හෙදියක් සිය හිටපු පෙම්වතාගේ බිරිඳට HIV ආසාදිත රුධිරය එන්නත් කරයි

    • Author, බීබීසී තෙලිඟු
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ආදර සබඳතාවලදී සිදුවන අසාර්ථක වීම් මිනිසුන්ට විවිධ අයුරින් බලපෑම් එල්ල කරයි. ඇතැමුන් ඊර්ෂ්‍යා කිරීමට පෙළඹෙන අතර තමන්ට පමණක් නොව අන් අයට ද හානිකර ආකාරයෙන් ක්‍රියා කළ හැකි ය.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ද එවැනි ම සිදුවීමක් වාර්තා වූ අතර, එහිදී ප්‍රේම සම්බන්ධතාව බිඳ වැටීමෙන් පසු කාන්තාවක් පළිගැනීමේ උත්සහයක නිරත වී තිබේ.

ඇයට ප්‍රේම කළ පුද්ගලයා වෙනත් කාන්තාවක සමග විවාහ වී තිබිණි. මේ හේතුවෙන් ඔහුගෙන් පළිගැනීම සඳහා එම කාන්තාව රහසිගතව එම පුද්ගලයාගේ බිරිඳට HIV ආසාදිත රුධිරය එන්නත් කර තිබිණි.

වින්දිත කාන්තාවගේ සැමියාගේ විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව, එම සිද්ධිය ජනවාරි 9 වන දින සිදුවූ බවට තහවුරු වී ඇත.

කුර්නූල් දිස්ත්‍රික්කයේ රජයේ රෝහලක සේවය කරන මෙම වෛද්‍යවරිය රැකියාවෙන් පසු තම ස්කූටරයෙන් නිවසට යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබිණි.

සැකකරුවන් අල්ලයි

"කැනල් පාරේ මෙම කාන්තාව එයාගේ ස්කූටරය පදවාගෙන යද්දී යතුරු පැදියක ගැටීමෙන් ඇය බිම වැටිලා තියෙනවා," කුර්නූල් නියෝජ්‍ය පොලිස් අධිකාරී බාබු ප්‍රසාද් බීබීසීයට පැවසුවේ ය.

"අනතුරට ලක්වුණ දෙදෙනාට සුළු තුවාල සිදුවෙලා තිබුණා. එතන හිටිය කාන්තාවන් දෙන්නෙක් ඇය රෝහලට අරගෙන යනවා කියලා රික්ෂෝවකට දමාගෙන තියෙනවා. වින්දිතයාගේ සැමියා කියන විදිහට, ඔහුගේ බිරිඳට යමක් එන්නත් කරලා තියෙනවා කියලා වැටහිලා තියෙන්නේ ඒ අවස්ථාවේදී යි."

"චූදිතයන්ගෙන් එක් අයෙක් හෙදියක්, ඇය ආදරය කළ පුද්ගලයා වෙනත් කෙනෙකු සමග විවාහ වීම ගැන ඇය කෝපයට පත් වෙලා තියෙනවා. මේ විදිහට එන්නත ලබා දීමට සැලසුම් කළේ මෙම හෙදිය යි," නියෝජ්‍ය පොලිස් අධිකාරී බාබු ප්‍රසාද් පැවසීය.

"ප්‍රධාන විත්තිකාරිය තවත් හෙදියකගේ සහය ඇතිව රජයේ රෝහලක ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් HIV ආසාදිත රුධිරය එකතු කර තිබෙනවා," පොලිසිය පැවසීය.

"ඇය ඇගේ මිතුරියගේ සහ ඇගේ දරුවන් දෙදෙනාගේ සහය ඇතිව එන්නත් කරලා පැනලා ගිහින්, නමුත් පොලිසිය පරීක්ෂණයකින් පසු ඔවුන් හතර දෙනා ම අත්අඩංගුවට ගත්තා."

"ඔවුන්ගේ සැබෑ අරමුණ, එන්නතෙහි ඇති වෛරස් වර්ගය සහ වෙනත් පුද්ගලයින් මේකට සම්බන්ධ වෙලා ද කියලා අපි විමර්ශනය කරනවා. ඔවුන්ට එරෙහිව චෝදනා පත්‍රයක් ද ගොනු කරනවා."

වෙන්වීමෙන් පසු එන්නත් කිරීමේ සැලැසුම

පොලිසිය පවසන්නේ, කාන්තාව තම හිටපු පෙම්වතා කෙරෙහි ඇති වූ කෝපය නිසා මෙසේ ක්‍රියා කළ බව ය.

"ඉගෙන ගන්නා අතරවාරයේදී ප්‍රධාන විත්තිකාරිය පන්තියේ තමන්ගේ මිතුරෙකු සමග ආදර සබඳතාවක් පටන්ගෙන තිබෙනවා. පස්සේ දෙදෙනාගේ ආදර සබඳතාව අවසන් වුණාට පස්සේ පිරිමි පුද්ගලයා විවාහ වෙලා තියෙනවා. ඒත් හෙදියක් වූ කාන්තාව විවාහ නොවී තනිකඩව සිටියා."

