ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බලවතුන් සමග සබඳතා පැවැත්වූ අපකීර්තිමත් ධන කුවේරයා-ජෙෆ්රි එප්ස්ටීන් යනු කවුද?
"මම ලිංගික විලෝපිකයෙක් නෙවෙයි, මම 'වැරදිකාරයෙක්'," ජෙෆ්රි එප්ස්ටීන් 2011 වසරේදී නිව් යෝර්ක් පෝස්ට් වෙත පැවසීය. "මිනීමරුවෙක් සහ බේගල් පාන් එකක් සොරකම් කරන පුද්ගලයෙකු අතර වෙනස ඒක යි."
ලිංගික ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැවති නඩු විභාගය අතරතුර, ඇප ලබා ගැනීමේ අවස්ථාවක් නොමැතිව බලා සිටියදී, 2019 අගෝස්තු 10 වන දින නිව්යෝර්ක් බන්ධනාගාරයේ කුටියකදී එප්ස්ටීන් මිය ගියේ ය.
එය සිදු වූයේ, බාලවයස්කාර දැරියක ගණිකාවක ලෙස යොදා ගැනීමේ චෝදනාව මත ඔහු වරදකරු වී දශකයකට වැඩි කාලයකට පසුව ය. එම වරද හේතුවෙන් ඔහු ලිංගික අපරාධකරුවෙකු ලෙස ලියාපදිංචි කරන ලදී.
එහිදී, ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැනු ළමුන්ගේ "විශාල ජාලයක්" පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය. එහෙත්, ඔහු වරද පිළිගත්තේ නැත.
2025 නොවැම්බර් මාසයේදී, එක්සත් ජනපද කොංග්‍රසයේ මණ්ඩල දෙක ම එප්ස්ටීන් ලිපිගොනුවල විනිවිදභාවය පිළිබඳ පනත අතිමහත් බහුතරයකින් අනුමත කළහ. ඉන් ටික කලකට පසු, එප්ස්ටීන් සම්බන්ධයෙන් සිදුවූ අපරාධ පරීක්ෂණවලින් එහි සියලු ම ලිපිගොනු 2025 දෙසැම්බර් 19 වන දින වන විට නිකුත් කරන ලෙස අධිකරණ දෙපාර්තමේන්තුවට නියෝග කළ පනතට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබී ය.
2026 ජනවාරි 30 වන දින, ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ලේඛන මිලියන තුනකට වඩා නිකුත් කරන ලදී. එසේ නිකුත් කළ එක් වීඩියෝවක දැක්වෙන්නේ, එප්ස්ටීන් තමා යක්ෂයා යැයි සිතන්නේ දැයි විමසූ විට "මට හොඳ කැඩපතක් තිබෙනවා" යනුවෙන් පවසන ආකාරය යි.
පැය දෙකකට ආසන්න කාලයක් පුරා දිවෙන සම්පූර්ණ වීඩියෝ ගොනුවේ ඔහු සම්මුඛ පරීක්ෂකවරයෙකුගේ ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය පෙන්නුම් කර ඇත. ප්‍රශ්න අසන්නේ කවුද, හෝ එම දර්ශන රූගත කළේ කවදා ද? සහ එසේ කළේ ඇයි? යන්න තහවුරු කර නොමැත.
පසුගිය සිකුරාදා (ජනවාරි 30) ලේඛන නිකුත් කිරීම "ඉතා පුළුල් ලේඛන හඳුනා ගැනීමේ සහ සමාලෝචන ක්‍රියාවලියක අවසානය" සංකේතවත් කරන බව එක්සත් ජනපද නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලාන්ෂේ පැවසීය.
එහෙත්, විපක්ෂයේ ඇතැම් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ඇතුළු ප්‍රචාරකයින් තර්ක කරන්නේ, නිසි හේතු දැක්වීමකින් තොරව අධිකරණ දෙපාර්තමේන්තුව තවත් විශාල ලේඛන සංඛ්‍යාවක් රඳවාගෙන සිටින බවටය.
