළඟින් ම ආශ්‍රය කළා. අපි එකට නිවේදන කටයුතු ආරම්භ කළත් කුසුම් මට කලින් ගුවන් විදුලියේ නාට්‍යවලට සම්බන්ධ වෙලා ගොඩක් දේවල් කරලා තිබුණා. එයා මට සැලකුවේ එයාගේ ම නංගී කෙනෙකුට වගේ. මගේ නම තිලකා වුණත් එයා මට කතා කළේ තිලකී කියලා. ඒ තරම් එයාගේ බැඳීමක් තිබුණා. එයා ගුවන් විදුලි සන්නිවේදන කලාවට ලොකු මෙහෙවරක් කළා. එයාව හැඳින්නුවේ ගුවන් විදුලි නාට්‍ය කලාවේ කඳුළු බින්දුව කියලා. එයා අහිමි වුණ එක ලොකු පාඩුවක්."
"එයා නාට්‍යයක් කළා පහන් තරුව කියලා. අද ඒ පහන් තරුව නිවිලා ගිහින්," තිලකා රණසිංහ හැඟුම්බරව පැවසීය.
ප්‍රවීණ ගේය පද රචක රත්නශ්‍රී විජේසිංහ: කුසුම් පීරිස් පිළිබඳව අදහස් දක්වමින් ප්‍රවීණ ගේය පද රචක රත්නශ්‍රී විජේසිංහ බීබීසී සිංහල සේවයට පැවසුවේ, ඇය සිංහල ගුවන් විදුලි සන්නිවේදන කලාවේ සම්පතක් බවය.
"ඇය සතුව තිබුණ හඬ පෞරුෂය අනන්‍ය වූ එකක්. ඒ හඬ නිර්මාණාත්මකව භාවිත කරන්න ඇයට හැකි වුණා. ඒ වගේ ම ගීත රචිකාවියක් විදිහටත් ඇය තමන්ගේ දක්ෂතාව සනිටුහන් කරලා තියෙනවා. ඇයගේ අභාවය නූතන සන්නිවේදන ක්ෂේත්රයට විශාල පාඩුවක් වෙයි," රත්නශ්‍රී විජේසිංහ සඳහන් කළේය.
තවදුරටත් කියවන්න.