"චූදිත කාන්තාව තම පෙම්වතාගේ බිරිඳ ගැන ඊර්ෂ්‍යාවෙන් ඉඳලා තියෙන්නේ. පස්සේ ඇය රෝහලේ තියෙන සම්බන්ධකම් හරහා HIV වෛරසය එකතු කරලා එන්නත් කරලා තියෙන්නේ."

පොලිසියට අනුව, විත්තිකාරිය ඇගේ මිතුරියගෙන් සහ දරුවන්ගෙන් මේකට උදව් ලබාගෙන තියෙනවා. ඔවුන් ඒ සැලැස්මට උදව් කරනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා.

සැකකරුවන් අල්ලා ගත්තේ කෙසේද?

"අපි සීසීටීවී කැමරාවලින් දර්ශන ලබා ගත්තා. තාක්ෂණික සාක්ෂි මෙම සිද්ධියේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළා," කුර්නූල් නියෝජ්‍ය පොලිස් අධිකාරී බාබු ප්‍රසාද් පවසයි.

"චූදිත කාන්තාව මෙය සැලසුම් කළේ ඇගේ මිතුරිය සහ අදෝනි නගරයේ ජීවත් වූ ඇගේ දරුවන් හරහා" බව කුර්නූල් පොලිස් නිලධාරිනී ශෙෂායා බීබීසීයට පැවසීය.

"වින්දිත කාන්තාව ඇයට එන්නත ලබා දී ඇති බවට සැක කිරීමෙන් පසු ඇගේ දුරකතනයෙන් විත්තිකාරියගේ ඡායාරූප අරගෙන තිබුණා. එම ඡායාරූප, ඔවුන්ගේ ඇඳුම් සහ සීසීටීවී දර්ශන උපයෝගී කර ගනිමින් පොලිසිය යතුරු පැදිය සොයාගෙන එය විත්තිකරුගේ නමට ලියාපදිංචි කර ඇති බව තහවුරු කර ගත්තා. දිගින් දිගට ම ප්‍රශ්න කළත් ඔවුන් ඒ අපරාධය සිදුකළා කියලා පාපොච්චාරණය කළේ නැහැ," පොලිස් නිලධාරිනී සේෂයා පැවසුවා ය.

"පසුව පොලිසිය විත්තිකාරියගේ ඇමතුම් වාර්තා පරීක්ෂා කරලා ඇය කතා කළ පුද්ගලයින් 17 දෙනාගෙන් 15 දෙනෙකු සම්බන්ධ කර ගත්තා. එක් පුද්ගලයෙක් බොරු කිව්වා, දෙන්නෙක් ප්‍රතිචාර දැක්වූයේ නැහැ. පසුව ඔවුන්ගෙන් ප්‍රශ්න කර අත්අඩංගුවට ගත්තා."

"ඉතිරි විත්තිකරුවන් අත්අඩංගුවට අරගෙන ප්‍රධාන විත්තිකරු ඉදිරියට ගෙන ආව ම, ඇය ඒ අපරාධය කෙරුවා කියලා පාපොච්චාරණය කළා."

HIV ආසාදිත රුධිර සාම්පල් ලබා ගත්තේ කෙසේ ද?

කුර්නූල් රජයේ රෝහලේ අධිකාරී වෙන්කේෂ් වර්ලු බීබීසීයට පැවසුවේ, විත්තිකාරිය රෝහලේ සේවය කරන තවත් හෙදියකගේ සහය ඇතිව HIV ආසාදිත රුධිර සාම්පල එකතු කර ඇති බව ය.

"ඔවුන් දෙදෙනා මීට පෙර පුහුණුවකදී මුණගැසී තිබෙනවා. හෙදිය රාත්‍රී සේවා මුරය අතරතුර විත්තිකාරියට HIV සාම්පලයක් ලබා දී තිබෙනවා. අපි ඇයට දැනුම් දීමක් සිදු කර යවා තිබෙනවා. වින්දිත තැනැත්තියත් අපේ රෝහලේ ම සේවය කරන කෙනෙක්."

පොලිස් නිලධාරි සශායා පැවසුවේ, වෙනත් හෙදියක් විත්තිකාරියට HIV අඩංගු රුධිර සාම්පලයක් ලබා දුන්නේ කුමන පදනමක් මත ද යන්න විමර්ශනයෙන් පසුව තීරණය වන බවත්, ඒ හේතුව මත ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බවත් ය.

රජයේ රෝහල් හෙදියක් HIV ආසාදිත රුධිර සාම්පල ලබා දුන්නේ මන්දැයි එම විමර්ශනයෙන් තීරණය වනු ඇතැයි ඔහු පැවසීය.

වින්දිත කාන්තාවගේ සැමියා සම්බන්ධ කර ගැනීමට බීබීසී පුවත් සේවය අවස්ථා කිහිපයකදී උත්සහ කළ නමුත් ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැත. ප්‍රධාන විත්තිකාරියගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සහයන් ද අසාර්ථක විය.