ඇමරිකානු බලධාරීන් විසින් මේ දක්වා මහ ජනයා සඳහා ප්‍රකාශයට පත් කර ඇති තොරතුරු, මියගිය ජෙෆ්රි එප්ස්ටීන්ගේ සහ ඔහුගේ ඉහළ පෙළේ බලවතුන්ගේ කවයේ සාමාජිකයින් ගෙවූ ජීවිතය පිළිබඳව ඉඟි ලබා දෙයි.
'නියම වැඩ්ඩෙක්'
නිව් යෝර්ක්හි ඉපිද හැදී වැඩුණු එප්ස්ටීන්, 1970 ගණන්වල මැද භාගයේදී නගරයේ පිහිටි ඩෝල්ටන් පෞද්ගලික පාසලේ ගණිතය සහ භෞතික විද්‍යාව ඉගැන්වීය. ඔහු විශ්වවිද්‍යාලයේදී භෞතික විද්‍යාව සහ ගණිතය හැදෑරූ නමුත් කිසිවිටෙකත් උපාධිය සම්පූර්ණ කළේ නැත.
එප්ස්ටීන් කෙරෙහි අතිශයින් පැහැදුණු එප්ස්ටීන්ගේ ශිෂ්‍යයෙකුගේ පියෙක් Wall Streetහි ආයෝජන බැංකුවක් වන බෙයාර් ස්ටියර්න්ස්හි (Bear Stearns) ජ්‍යෙෂ්ඨ හවුල්කරුවෙකු ඔහුට හඳුන්වා දුන්නේ ය.
ඔහු වසර හතරක් ඇතුළත එහි හවුල්කරුවෙකු බවට පත් විය. 1982 වන විට, ඔහු තමාගේ ම සමාගමක් නිර්මාණය කර තිබිණි. ඒ, J Epstein and Co. නමිනි.
එම සමාගම ඩොලර් බිලියනයකට (පවුම් මිලියන 800) වඩා වටිනා සේවාදායකයින්ගේ වත්කම් කළමනාකරණය කළ අතර එය ක්ෂණික සාර්ථකත්වයක් විය. එප්ස්ටීන් ඉක්මනින් ම ෆ්ලොරිඩාවේ මන්දිරයක්, නිව් මෙක්සිකෝවේ ගොවිපළක් සහ නිව්යෝර්ක්හි විශාලතම පෞද්ගලික නිවස ඇතුළු වත්කම් මිල දී ගත් අතර, ඔහුගේ ධනය වියදම් කිරීමට සහ කීර්තිමත් පුද්ගලයින්, කලාකරුවන් සහ දේශපාලනඥයන් සමග සමාජගත වීමට පටන් ගත්තේ ය.
"මම ජෙෆ්ව අවුරුදු 15ක් තිස්සේ දන්නවා. නියම වැඩ්ඩෙක්," 2002 දී එප්ස්ටීන් පිළිබඳ ලිපියක් සඳහා නිව්යෝර්ක් සඟරාවට අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය. "ඔහු සමග කාලය ගත කිරීම හරි ම විනෝදජනක යි. ඔහු මා තරම් ම ලස්සන කාන්තාවන්ට කැමති බව අහල තියෙනවා, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තරුණ අය."
"කිසි ම සැකයක් නෑ - ජෙෆ්රි එයාගෙ සමාජ ජීවිතය හොඳින් විඳිනවා."
එප්ස්ටීන් පළමු වරට අත්අඩංගුවට ගැනීමට වසර ගණනාවකට පෙර, 2000 ගණන්වල මුල් භාගයේදී ඔවුන් දෙදෙනා අතර විරසකයක් ඇති වූ බව ජනාධිපතිවරයා පසුව පවසා තිබේ. එප්ස්ටීන් සමග කිසිදු වරදකට තමන් සම්බන්ධ වී නැතැයි ඔහු දිගින් දිගට ම පවසා තිබේ.
"දශක ගණනාවකට පෙර ඔහුගේ කාන්තා සේවිකාවන්ට කරදර කිරීමට උත්සහ කළ නිසා" ට්‍රම්ප් වරක් එප්ස්ටීන්ව ඔහුගේ සමාජ ශාලාවෙන් පන්නා දැමූ බව ධවල මන්දිරය පැවසීය.
