නව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් 2023 මාර්තු 17 වැනිදා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කරන ලද 'ත්‍රස්ත විරෝධී' පනත් කෙටුම්පත මේ වන විට පාර්ශව රැසක බරපතල දෝෂදර්ශනයට ලක්ව තිබේ.
පසුගිය සති අන්තයේ මහනුවර සංචාරයක නිරතවූ අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරන ලද්දේ මෙම පනත් කෙටුම්පත මෙම මාස (අප්‍රේල්) ඇතුළත පාර්ලිමේන්තුවේදී නීතියක් ලෙස සම්මත කරගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරන බවය.
කෙටුම්පතට එරෙහිව විවේචන..
යෝජිත නීතිය විවේචනයට ලක්කරන්නන් පෙන්වාදෙන්නේ, යම් හෙයකින් අදාළ කෙටුම්පත රටේ නීතියක් බවට පත්වුවහොත්, එය රටේ මානව හිමිකම් රකින්නන්ට, වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට, සුළු ජාතිකයන්ට සහ ජනමාධ්‍යවේදීන්ට පවා ඉතා බරපතළ තර්ජනයක් එල්ල කරනු ඇති බවය.
අදාළ පනත් කෙටුම්පතේ ආරම්භයේ සඳහන් කර ඇත්තේ '1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ(තාවකාලික විධිවිධාන) පනත ඉවත් කිරීම සඳහා මෙම නව කෙටුම්පත සම්පාදනය කර ඇති බවයි.
එහෙත් විවේචකයක් සඳහන් කරන්නේ, යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී එම පනත සාධාරණීකරණය කිරීමට 'පත්‍රිකාවක්' අවශ්‍ය වන නමුත්, අවම තරමින් මෙහිදී එවැනි පත්‍රිකාවක් පවා ඉදිරිපත්කර නොමැති බවයි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
මෙම ත්‍රස්ත විරෝධී පනත ගෙනැවිත් ඇත්තේ රට තුළ ක්‍රියාත්මක සාමාන්‍ය අපරාධ නීතිය යටතේ දඬුවම් කළ හැකි වැරදි වෙනුවෙනැයි ආණ්ඩුව සඳහන් කරන නමුත්, කෙටුම්පතේ අන්තර්ගත දැඩි දඬුවම් පැනවීමේ බලතල සහ දැඩි ලෙස ජනතාවගේ අයිතීන් සීමා කිරීමට ඇති හැකියාව සැළකිල්ලට ගැනීමේදී, මෙය පැහැදිලිවම ආණ්ඩුවට එරෙහිවන ජන විරෝධයන් මර්දනය කිරීම සඳහා නිර්මාණය කරන ලද්දක් ලෙස පෙනෙන බවද විවේචක පාර්ශව පෙන්වාදෙයි. ඇත්තෙන්ම යෝජිත 'ත්‍රස්ත විරෝධී' පනත මෙලෙස විවේචනයට ලක්වන තරමටම, එය රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මූළික අයිතීන් සීමා කරවන්නක්ද? එය අවබෝධ කරගත හැක්කේ පනත් කෙටුම්පතේ අන්තර්ගතය සම්බන්ධයෙන් විමසා බැලීමේදීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ත්‍රස්තවාදී වැරදි මොනවාද?
මෙම පනත් කෙටුම්පත ඔස්සේ ‘ත්‍රස්තවාදී වරදක්’ යන්නට ඉතා පුළුල් අර්ථකථනයක් ලබාදී ඇත. එනම් ඊට නිශ්චිත අර්ථනිරුපණයක් ලබාදී නැත. මීට එල්ලවන ප්‍රධානම චෝදනාවක් වන්නේ, යම් පනතකින් ජනතාවගේ අයිතිවාසිකම් සීමා කෙරෙන විට, එම පනතේ වැරදි පැහැදිලි කිරීම් නිශ්චිත ස්වරූපයක් පැහැදිලිවම පැවතිය යුතු නමුත්, මෙහිදී එවැනි 'නිශ්චිතභාවයක්' නොමැති බවයි. මෙම නව කෙටුම්පතේ ත්‍රස්තවාදී වැරදි යනුවෙන් නම්කර ඇති කරුණු විමර්ශනය කිරීමෙන් එම පුළුල් අර්ථනිරුපණය පිළිබඳ අදහසක් ලබාගත හැකිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙටුම්පතේ 'ත්‍රස්තවාදය පිළිබඳ වැරදි' සඳහන් කර ඇත්තේ 3(2) වගන්තියේය. ඒ අනුව, ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුන්වන වැරදි වර්ග 13ක් හඳුන්වාදී ඇත. ඒවා නම්;
- මිනීමැරීම
- බරපතල තුවාල සිදුකිරීම
- ප්‍රාණ ඇපයට ගැනීම
- පැහැර ගැනීම හෝ අපහරණය කිරීම
- යම් මහජන භාවිත ස්ථානයකට, රාජ්‍ය හෝ ආණ්ඩුවේ පහසුකමකට, යම් පොදු හෝ පෞද්ගලික ප්‍රවාහන පද්ධතියකට හෝ යම් යටිතල පහසුකමකට හෝ පරිසරයට බරපතල අලාභ හානි සිදු කිරීම.
