'මගේ විවාහ දිවියේ වේදනාකාරී කාලයක්': එප්ස්ටීන් ලිපිගොනුවල බිල් ගේට්ස්ගේ නම සඳහන් වීම ගැන හිටපු බිරිය ප්‍රතිචාර දක්වයි

    • Author, ක්රිස්ටල් හේස්
  • කියවීමේ කාලය: මිනිත්තු 4

සිය හිටපු සැමියා වන මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස්, ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටීන්ට සම්බන්ධ නව ලිපිගොනුවල නම් කර තිබීම "මගේ විවාහ ජීවිතයේ වේදනාකාරී කාලයන්" ඇති කළ බව ප්‍රකෝටිපති දානපතිනියක වන මෙලින්ඩා ෆ්‍රෙන්ච් ගේට්ස් පැවසුවාය.

NPR පොඩ්කාස්ට් වැඩසටහනකට එක්වෙමින් ඇය පැවසුවේ එප්ස්ටීන් චෝදනා සම්බන්ධයෙන් තමාට "අතිශය දුකක්" දැනෙන බව සහ ඇගේ හිටපු සැමියා ඇතුළුව අදාළ වාර්තාවල නම් සඳහන්ව ඇති පුද්ගලයින් එයට පිළිතුරු ලබාදිය යුතු බවයි.

''කුණු ගොඩවල්වලින් ඈත්වෙලා ඉන්න එක ගැන මට හරි සතුටුයි.'' ඇය පැවසුවාය. විවාහයෙන් වසර 27 කට පසුව එම යුවළ 2021 වසරේදී දික්කසාද විය.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තා අතර බිල් ගේට්ස්ට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් වැළඳී ඇති බවට එප්ස්ටීන් විසින් කරන ලද චෝදනාවක් වේ. ඔහු එම ප්‍රකාශය "සම්පූර්ණයෙන්ම විකාරයක්" ලෙස හඳුන්වා දී ඇත.

'' බොරුකාරයෙකු යැයි සනාථ වී ඇති අයෙකු කර ඇති මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම විකාරරූපීයි, එමෙන්ම අසත්‍යයි'' යනුවෙන් බිල් ගේට්ස්ගේ ප්‍රකාශකයෙක් චෝදනා පිළිබඳ අදහස් දක්වමින් පැවසීය. ඔහුගේ හිටපු බිරිඳගේ අදහස් සම්බන්ධයෙන් බීබීසී පුවත් සේවය ඔහුගේ නියෝජිතයින් අමතා ඇත.

එප්ස්ටීන්ගේ කිසිදු වින්දිතයෙකු විසින් බිල් ගේට්ස් වැරදි ක්‍රියාවක් සිදු කළ බවට චෝදනා කර නොමැති අතර, එම ලේඛනවල ඔහුගේ නම ඇතුළත් වීමෙන් කිසිදු ආකාරයක අපරාධ ක්‍රියාවක් සිදු වූ බව අදහස් නොකෙරේ.

ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව (DOJ) විසින් ලිපිගොනු නිකුත් කිරීම පිළිබඳව මෙම සතියේ ඕස්ට්‍රේලියාවේ 9News සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකෝටිපති ව්‍යාපාරික බිල් ගේට්ස් සිය නිහඬතාවය බිඳ දැමීය.

එප්ස්ටීන් සමඟ සම්බන්ධතාවයන් රාත්‍රී භෝජන සංග්‍රහවලට පමණක් සීමා වූ බවත් ඔහු එප්ස්ටීන්ගේ දූපතට නොගිය බවත් ඔහු පැවසීය.

"මං ඔහු සමඟ ගත කළ සෑම මිනිත්තුවක් ගැනම මම කණගාටු වෙනවා, එසේ කිරීම ගැන මං සමාව ඉල්ලා සිටිනවා," ගේට්ස් තවදුරටත් පැවසීය.

NPR හි Wild Card පොඩ්කාස්ට් වැඩසටහන සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, මෙලින්ඩා ෆ්‍රෙන්ච් ගේට්ස් මෙලෙස පැවසුවාය: "ඒ විස්තර එන හැම වෙලාවෙම මට ඒක පෞද්ගලිකව හරිම අමාරුයි, හරිද? මොකද ඒක මගේ විවාහ ජීවිතයේ සමහර ඉතා වේදනාකාරී කාලවල මතකයන් ආයේ මතක් කරනවා."

"මොන ප්‍රශ්න ඉතිරිවෙලා තිබුණත් ඒ සියලු දේ ගැන දැන ගන්නවත් මට පුළුවන්කමක් නැහැ - ඒ ප්‍රශ්න තියෙන්නේ ඒ අයට සහ මගේ හිටපු සැමියට. ඒ දේවල් වලට පිළිතුරු දෙන්න ඕනේ එයාලා, මං නෙමෙයි." ඇය වැඩිදුරටත් පැවසුවාය.

එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔවුන්ගේ වෙන්වීමට පෙර, මෙලින්ඩා ෆ්‍රෙන්ච් ගේට්ස් තම සැමියා, එප්ස්ටීන් සමඟ පැවැත්වූ සම්බන්ධය ගැන කලබල‍යට පත්ව සිටි බවයි. ඔවුන්ගේ වෙන්වීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, 2019 වසරේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවිකාවක සමඟ තමන් සම්බන්ධතාවයක් පවත්වා තිබූ බව බිල් ගේට්ස් පිළිගත්තේය.

බිල් ගේට්ස් සම්බන්ධ චෝදනා, පසුගිය සතියේ ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ලේඛන මිලියන තුනකට වැඩි ප්‍රමාණයක ඇතුළත් විය.

2013 ජූලි 18 දිනැතිව විද්‍යුත් තැපැල් පණිවිඩ දෙකක් ජෙෆ්රි එප්ස්ටීන් විසින් කෙටුම්පත් කර ඇති බව පෙනෙන්නට තිබුණද, ඒවා සැබවින්ම බිල් ගේට්ස් වෙත යොමු කර තිබුණේ ද යන්න තවමත් පැහැදිලි නැත.

එම විද්‍යුත් තැපැල් පණිවිඩ දෙකම එප්ස්ටීන්ගේම ගිණුමෙන් යොමු කර නැවත එම ගිණුමටම ලැබී ඇති අතර, බිල් ගේට්ස්ට සම්බන්ධ කිසිදු විද්‍යුත් තැපැල් පණිවිඩ ගිණුමක් එහි දක්නට නොලැබේ. එම විද්‍යුත් පණිවිඩ දෙකටම අත්සන් තබා නොමැත.

එක් විද්‍යුත් තැපෑලක් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ලෙස ලියා ඇති අතර "රුසියානු ගැහැණු ළමුන් සමඟ ලිංගිකව හැසිරීමේ ප්‍රතිවිපාක සමඟ කටයුතු කිරීමට" බිල් ගේට්ස් හට ඖෂධ මිලදී ගැනීමට සිදු වූ බවට පැමිණිලි කරයි.

"ආදරණීය බිල්" යනුවෙන් ආරම්භ වන අනෙක, බිල් ගේට්ස් මිත්‍රත්වයක් අවසන් කර ඇති බවට පැමිණිලි කරන අතර බිල් ගේට්ස් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් වසන් කිරීමට උත්සාහ කර ඇතැයි ප්‍රකාශ කරයි. ඊට ඔහුගේ එවක බිරිඳ මෙලින්ඩා ද ඇතුළත් වේ.

වසර ගණනාවක් පුරාවට බිල් ගේට්ස් සහ ඔහුගේ නියෝජිතයන් ජෙෆ්රි එප්ස්ටීන් සමඟ ඇති සම්බන්ධය අවතක්සේරු කර පෙන්වා ඇත. ඔහු මීට පෙර පවසා තිබුණේ ක්‍රියාත්මක නොවූ පරිත්‍යාගශීලී ව්‍යාපෘතියක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඔවුන් "රාත්‍රී භෝජන සංග්‍රහ කිහිපයක්" පමණක් පැවැත්වූ බවයි.

"මෙම ලේඛන වලින් පැහැදිලි වන්නේ, ගේට්ස් සමඟ දිගුකාලීන සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට නොහැකි වීම පිළිබඳ එප්ස්ටීන් තුළ පැවැති කලකිරීම සහ ඔහුව වංචාවට හසු කර නින්දා කිරීම සඳහා ඔහුට කෙතරම් දුරට යා හැකිද යන්නත් පමණයි.'' එල්ල වූ නවතම චෝදනාවලින් අනතුරුව බිල් ගේට්ස්ගේ ප්‍රකාශකයෙකු පැවසීය.

පසුගිය සතියේ ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද ලේඛන මිලියන ගණනක් අතරට ඇතුළත් වූ බොහෝ ලේඛන, ඊමේල් සහ ඡායාරූප, එප්ස්ටීන්ට අයත් විශාල ජාලයක් පිළිබඳව අනාවරණ කර ඇත. එම ජාලය තුළ ප්‍රසිද්ධ පුද්ගලයන්, ප්‍රකට ව්‍යාපාරිකයින් සහ ලෝක නායකයන් ද ඇතුළත් වූ අතර, 2008 වසරේදී 14 හැවිරිදි ගැහැණු දරුවෙකුගෙන් ලිංගික සේවය ඉල්ලා සිටීමේ චෝදනාවට වරදකරු වීමෙන් පසුවද ඇතැම් සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන ගොස් තිබූ බව පෙන්වා දෙයි.

2019 වසරේදී, ලිංගික ජාවාරම් නඩුවකට මුහුණ දීමට සිටියදී ජෙෆ්රි එප්ස්ටීන් නිව්යෝර්ක් නගරයේ පිහිටි සිරමැදිරියකදී මිය ගියේය.