ට්‍රම්ප් ම කියා සිටියේ, එප්ස්ටීන් ඔහුගේ Mar-a-Lago මුහුදුබඩ සමාජ ශාලාවේ සම්බාහන ඒකකයේ සේවය කළ තරුණියන් "සොරකම් කළ" බව ය. "ඒක කරපු මොහොතෙ ම එයා එක්ක ගනුදෙනු අවසන් කළා."
එප්ස්ටීන්, ට්‍රම්ප් පමණක් නොව තවත් ඉහළ පෙළේ මිතුරන් ගණනාවක් ආශ්‍රය කළ බව අනාවරණය වී ඇති අතර, ඔවුන් කිසිදු වරදක් කර ඇති බව එම තොරතුරුවලින් නොකියවේ.
2002 දී, ඔහු ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ නළුවන් වන කෙවින් ස්පේසි සහ ක්‍රිස් ටකර් පෞද්ගලික ජෙට් යානයකින් අප්‍රිකාවට පියාසර කළහ. 2003 දී එවකට චිත්‍රපට නිෂ්පාදක හාවි වයින්ස්ටයින් සමග නිව්යෝර්ක් සඟරාව මිල දී ගැනීමට ඔහු අසාර්ථක උත්සහයක් දැරීය - එම වසරේ ම ඔහු හාවඩ් විශ්වවිද්‍යාලයට ඩොලර් මිලියන 30ක (£23m) පරිත්‍යාගයක් කළේ ය.
එප්ස්ටීන් සම්බන්ධයෙන් කොංග්‍රස් විමර්ශනයේදී සාක්ෂි දීමට බිල් ක්ලින්ටන් සහ ඔහුගේ බිරිඳ වන එක්සත් ජනපද හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් එකඟ වී තිබිණි.
ජෙෆ්රි එප්ස්ටීන්, එක්සත් රාජධානියේ දේශපාලනඥයෙකු වන පීටර් මැන්ඩෙල්සන්ගේ ද මිතුරෙකු විය - මැන්ඩෙල්සන් පැවසූ පරිදි එම මිත්‍රත්වය ගැන තමා කනගාටු වූ අතර, එම මිත්‍රත්වය නිසා 2025 දී එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය තානාපති ධූරය ඔහුට අහිමි විය. මැන්ඩෙල්සන් පසුව කම්කරු පක්ෂයෙන් ද ඉල්ලා අස්විය.
2009 දී ව්‍යාපාරික ලේකම් ධූරය දරද්දී එප්ස්ටීන් වෙත රජයේ සංවේදී තොරතුරු ලබා දුන් බවට මැන්ඩෙල්සන්ට චෝදනා එල්ල වීමෙන් පසු, එක්සත් රාජධානියේ පොලිසිය රජයේ කාර්යාලයක සිදුවූ බව කියන විෂමාචාර ක්‍රියා පිළිබඳ වාර්තා සමාලෝචනය කරමින් සිටී.
එප්ස්ටීන් ලිපිගොනුවල ඇති ලේඛනවලට අනුව, යුරෝ මුදල් ඒකකය ආරක්ෂා කර ගැනීම සඳහා යුරෝපා සංගමයෙන් යුරෝ බිලියන 500ක ඇපකරයක් සම්බන්ධයෙන් මැන්ඩෙල්සන් එප්ස්ටීන්ට පූර්ව දැනුම් දීමක් කර තිබිණි.
ඉහළ පෙළේ මිත්‍රයින් කිහිප දෙනෙකු සිටියදීත්, එප්ස්ටීන් තම ජීවිතය පෞද්ගලිකව ගත කිරීමට උත්සහ කළ අතර, වාර්තා වන පරිදි සමාජයීය උත්සව සහ අවන්හල්වල රාත්‍රී භෝජන සංග්‍රහයන් මග හැරියේ ය.
ස්වීඩන් රූ රැජිණක වූ ඊවා ඇන්ඩර්සන් ඩුබින් සහ ග්‍රන්ථ ප්‍රකාශක රොබට් මැක්ස්වෙල්ගේ දියණිය වන ගිලේන් මැක්ස්වෙල් වැනි කාන්තාවන් සමග පෙම් සබඳතා පැවැත්වුව ද, ඔහු කිසිදා විවාහ නොවී ය.
