ලිපිගොනුවල ඇති ආකාරයට එප්ස්ටීන් සහ නෝම් චොම්ස්කි අතර පැවති සම්බන්ධය කුමක් ද?

    • Author, කයිලා එප්ස්ටීන්
  • කියවීමේ කාලය: මිනිත්තු 4

තමාට එරෙහි ලිංගික ජාවාරම් චෝදනා පිළිබඳ ජෙෆ්රි එප්ස්ටීන් විසින් පවසන පරිදි "අප්‍රසන්න" වන මාධ්‍ය ආවරණය සම්බන්ධයෙන් වාග් විද්‍යාඥ නෝම් චොම්ස්කිගෙන් උපදෙස් පැතූ බව නව ලිපිගොනුවලින් පෙනී යයි.

2019 පෙබරවාරි මාසයේ ඊමේල් මගින්, අපකීර්තියට පත් ව්‍යාපාරික ජෙෆ්රි එප්ස්ටීන් "මම නිර්දෝෂී බවට ප්‍රතිචාර දැක්විය යුතු ද?" නැතහොත් "නොසලකා හැරිය යුතු ද?" යනුවෙන් විමසීමක් කර තිබේ.

චොම්ස්කිගෙන් ලැබුණු ප්‍රතිචාරයකින් එප්ස්ටීන්ට සැලකූ "දරුණු ආකාරය" සහ "කාන්තා අපයෝජනය පිළිබඳව වර්ධනය වී ඇති උන්මාදය" ගැන නෝම් චොම්ස්කි කනගාටුව පළ කර ඇත.

"මම වේදනාවෙන් කියන්නෙ. නමුත් ඉදිරියට යාමට හොඳ ම ක්‍රමය එය නොසලකා හැරීම යැයි මම සිතමි," ඊමේල් පණිවිඩයේ සඳහන් විය.

මෙම ඊමේල් පණිවුඩ හුවමාරුව, එක්සත් ජනපද රජය විසින් නිකුත් කරන ලද නවතම එප්ස්ටීන් ලිපිගොනු අතර විය. ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා බීබීසී පුවත් සේවය, චොම්ස්කිගේ බිරිඳ වන වැලරියා සම්බන්ධ කරගෙන ඇත.

ලිපිගොනුවල නෝම් චොම්ස්කිගේ නම සඳහන් වීම ඔහු වරදක් කළ බවට සාක්ෂියක් නොවේ.

අධ්‍යයන පත්‍රිකාවල සිට හමුවීම් සංවිධානය කිරීම දක්වා විවිධ විෂයයන් සම්බන්ධයෙන් එප්ස්ටීන්, චොම්ස්කි සහ වැලරියා අතර සිදුවූ ලිපි හුවමාරුවක් මෙම ලේඛනවලින් හෙළි වන බව පෙනේ.

2019 ජූලි මාසයේදී එප්ස්ටීන් අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම වසරේ අගෝස්තු මාසයේදී ලිංගික ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට නියමිතව තිබියදී, ඔහු නිව්යෝර්ක් බන්ධනාගාර සිර මැදිරිය තුළ මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.

2023 වසරේදී, 97 වන වියේ පසුවූ නෝම් චොම්ස්කි, එප්ස්ටීන් සමග ඇති ඔහුගේ සම්බන්ධතාව ගැන වෝල් ස්ට්‍රීට් ජර්නලයට මෙසේ පැවසීය: "පළමු ප්‍රතිචාරය නම් එය ඔබට අදාළ දෙයක් නෙවෙයි. නැතහොත් වෙනත් කිසි ම කෙනෙකුට අදාළ දෙයක් නෙවෙයි. දෙවනුව, මම ඔහුව දැන සිටි අතර අපි ඉඳහිට මුණගැසුණා."

2008 වසරේදී මියාමි හෙරල්ඩ් පුවත්පත එප්ස්ටීන් පිළිබඳ විමර්ශන වාර්තා මාලාවක් සහ ලිංගික ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයෙන් වැළකී සිටීම සඳහා ඔහු ඇති කර ගත් අභියාචන ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමත් සමග එප්ස්ටීන්, චොම්ස්කි වෙත ඊමේල් පණිවුඩයක් යවා තිබිණි.