- යම් අත්‍යවශ්‍ය සේවාවකට හෝ සැපයීම්වලට හෝ යම් අත්‍යවශ්‍ය සේවා හෝ සැපයීම් සමඟ සම්බන්ධ යම් තීරණාත්මක යටිතල පහසුකමකට හෝ ප්‍රවාහන පහසුකමකට බරපතල බාධා ඇති කිරීම හෝ අලාභ හානි කිරීම හෝ ඒ සඳහා මැදිහත්වීම.
- රාජ්‍ය හෝ පෞද්ගලික දේපළ සම්බන්ධයෙන් කොල්ලකෑමේ, ත්‍රාසද්ග්‍රහණය කිරීමේ හෝ සොරකම් කිරීමේ වරද සිදු කිරීම.
- මහජනතාවගේ හෝ එහි යම් කොටසක සෞඛ්‍යය සහ ආරක්ෂාවට බරපතල අවදානමක් ඇති කිරීම.
- ශ්‍රී ලංකාවට පවරා දී ඇති යම් ඉලෙක්ට්‍රොනික හෝ ස්වයංක්‍රීය පරිගණක පද්ධතියකට හෝ ජාලයකට හෝ සයිබර් අවකාශයකට හෝ එවැනි බලවර්තනයකට හෝ එවැනි බලවර්තනයක ලියාපදිංචි වී සිටින වෙබ්අඩවිවලට බරපතල බාධා ඇති කිරීම හෝ අලාභ හානි සිදු කිරීම හෝ එවැන්තකට මැදිහත්වීම.
- යම් ආගමික හෝ සංස්කෘතික දේපළක් විනාශ කිරීම හෝ එවැනි දේපළකට බරපතල අලාභහානි සිදුකිරීම.
- සංඥා සම්ප්‍රේෂණයක් සහ වෙනත් යම් සංඛ්‍යාත පදනම් වූ සම්ප්‍රේෂණ පද්ධතියක් ඇතුළුව යම් ඉලෙක්ට්‍රොනික, ඇනලොග්, ඩිජිටල් හෝ වෙනත් රැහැන් සහිත හෝ රැහැන් රහිත සම්ප්‍රේෂණ පද්ධතියකට බරපතල බාධා ඇති කිරීම හෝ අලාභහානි සිදු කිරීම හෝ ඒ සඳහා මැදිහත් වීම.
- (අ) ඡේදයේ සිට (ඔ) ඡේදය දක්වා වන ඡේදවල දක්වා ඇති යම් ක්‍රියාවක් හෝ නීතිවිරෝධී නොකර හැරීමක් සිදුකිරීම සඳහා වන අයුතු ජන රාශියක සාමාජිකයකු වීම; හෝ
- නීත්‍යනුකූල අධිකාරයක් නොමැතිව, තුවක්කු, පීඩාකාරී ආයුධ, වෙඩි බෙහෙත්, පුපුරණ ද්‍රව්‍ය හෝ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන හෝ භාවිත කිරීමට අරමුණු කරන යම් ද්‍රව්‍යයක් හෝ දෙයක් හෝ ගිනිගන්නා ද්‍රව්‍ය හෝ මළ බැඳෙන ද්‍රව්‍ය හෝ යම් ජීව විද්‍යාත්මක, රසායනික, විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික හෝ න්‍යෂ්ටික අවියක්, වෙනත් න්‍යෂ්ටික පුපුරණ උපකරණයක්, න්‍යෂ්ටික ද්‍රව්‍යයක් හෝ විකිරණශීලී ද්‍රව්‍යයක් හෝ විකිරණ විමෝචන උපකරණයක් ආනයනය කිරීම, අපනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, රැස් කිරීම, ලබා ගැනීම, සැපයීම, වෙළඳාම් කිරීම, සන්තකයේ තබා ගැනීම හෝ භාවිත කිරීම.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මොකද්ද මේ 10 වැනි වගන්තිය...
