"රොනී කියන්නෙ ඉතා ම හොඳ මනුස්සයෙක්" රොනී ලීච් සමග පර්ත් ගිය මරියසෙල් කියන කතාව

YouTube

ඡායාරූප මූලාශ්‍රය, YouTube

ජනප්‍රිය රංගන හා ගායන ශිල්පී රොනී ලීච් අභාවප්‍රාප්ත වූයේ, ඔස්ට්‍රේලියාවේ පර්ත්හි පැවති සංගීත සංදර්ශනයකට සහභාගි වීම සඳහා ගොස් සිටියදී ය.

ඔහු එම සංදර්ශනයට සහභාගි වූයේ, ජනප්‍රිය ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක සමග ය.

ඒ අනුව, එම සිද්ධිය පිළිබඳව මරියසෙල් ගුණතිලකගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු වශයෙන්, "රොනීව මම ආශ්‍රය කළේ 1973 ඉඳලා. ඔහු සහ ඔහුගේ පවුල මගේ පවුලේ සාමාජිකයින් වගේ හිටියෙ. රොනී කියන්නෙ ඉතා ම හොඳ මනුස්සයෙක්," යනුවෙන් ප්‍රකාශ කළාය.

මරියසෙල් ගුණතිලක තම ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ රොනී සමග ගත් අවසන් ඡායාරුපය

ඡායාරූප මූලාශ්‍රය, Facebook/mariazelle.goonetilleke/Thilak Sen

ඡායාරූප ශීර්ෂ වැකිය, මරියසෙල් ගුණතිලක තම ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ රොනී සමග ගත් අවසන් ඡායාරුපය

"ඔස්ට්‍රේලියාවේ සෙනසුරාදා තිබුණ ඒ සංදර්ශනය සාර්ථකව අවසන් කරල පහුව දා මම මගේ මිතුරන් කීප දෙනෙක් මුණ ගැසෙන්න ගියා. රොනී එයාගෙ නෑදෑයො වගයක් හම්බ වෙන්න ගියා. ඉරිදා හවස ආයෙත් අපි නවාතැනට ඇවිත් එකට රාත්‍රී ආහාරයත් ගත්ත."

ඉන්පසු ඇය නිදා ගැනීම සඳහා සිය කාමරයට ගොස් ඇති අතර රොනී ලීච් පසුදා යළි ශ්‍රී ලංකාවට යාම සඳහා සිය බෑග් සූදානම් කරමින් සිටි බව මරියසෙල් ගුණතිලක පැවසුවාය.

රොනී ලීච් අභාවප්‍රාප්ත වී ඇති බව තමන් දැන ගන්නා විට සඳුදා (01) උදෑසන 7.30 පමණ වී තිබූ බව ඇය සඳහන් කළාය.

Facebook

ඡායාරූප මූලාශ්‍රය, Facebook

රොනී ලීච් පිළිබඳව හැඬුම්බර ස්වරයකින් අදහස් දැක්වූ මරියසෙල් ගුණතිලක, "රොනී පළවෙනි වතාවට ඔස්ට්‍රේලියාවට ගියෙත් මාත් එක්ක. ඒ ගමනට මහේෂ් දෙනිපිටිය යි, පීටර් රොසයිරෝ යි එක්වුණා. අවසන් වරටත් ඔහු ඔස්ට්‍රේලියාවට ආවෙ මාත් එක්ක. මට ඒක ගැන ගොඩක් දුකයි," යනුවෙන් අවසන් වශයෙන් ප්‍රකාශ කළාය.

පුවත අනාවරණය වීම

මේ අතර, අභාවප්‍රාප්ත රොනී ලීච් කලාකරුවා පිළිබඳව ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් බීබීසී සේවයට අදහස් දැක්වීය. "රට ම ආදරය කළ කලාකරුවෙකු අහිමි වීම විශාල පාඩුවක්. රොනී ලීච් කියන්නේ විවිධ හැකියාවන් තිබුණු රට ම පිනවූ කලා ශිල්පියෙක්,"

ඔහු ප්‍රකාශ කළේ, රොනී ලීච් අහිමි වීම පිළිබඳව ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය දැඩි ලෙස කනගාටු වන බව ය.

දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසුව බොරැල්ලේ පිහිටි මල් ශාලාවක මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමට සැලසුම් කර තිබේ.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ රොනී ලීච්ගේ මීළඟ උපන් දින සැමරුම ඔක්තෝබර් 19 වන දාට යෙදී තිබිණි.

මිය යන විට 65 වන වියේ පසුවූ ඔහු දෙදරු පියෙකි. රොනී ලීච් අභාවප්‍රාප්ත වූයේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයකට ගොස් සිටියදී ය.

අතීත තොරතුරු

දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ පදිංචිව සිටි රොනී ලීච් කලා ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ, 1972 වසරේදී සංගීත කණ්ඩායමක ගායන ශිල්පියෙකු වශයෙනි.

ඔහු මුල් කාලයේ සිංහල සහ බටහිර ගීත ගායනා කර ඇති අතර පසු කාලීනව සංගීත කණ්ඩායම් කීපයක ම නිත්‍ය ගායන ශිල්පියා ලෙස කටයුතු කර තිබේ.

ඔහු ශ්‍රී ලාංකික රසිකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ, ජිප්සීස් කණ්ඩායම සමග එක්ව නිර්මාණය කළ 'තට්ටයා' ගීතයෙනි.

පසු කලෙක 'ඈතින් ඈතට' චිත්‍රපටයේ රංගනයට එක්වෙමින් රොනී ලීච් හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙකු ලෙස ද වඩාත් ජනාදරයට පත් විය.