Tiffany & Co සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී රෝසා මොන්ක්ටන්, 2003 දී Vanity Fairහි පළවූ ලිපියක් වෙනුවෙන් පැවසුවේ, එප්ස්ටීන් "තේරුම් ගැනීම දුෂ්කර" "අයිස් කන්දක් වැනි" බව ය.
"ඔයා හිතන්නේ ඔයා එයාව දන්නවා කියලා, ඊට පස්සේ ඔයා ළූණු ගෙඩියේ තවත් ලෙල්ලක් ගලවනවා, එතකොට ඊට යටින් තවත් අසාමාන්‍ය දෙයක් තියෙනවා," ඇය පැවසීය. "එප්ස්ටීන් සම්බන්ධයෙන් ඔයා දකින දේ ඇත්ත දේ නෙවෙයි."
වරදකරු කිරීම සහ අභියාචනා ගනුදෙනුව
2005 දී, ෆ්ලොරිඩාවේ 14 හැවිරිදි දැරියකගේ දෙමව්පියන් පොලිසියට පවසා ඇත්තේ, එප්ස්ටීන් ඔහුගේ පාම් බීච් නිවසේදී තම දියණියට අතවර කළ බව ය. පොලිසිය එම දේපළ සෝදිසි කිරීමේදී නිවස පුරා ගැහැනු ළමයින්ගේ ඡායාරූප තිබී හමු විය.
මියාමි හෙරල්ඩ් පුවත්පත වාර්තා කළේ, ඔහු බාලවයස්කාර ගැහැනු ළමයින් අපයෝජනය කිරීම වසර ගණනාවක සිට කර ඇති බව ය.
"මේක 'ඔහු කිව්වා, ඇය කිව්වා' වගේ තත්වයක් නෙවෙයි," පාම් බීච් පොලිස් ප්‍රධානී මයිකල් රයිටර්, මියාමි හෙරල්ඩ් පුවත්පතට පැවසීය. "මේක දැරියන් 50 ගාණක් සහ එක පිරිමි දරුවෙක් කියපු කතාවක්. දැරියන් සියලු දෙනා මූලික වශයෙන් කිව්වේ එක ම කතාව."
"ඔහු කිසි විටෙකත් ගැහැනු ළමයින් ගැන හැංගුවේ නැහැ," තීරු රචක මයිකල් වුල්ෆ් 2007 පළවූ ලිපියක් සඳහා නිව් යෝර්ක් සඟරාවට පැවසීය. ඒ, එප්ස්ටීන්ට එරෙහි නඩුව අධිකරණයේ විභාග වෙමින් පවතිද්දී ය.
"එක් අවස්ථාවක, ඔහුගේ කරදර ආරම්භ වූ විට, ඔහු මාත් එක්ක කතා කරමින් සිටිද්දී, 'මම මොනවා කියන්න ද, මම තරුණ ගැහැනු ළමයින්ට කැමති යි' කියල කිව්වා. මම කිව්වා, ඔබ කිව යුත්තේ 'මම තරුණ කාන්තාවන්ට කැමති යි' කියලා."
කෙසේ වෙතත්, අභිචෝදකයින් 2008 වසරේදී හෙජ් අරමුදල් කළමනාකරු සමග ගිවිසුමක් ඇති කර ගත්හ.
ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳීමට ඉඩ තිබූ ෆෙඩ්රල් චෝදනාවලින් ඔහු වැළකී සිටි අතර ඒ වෙනුවට මාස 18ක සිර දඬුවමක් ලැබුණු අතර, එම කාලය තුළ ඔහුට දිනකට පැය 12ක්, සතියකට දින හයක් "වැඩ සඳහා මුදා හැරීමේ" කොන්දේසිය මත තම කාර්යාලයට යාමට හැකි විය. මාස 13කට පසු ඔහු පරිවාස කාලය යටතේ නිදහස් කරන ලදී.