මෙම පනත් කෙටුම්පතේ වඩාත් අවධානයට සහ විවේචනයට ලක්ව ඇති ප්‍රතිපාදනයක් වන්නේ 10 වැනි වගන්තියයි. එහි දැක්වෙන්නේ ත්‍රස්තවාදය දිරිගැන්වීම සඳහා;
01. මුද්‍රිත මාධ්‍ය
02. අන්තර්ජාලය
03. ඉලෙක්ට්‍රොනික මාධ්‍ය
04. වෙනත් ආකාරයක ප්‍රසිද්ධ දැන්වීමක්
යන මාධ්‍ය භාවිත කරමින් "ජනතාවගෙන් ඇතැමෙක් විසින් හෝ සියලුම ජනතාව විසින් ත්‍රස්තවාදය පිළිබඳ වරද සිදු කිරීමට, ඒ සඳහා සූදානම් වීමට හෝ පෙළඹවීමට ඔවුන් සෘජුව හෝ වක්‍රව දිරිගන්වන්නක් හෝ පොළඹවන්නක් ලෙස තේරුම් ගැනීමට ඉඩ ඇති යම් ප්‍රකාශයක් පළ කරන්නා වූ හෝ පළ කිරීමට කටයුතු සලස්වන්නා වූ හෝ එවැනි වචනයක් හෝ වචන කතා කරන්නා වූ හෝ සංඥා හෝ දෘශ්‍ය නිරූපණය සිදු කරන්නා වූ" තැනැත්තකු ත්‍රස්තවාදී වරදක් සිදුකරන්නකු බවය.
විවේචකයන් පෙන්වාදෙන්නේ, මෙම වගන්තිය ඔස්සේ ඕනෑම ප්‍රසිද්ධ ජනමාධ්‍යයකින්, දැන්වීමකින් හෝ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය වේදිකාවකින් යමෙකු ප්‍රකාශ කරන කාරණයක් 'ත්‍රස්තවාදය දිරිගැන්වීමක්' ලෙස සළකා දඬුවමට යටත් කළ හැකි බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පනත් කෙටුම්පතේ 16වැනි වගන්තියද දැඩිව විවේචනයට ලක්ව තිබෙන්නකි. මෙම වගන්තිය ප්‍රකාරව යම් ප්‍රදේශයකට ඇතුළත් වීම, යම් මාර්ගයක ගමන් කිරීම තහනම් කිරීම පවා තහනම් කිරීමට පොලිස් නිලධාරියකුට හැකියාව පවතින අතර, එම නියෝග නොපිළිපදින්නේ නම් ත්‍රස්වාදියෙක් ලෙස අත්අඩංගුවට ගැනීමට හැකියාව පවතින බව විවේචකයෝ පෙන්වාදෙති. කෙටුම්පතේ අදාළ ප්‍රතිපාදන සඳහන් කර ඇත්තේ මේ ආකාරයෙනි.
- මේ පනත ප්‍රකාර කරන ලද නීත්‍යනුකූල විධානයක් හෝ නියෝගයක් කඩ කරන හෝ උල්ලංඝණය කරමින් ක්‍රියා කරන; හෝ
- මේ පනත ප්‍රකාරව කරන ලද විධානයකට අනුකූලව ක්‍රියාකිරීම සිතාමතාම පැහැර හරින හෝ නොසලකා හරින;
- මේ පනත යටතේ විමර්ශනයක් සිදු කරන පොලිස් නිලධරයකුට තොරතුරු ලබා දීම පැහැර හරින හෝ එවැනි නිලධරයකු අසන ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අසත්‍ය හෝ නොමඟ යවන සුලු තොරතුරු ලබා දෙන...." තැනැත්තකු වසර දෙකක කාලයක් සඳහා බන්ධනාගාරගත කළ හැකිය යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එසේම පනත් කෙටුම්පතේ 71වැනි වගන්තිය මගින්, අත්අඩංගුවට ගත් පුද්ගලයකුට පාපොච්චාරණයක් ලබාදීමට අවස්ථාවක් සකස් කරදී, සමාව ලබාදීමට නීතිපතිවරයාට ලබාදී ඇති බලයද විවේචනයට ලක්වී තිබේ.