"නෝම්. මගේ අප්‍රසන්න ප්‍රවෘත්ති හසුරුවගන්නෙ කොහොම ද කියලා ඔබ දෙන උපදෙස් මම අගය කරනවා," තමන් පිළිබඳ මාධ්‍ය ආවරණ "පාලනයෙන් තොර" බව එප්ස්ටීන් ලිවී ය.

"මං වෙනුවෙන් අදහස් දැක්වීමක් ලියන්න කෙනෙක් ඉන්නව ද?" එප්ස්ටීන් විමසා තිබිණි. "මම නිර්දෝෂී බවට ප්‍රතිචාර දැක්විය යුතු ද?" නැතහොත් "නොසලකා හැරිය යුතු ද?" ඔහු එසේ විමසා තිබුණේ, "තමන්ට එල්ල වන විරෝධය භයානක" බව වටහා ගනිමිනි.

ලිපිගොනුවල නෝම් චොම්ස්කි ලෙස ලේබල් කර ඇති ගොනුවකින් ලැබුණු පිළිතුරක මෙසේ සඳහන් වේ: "ගිජු ලිහිණියන්ට බෙහෙවින් අවශ්‍ය වන්නේ මහජන ප්‍රතිචාරය යි, එවිට එය විනාශකාරී ප්‍රහාරයකට මහජනතාව පෙළඹවීමක්."

"කාන්තා අපයෝජනය සම්බන්ධයෙන් වර්ධනය වී ඇති උන්මාදය සම්බන්ධයෙන් එය විශේෂයෙන් සත්‍ය වේ, එය චෝදනාවක් ගැන ප්‍රශ්න කිරීම පවා මිනීමැරුමකට වඩා දරුණු අපරාධයක් බවට පත්ව තිබේ," යනුවෙන් ඊමේල් පණිවිඩයේ තවදුරටත් සඳහන් විය.

චොම්ස්කි යුවළ පොළී ගෙවීම් සහ ඔවුන්ගේ මූල්‍ය කටයුතු පිළිබඳව තම දරුවන් සමග සන්නිවේදනය කරන්නේ කෙසේ ද? යන්න පිළිබඳ උපදෙස් සඳහා එප්ස්ටීන් වෙත යොමු වූ බව ලිපිගොනුවලින් පෙනී යයි.

"පහත ලිපිය ඔහුගේ දරුවන්ට යැවීමට N කැමති යි," වැලරියා චොම්ස්කි ලෙස හඳුනා ගත් ඊමේල් ලිපිනයකින් 2017 සැප්තැම්බර් මාසයේදී ලියා තිබේ. "එකතු කිරීමට යෝජනා තිබේ ද?"

"යෝජනා තිබේ නම් කියන්න. අපි ඔබව විශ්වාස කරමු," ඊමේල් පණිවුඩය අවසන් කර ඇත්තේ එසේ ය.

එප්ස්ටීන් සහ චොම්ස්කි අතර ලිපි හුවමාරුව පෙර ලේඛන නිකුතුවල ද ඇතුළත් විය. පසුගිය වසරේ නිකුත් කරන ලද ලිපිගොනුවලින් පෙනී ගියේ, මෙම යුවළ වසර ගණනාවක් පුරා පණිවුඩ කිහිපයක් හුවමාරු කර ගත් බවත්, එප්ස්ටීන් ඔහුට තම නිවෙස්වල නැවතී සිටින ලෙස ආරාධනා කළ බවත් ය.

ඊමේල් සමූහයේ ඇතුළත් දින නියම නොකළ ලිපියක, චොම්ස්කි සඳහන් කර ඇත්තේ, ඔවුන් දෙදෙනා "නිරන්තරයෙන් බොහෝ දිගු හා ගැඹුරු සාකච්ඡා" පවත්වා ඇති බව ය.