මියාමි හෙරල්ඩ් පුවත්පත වාර්තා කළේ, ෆෙඩ්රල් අභිචෝදක ඇලෙක්සැන්ඩර් ඇකෝස්ටා, එප්ස්ටීන්ගේ අපරාධවල තරම සඟවා, තවත් වින්දිතයින් සිටී ද නැතහොත් වඩා බලවත් පුද්ගලයින් සම්බන්ධ වී ඇත් ද යන්න පිළිබඳ FBI පරීක්ෂණයක් අවසන් කරමින් අභියාචනා ගිවිසුමකට එළඹුණු බව ය. පුවත්පත එය "සියවසේ ගනුදෙනුව" ලෙස විස්තර කළේ ය.
මෙම විවේචන හේතුවෙන් 2019 ජූලි මාසයේදී ඇලෙක්සැන්ඩර් ඇකෝස්ටා ඉල්ලා අස්විය.
2008 වසරේ සිට, එප්ස්ටීන් නිව් යෝර්ක් ලිංගික අපරාධකරුවන්ගේ ලේඛනයේ තුන් වන මට්ටමේ වරදකරුවෙකු ලෙස ලැයිස්තුගත කර ඇත. එය ජීවිත කාලය පුරා ම පවතින හංවඩුවක් වූ අතර එයින් අදහස් වන්නේ ඔහු නැවත වරදක් කිරීමේ ඉහළ අවදානමක් ඇතැයි සලකනු ලැබූ බව ය.
නමුත් වරදකරු වීමෙන් පසුව ද එප්ස්ටීන් ඔහුගේ දේපළ සහ වත්කම් පවත්වාගෙන ගියේ ය.
2010 දෙසැම්බර් මාසයේදී, එවකට ඇන්ඩෲ කුමරු ලෙස හැඳින්වූ දෙවන එලිසබෙත් රැජිනගේ තුන් වන දරුවා වන ඇන්ඩෲ මවුන්ට්බැට්න්-වින්ඩ්සර්, නිව්යෝර්ක්හි සෙන්ට්‍රල් පාර්ක් හිදී එප්ස්ටීන් සමග සිටින ඡායාරූපයක් දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නේ ය.
2019 නොවැම්බර් මාසයේදී බීබීසී සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී, 1999 සිට එප්ස්ටීන් හඳුනන ඇන්ඩෲ පැවසුවේ, ඔවුන්ගේ මිත්‍රත්වය බිඳ දැමීමට ඔහු 2010 දී නිව්යෝර්ක් වෙත ගිය බව ය. ඔහු එහි සිටියදී එප්ස්ටීන්ගේ නිවසේ රැඳී සිටීම ගැන කනගාටු වන බවත්, එසේ කිරීමෙන් ඔහුට "සියල්ල අහිමි වූ" බවත් ඔහු පැවසීය.
වසර ගණනාවකට පසු අනාවරණය වූ 2011 වසරේදී හුවමාරු වූ ඊමේල්වලට අනුව, ඇන්ඩෲ කලින් පිළිගත්තාට වඩා දිගු කාලයක් එප්ස්ටීන් සමග සම්බන්ධතා පවත්වා ඇත. පසුව ඇති වූ අර්බුද මධ්‍යයේ, 2025 දී ඇන්ඩෲට ඔහුගේ රාජකීය පදවි අහිමි විය.
එප්ස්ටීන්ට එරෙහිව චෝදනා එල්ල කරන වර්ජිනියා රොබට්ස් (පසුව වර්ජිනියා ගුෆ්රේ ලෙස ප්‍රසිද්ධියට පත් වූවා ය) 2000 දශකයේ මුල් භාගයේදී ඇයට වයස අවුරුදු 17 දී ඇන්ඩෲ සමග ලිංගිකව හැසිරීමට තමන්ට බල කළ බවට චෝදනා කළා ය.
ඇන්ඩෲ ඇය සමග ලිංගිකව හැසිරුණු බවට වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ අතර, ඔවුන් දෙදෙනා ලන්ඩනයේදී එකට ගත් ඡායාරූපයක් පිළිබඳ මතකයක් නොමැති බව ද පැවසීය.
නමුත් 2022 දී, ඔහු ඇයට ලිංගික අපයෝජනයක් කළ බවට චෝදනා කරමින් ඇය ගොනු කළ නඩුවක් සමථයකට පත් කිරීම සඳහා ඔහු ගුෆ්රේට මුදලින් මිලියන ගණනක් ගෙවා ඇත.