ඊට අමතරව වඩාත්ම විවේචනයට ලක්ව ඇති ප්‍රතිපාදනයක් වන්නේ, 83වැනි වගන්තියේ දක්වා ඇති මහාධිකරණය හමුවට ගොස් පුද්ගලයන්ට විරුද්ධව නියෝග ලබාගැනීමට ජනාධිපතිවරයාට ලබාදෙන බලයයි. ඒ අනුව යම් පුද්ගලයකු ත්‍රස්තවාදයට සම්බන්ධ වරදක් සිදුකර ඇති බවට චෝදනා ලැබුවහොත්, අධිකරණයෙන් අවසර ලබාගෙන, ජනාධිපතිවරයාට අදාළ පුද්ගලයා සම්බන්ධයෙන්පහත දැක්වෙන සීමාවන් පැනවීමේ හැකියාව මෙම පනත ඔස්සේ ලබාදී ඇත(දැනට පවතින නිතිය යටතේ එවැනි සීමාකිරීම් වෙනුවෙන් අවසර ලබාගත හැක්කේ පොලීසියට හෝ නීතිපතිවරයාට පමණකි).
- පදිංචි ස්ථානයෙන් බැහැරව එහා මෙහා යෑම සීමාකිරීම
- විදේශගත වීම සීමා කිරීම
- ශ්‍රී ලංකාව ඇතුළත ගමන් කිරීම සීමා කිරීම
- පදිංචි ස්ථානය සහ සේවයේ නියුක්ත ස්ථානය අතර සාමාන්‍ය ගමන් මාර්ගයෙන් බැහැරව ගමන් කිරීම සීමාකිරීම
- නියමයෙහි නිශ්චිතව දක්වනු ලබන තැනැත්තන් සමඟ සන්නිවේදනය කිරීම හෝ ආශ්‍රය කිරීම හෝ ඒ දෙකම සීමාකිරීම
- මේ පනත යටතේ වරදක් කිරීමට පහසුකම් සැලසෙන ආකාරයේ ඇතැම් නිශ්චිත ක්‍රියාකාරකම්වල නිරත වීම සීමා කිරීම
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
ඕනෑම 'සංවිධානයක්' තහනම් කිරීමේ බලය ජනපතිට...
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එසේම පනතේ 82වැනි වගන්තිය යටතේ ත්‍රස්තවාදී වරදක් සිදුකරන බවට චෝදනා එල්ලකෙරෙන ඕනෑම 'සංවිධානයක්' තහනම් කිරීමේ බලයද ජනාධිපතිවරයාට හිමිකරදෙනු ලබයි.
එහි පවතින විශේෂත්වය වන්නේ පොලිස්පතිවරයා ලබාදෙන නිර්දේශයක් මත පවා ජනාධිපතිවරයාට ඕනෑම චෝදනා ලබන ඕනෑම සංවිධානයක් තහනම් කිරීමට හැකියාව ලැබීමය.
පනත් කෙටුම්පතේ දඬුවම් යෝජනා කර ඇත්තේ මේ ආකාරයෙනි. එනම්, 'මරණය සිදුකිරීම' යන වරදට මරණ දඬුවම සාමාන්‍ය ආපරධ නීතිය යටතේ පවතින ආකාරයෙන් නියම කර ඇති අතර, පනතේ 3වන වගන්තියේ දක්වා ඇති අනෙකුත් වැරදි වෙනුවෙන් වසර 20ක් නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමකට සහ රුපියල් ලක්ෂ 10ක දඩයකට යටත් කිරීමේ හැකියාවද මහාධිකරණයට ලබාදී ඇත.
මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානමින් පසුවන අධිකරණ අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ පසුගිය සති අන්තයේ ජනමාධ්‍ය අමතමින් සඳහන් කරන ලද්දේ, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පසු, එහි ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වගන්ති ඇත්නම්, ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට සති දෙකක කාලයක් දීමට ආණ්ඩුව කටයුතු කරන බවයි.








