වයඹදිග චීනයේ භූ කම්පනයකින් 120කට වැඩි පිරිසක් මරුට

Rescuers conducting a search in Kangdiao village in Jishishan county

ඡායාරූප මූලාශ්‍රය, CHINA DAILY/REUTERS

ඡායාරූප ශීර්ෂ වැකිය, ගලවා ගැනීමේ භටයින් ජිෂිෂාන් කෝරළයේ කංඩියාඕ ගම්මානයේ සෝදිසි මෙහෙයුමක් පවත්වමින්

සඳුදා (දෙසැ 18) රාත්‍රියේ දී වයඹදිග චීනයේ සිදුවූ භූ කම්පනයකින් අවම වශයෙන් පුද්ගලයින් 127 දෙනෙකු මියගොස්, තවත් 700 දෙනෙකු තුවාල ලබා ඇතැ යි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ඒකක 6.2ක මේ භූ කම්පනය සඳුදා මධ්‍යම රාත්‍රියට ආසන්නව (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 09:30ට පමණ) ගන්සු පළාතේ දී හටගත් අතර, අසල්වැසි කිංග්හායි පළාතට ද එහි බලපෑම් දැනී ඇතැ යි චීන බලධාරීහු පවසති.

උස් උන්නතාංශයක පිහිටා ඇති මෙම ප්‍රදේශයන්හි ජනතාවට උපකාර කිරීම සඳහා දහස් ගණනක් ගලවා ගැනීමේ සේවකයෝ දැඩි සීතල නොතකා කටයුතු කරමින් සිටිති.

ඉන් පැය කීපයකට පසු අඟහරුවාදා (දෙසැ 19) අසල්වැසි ෂිංජියෑන් ප්‍රදේශයෙහි දෙවැනි භූ කම්පනයක් සිදුවිය.

ඒකක 5.5ක කම්පනයෙන් සිදුවූ හානිය කොතරම්දැ යි එකෙනෙහි පැහැදිලි නොවීය.

චීනයේ දරිද්‍රතම කලාපයක් වන ගන්සු වෙත ගලවා ගැනීමේ පූර්ණ ප්‍රයත්නයන් යොමු කරන්නැ යි චීන ජනපති ෂී ජින්පිං නියෝගකර තිබේ. ජිෂිෂාන් කෝරළය ඉන් වැඩිම හානියට පත් ප්‍රදේශයබව පෙනෙයි.

ටිබෙට් හා ලොඑස් සානුවලට මැදිව පිහිටි ගන්සු, මොංගෝලියාවට මායිම්ව පිහිටා තිබේ. සඳුදා රාත්‍රියේ භූ කම්පනය චීනයේ මුස්ලිම් හුයි ජනයා සඳහා වන පරිපාලන කලාපයක් වන ලිංෂියා හුයි ස්වයංපාලන ප්‍රාන්තයට බලපෑවේ ය.

භූ කම්පනය රික්ටර් පරිමාණයෙන් 6.2ක්බව චීන බලධාරීන් පැවසූ අතර, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) විසින් කි.මී. 10ක ගැඹුරින් සිදුවූ ඒකක 5.9ක භූ කම්පනයක් වාර්තා කළේ ය. පසුකම්පන 10ක් පමණ සිදුව ඇතැ යි ප්‍රාදේශීය බලධාරීන් වාර්තා කරයි.

භූ කම්පනය හා සබැඳි දර්ශනවලින් රෝහල්වලට රෝගීන් ඇතුළත්කර ගන්නා ආකාරයත්, ගලවා ගැනීමේ සේවකයින් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සෝදිසි කරන ආකාරයත් දැක්වෙයි. සිවිලිම අර්ධ වශයෙන් කඩා වැටී ඇති කාමරවල සුන්බුන් ද දක්නට ලැබුණි.

Rescuers in orange outfits climb through damaged buildings in Kangdiao village in Jishishan county

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ප්‍රාදේශීය හදිසි සේවකයින්ට සහායවීම සඳහා රජය විසින් ගලවාගැනීමේ භට කණ්ඩායම් එහි පිටත්කර ඇත.

"සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සියලු ප්‍රයත්නයන් දරන්න ඕන, තුවාල ලැබූවන්ට කාලෝචිත විදියට ප්‍රතිකාර කරන්න ඕන, ඒ වගේම මරණ සංඛ්‍යාව අඩුකර ගන්න ඕන," ජනපති ෂී මාධ්‍ය ප්‍රකාශයක් මඟින් පැවසීය.

අඟහරුවාදා (දෙසැ 19) ගන්සුහි ජිෂිෂාන් කෝරළයේ බලධාරීන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්, ගන්සුහි පුද්ගලයින් 105ක් මියගොස් තවත් 96ක් තුවාල ලබා ඇතැයි පැවසීය. කිංග්හායිහි තවත් 11 දෙනෙකු මියගොස් 124 දෙනෙකු තුවාල ලබා ඇතැ යි රාජ්‍ය මාධ්‍ය ආයතනය වන ෂින්හුවා වාර්තා කළේ ය.

සිද්ධිය වූ ස්ථානයට නොපැමිණෙන ලෙසත්, නිල ගලවාගැනීමේ කණ්ඩායම් සඳහා මාර්ග හිස්ව තබන ලෙසත් ප්‍රාදේශීය බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

ඇතැම් ගලවාගැනීමේ ප්‍රයත්නයන්ට ද බාධා එල්ල කරමින්, ප්‍රදේශයේ විදුලිය හා ජල සැපයුම ද ඇණහිට තිබේ.

චීනය පිහිටා තිබෙන්නේ භූ තැටි ගණනාවක් - විශේෂයෙන්ම යුරේසියානු, ඉන්දියානු, සහ ශාන්තිකර භූ තැටි - එකට හමුවන ස්ථානයක ය. මෙනිසා එරට භූ කම්පනවලට විශේෂයෙන්ම ගොදුරුවෙයි.

පසුගිය සැප්තැම්බරයේ දී, නිරිතදිග සිචුවාන් පළාතේ සිදුවූ ඒකක 6.6ක භූ කම්පනයකින් පුද්ගලයෝ 60කට වැඩි පිරිසක් මියගියහ.

පුද්ගලයින් 200,000කට වැඩි පිරිසක් මරා දමමින් 1920 දී ගන්සුහි සිදුවූ භූ කම්පනය 20 වන සියවසේ සිදුවූ ලොව මාරාන්තිකම භූ කම්පනයක් ලෙස වාර්තා වෙයි.