ඇන්ඩෲගේ හිටපු බිරිඳ සාරා ෆර්ගියුසන් සහ එප්ස්ටීන් අතර තිබූ මිත්‍රත්වය පිළිබඳ නව තොරතුරු ද ඉස්මතු විය.
බාල වයස්කරුවෙකු සමග ලිංගිකව හැසිරීම සම්බන්ධයෙන් එප්ස්ටීන් සිරගතව සිටියදී ෆර්ගියුසන් ඔහු සමග සබඳතා පැවැත්වූ බව පෙන්වන ඊමේල් පණිවිඩවලින් පසුව, ෆර්ගියුසන්ගේ පුණ්‍යායතනය වන සාරාස් ට්‍රස්ට් ආයතනය, "කලින් ම පෙනෙමින් තිබෙන අනාගත තත්ත්වයක් නිසා " වසා දමන බව නිවේදනය කළේ ය.
2019 ජූලි 6 වන දින පැරිසියේ සිට ඔහුගේ පෞද්ගලික ජෙට් යානයෙන් ආපසු පියාසර කිරීමෙන් පසු නිව්යෝර්ක්හිදී එප්ස්ටීන් අත්අඩංගුවට ගන්නා ලදී.
ඔහු කළ බවට චෝදනා එල්ල වන අපරාධ කිහිපයක් සිදුවූ ඔහුගේ නිව්යෝර්ක් මන්දිරය රාජසන්තක කිරීමට අභිචෝදකයින් දිගට ම උත්සාහ ගනිමින් සිටි බව වාර්තා වේ.
එප්ස්ටීන් සෑම විට ම කිසිදු වරදක් නොකළ බව පැවසූ අතර, ඔහුට එරෙහි චෝදනාවලට වරදකරු නොවන බව පැවසීය.
අධිකරණය ඇප ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, ඔහු නිව්යෝර්ක්හි මෙට්‍රොපොලිටන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා තබා තිබිණි. ඔහුගේ බෙල්ලේ තුවාල හටගත් බවට වාර්තා වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජූලි මාසයේදී ඔහු කෙටි කලකට රෝහල්ගත කරන ලදී - බන්ධනාගාර නිලධාරීන් හෝ ඔහුගේ නීතිඥයින් ඒ පිළිබඳව නිල වශයෙන් අදහස් දැක්වූයේ නැත.
2019 ජූලි 31 වන දින අවසන් වරට නඩුව අධිකරණයේ කැඳ වූ අවස්ථාවේදී, ඔහුට වසරක කාලයක් තිස්සේ සිරගතව සිටිමට සිදුවන බව පැහැදිලි වූ අතර, 2020 ගිම්හානයට පෙර නැවත නඩු විභාගයක් සිදු නොවන බව තහවුරු විය. අභිචෝදකයින් පැවසුවේ, නඩුව ප්‍රමාද කිරීමට අවශ්‍යතාවක් නැති අතර, මහජන අවධානය හේතුවෙන් නඩු විභාගය ඉක්මන් කරන බව ය.
එප්ස්ටීන් නඩු විභාගයට කිසි දිනෙක පෙනී සිටියේ නැත.
මැක්ස්වෙල් නඩු විභාගය
එප්ස්ටීන්ගේ මරණයෙන් පසු, ඔහුගේ හිටපු පෙම්වතිය වූ ගිලේන් මැක්ස්වෙල් අවධානයට ලක් විය.
2020 ජූලි මාසයේදී ඇය එක්සත් ජනපදයේ නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ ඇගේ හුදෙකලා මන්දිරයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ, බාලවයස්කරුවන් ලෙස දන්නා වින්දිතයින් සොයාගෙන ඔවුන් මනාලයින් මනාලියන් කිරීමට උදව් කිරීමෙන් එප්ස්ටීන්ගේ බාලවයස්කාර අපයෝජනයට සහය වීම සම්බන්ධයෙන් සැකපිට ය.
