'මම දින 5000 කට වැඩි කාලයක් සිරගතවෙලා හිටියා. අවුරුදු 14 කට පස්සේ හෝ මට නිදහස ලැබීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා'

නඩු විභාගය වෙනුවෙන් දේශපාලන සිරකරුවන් අධිකරණයට කැඳවාගෙන එන අයුරු

දින 5000 කට ආසන්න කාලයක් බන්ධනාගාරගත කොට සිටි දේශපාලන සිරකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා ඊයේ (03) නියෝග කළේය.ඒ විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ප්‍රකාශ කරමිනි.

එලෙස නිදහස් කරන ලද්දේ යාපනය වේලනෙයි ප්‍රදේශයේ ස්ථිර පදිංචි වයස අවුරුදු 45 ක් වු ආර්.තිරුවරුල්,යාපනය,කරවෙඩ්ඩි ස්ථිර පදිංචි වයස අවුරුදු 34 ක් වු එම්.සුලක්ෂන් හා මුලතිව් මුල්ලියාවලෙයි ස්ථිර පදිංචි වයස අවුරුදු 33 ක් කේ.දර්ශන් යන අයයි.

2009 වර්ෂයේ මැයි මාසයේදී අදාළ පුද්ගලයින් තිදෙනා එල්.ටී.ටී සංවිධානයේ සාමාජිකයින් යැයි සැකපිට ආරක්ෂක අංශ විසින් එවකට මුලතිව් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණ.

එලෙස අත්අඩංගුවට ගත් පිරිස වවුනියාව බන්ධනාගාරගතව සිටියදී තමන්ට නිදහස ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් උපවාසයකද නිරතවු අතර, අනතුරුව ඔවුන් තිදෙනා හා තවත් දේශපාලන සිරකරුවන් පිරිසක් අනුරාධපුර බන්ධනාගාරය වෙත මාරුකොට යැවීය.

දේශපාලන සිරකරුවන් නිදහස ලැබීමෙන් පසු නීතිඥ ඇන්ටන් පුලිදනායගම් සමඟ අධිකරණ භූමියෙන් පිටතට පැමිණෙන අයුරු
ඡායාරූප ශීර්ෂ වැකිය, දේශපාලන සිරකරුවන් නිදහස ලැබීමෙන් පසු නීතිඥ ඇන්ටන් පුලිදනායගම් සමඟ අධිකරණ භූමියෙන් පිටතට පැමිණෙන අයුරු

"ප්‍රමාණවත් පරිදි සාක්ෂි නොමැතිව බන්ධනාගාරගත කොට සිටින දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් වන නඩු විභාග කඩිනමින් කැදවා නිවැරදි තීන්දු ලබාදෙන්න ඕනේ. එහෙම නැතුව නිවැරදි මිනිසුන් දේශපාලන සිරකරුවන් ලෙසට බන්ධනාගාරගත කර අවුරුදු 14 ක් විතර සිරගත කොට සිටීම මහත් ඛේදවාචකයක්" විත්තිකරුවන් වෙනුවෙන් 2013 වසරේ සිට පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ඇන්ටන් පුලිදනායගම් කියා සිටියේය.

තිරුවරුල් තම පවුලේ සාමාජිකයින් සමග
ඡායාරූප ශීර්ෂ වැකිය, තිරුවරුල් තම පවුලේ සාමාජිකයින් සමග

"මම දින 5000 කට වැඩි කාලයක් සිරගතවෙලා හිටියා. අවුරුදු 14 කට පස්සේ හෝ මට නිදහස ලැබීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා.මම වාගේම යුද්ධයේ අවසන් දිනවල අත්අඩංගුවට ගත් බොහෝ පිරිසක් තවමත් නිරපරාදේ බන්ධනාගාරගතව ඉන්නවා.ඒ අයටත් නිදහස ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.මගේ පවුලේ අය එක්ක ජිවිතයේ ඉදිරි කාලය සතුටින් ගත කරන්න තමයි දැන් මට ඕනේ.ඉස්සරලාම ගෙදර ගිහිල්ලා නිදහසේ නිදාගන්න ඕනේ කියලා තමයි මට හිතෙන්නේ" වසර 14 කට පසුව නිදහස ලැබු එම්.සුලක්ෂන් පැවසීය.

නිදහස ලැබූවන් නිවෙස් කරා යන අයුරු
ඡායාරූප ශීර්ෂ වැකිය, නිදහස ලැබූවන් නිවෙස් කරා යන අයුරු

නිදහස ලැබු තිරුවරුල්ගේ බිරිඳ පැවසුවේ "මගේ මහත්තයාට නිදහස ලැබීම මට ලොකුම සතුටක්.මගේ මහත්තයා නිවැරදිකරුවෙකු වීම තමයි ලොකුම සතුට.මට දැන් මගේ පවුල එක්ක සතුටින් ඉන්න පුළුවන්.අපි ඉල්ලන්නේ දේශපාලන සිරකරුවෝ ලෙසට අත්අඩංගුවට ගෙන ඉන්න සියළුදෙනාට නිදහස ලැබිය යුතුයි කියලා."