2021 දෙසැම්බර් මාසයේදී, නිව්යෝර්ක් නගරයේ ජූරි සභාවක් විසින් ඇයට එරෙහි චෝදනා හයෙන් පහකට ම ඇය වැරදිකරු බව තීරණය කළ අතර, ඉන් බරපතළ ම චෝදනාව වූයේ බාලවයස්කරුවෙකු ලිංගිකව ජාවාරම්වල නිරත කරවීම ය. ඇයට වසර 20ක සිර දඬුවමක් නියම කරන ලදී, එනම් 60 හැවිරිදි ඇයට ඇගේ ජීවිතයේ ඉතිරි කාලය සිරගෙවල් තුළ ගත කිරීමට සිදුවනු ඇත.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මැක්ස්වෙල්, බිල් ක්ලින්ටන් සහ ඇන්ඩෲ ඇතුළු ඇගේ ධනවත් සහ බලවත් මිතුරන් බොහෝ දෙනෙකුට එප්ස්ටීන් හඳුන්වා දුන් බව කියනු ලැබේ.
මැක්ස්වෙල් සහ එප්ස්ටීන්ගේ ආදර සම්බන්ධතාව වසර කිහිපයක් පමණක් පැවතුණ ද, ඇය බොහෝ කලකට පසුවත් ඔහු සමග වැඩ කිරීම දිගට ම කරගෙන ගිය බව මිතුරෝ පැවසූහ.
උසාවි ලේඛනවල, පාම් බීච්හි එප්ස්ටීන් මන්දිරයේ හිටපු සේවකයින් මැක්ස්වෙල්ව විස්තර කළේ කාර්ය මණ්ඩලය අධීක්ෂණය කළ, මූල්‍ය කටයුතු කළ සහ සමාජ සම්බන්ධීකාරක ලෙස සේවය කළ නිවාස කළමනාකරු ලෙස ය.
2003 දී ප්‍රකාශයට පත් කරන ලද වැනිටි ෆෙයාර් තොරතුරු ලිපියක, එප්ස්ටීන් පැවසුවේ, මැක්ස්වෙල් වැටුප් ලබන සේවකයෙකු නොව ඔහුගේ "හොඳ ම මිතුරිය" බව ය.
නඩු විභාගය අතරතුර, මැක්ස්වෙල් තරුණ ගැහැනු ළමයින් ගොදුරු කර එප්ස්ටීන්ට අපයෝජනය සඳහා සූදානම් කළ බවට අභිචෝදකයෝ චෝදනා කළහ. ඇගේ විත්තියේ නීතිඥයින් පැවසුවේ, එප්ස්ටීන්ගේ මරණයෙන් පසු ඔහුගේ අපරාධ සඳහා බිල්ලක් ලෙස ඇයව භාවිත කරන බව ය.
නමුත් ඇය පිළිබඳව අධිකරණය දුන් තීන්දුවෙන් පසුව, මැක්ස්වෙල් යම් පසුතැවිල්ලක් පළ කරමින් මෙසේ පැවසුවා ය: "ජෙෆ්රි එප්ස්ටීන් මුණගැසීම මගේ ජීවිතයේ ලොකු ම කනගාටුදායක සිද්ධිය යි."
"නමුත් අද වැඩියෙන් කථා කෙරෙන්නේ එප්ස්ටීන් ගැන නෙවේ," ඇය තවදුරටත් පැවසුවා ය. " මේක මට දඬුවම් නියම කිරීම සඳහා වින්දිතයින් අධිකරණයේදී මට තනියම කථා කරන එකක් වෙලා. මම ඔබට කියන්න තියෙන්නේ : ඔබ අත්විඳි වේදනාව ගැන මට කනගාටුයි. මා සිරගත කිරීමත් සමග මට ලැබෙන දරුණු තීන්දුව හරහා ඔබේ කරදරවලට අවසානයක් ගෙන එනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා."
මැක්ස්වෙල්ගේ නීතිඥයින් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරමින් ඇයගේ භූමිකාව සම්බන්ධයෙන් කිසි විටෙකත් ඇය නඩු විභාගයකට ලක් නොකළ යුතු බවටත් වරදකරු නොකළ යුතු බවටත් තර්ක කළහ. අවසානයේ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම අභියාචනය ප්‍රතික්ෂේප කරන ලදී.