‘පාර හදලා තියෙන්නේ, බිල්ඩින් හදලා තියෙන්නේ. ඒක නෙමෙයි නිදහස කියන්නේ’

ඡායාරූප මූලාශ්‍රය, සෙල්ලයියා සතිෂ්කුමාර්
එවක යුද ගිනි දැල් දවසින් දවස උතුරකරයම වෙළාගනිමින් තිබුණ යුගයකි. අපේ කතාවේ කතා නායකයා ගිලන් රථ රියදුරෙකු ලෙස සේවය කරමින් සිටියේ කිලිනොච්චි රෝහලේ ය.
ජිවිතයත් මරණයත් අතර සටන් වදින කවර හෝ රෝගියකු බේරාගැනීමට වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් කොළඹට, නුවරට හෝ වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබන ඕනෑම රෝහලකට රෝගියා ගෙන යාමේ වගකීම සෙල්ලයියා සතිෂ්කුමාර්ගේ උර මත පැවරී තිබුණේ ය.
කිලිනොච්චි රෝහලෙන් නියම කරන ලද කටයුත්තකට කොළඹ යමින් සිටි ගිලන් රථ රියැදුරු සතිෂ්කුමාර්ට නොසිතූ දෙයකට මුහුණ දෙන්නට සිදුවිය. මඟ දී සතිෂ්කුමාර් වවුනියාවේ දී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එල්.ටී.ටී.ඊ සංවිධානයට සහාය දීමේ චෝදනා මත ය.
2008 දී වවුනියාවේ දී අත්අඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වා සිපිරිගෙයි සිර කරන සතීෂ්, දශක එකහමාරකට පමණ පසුව කොළඹ දී නැවතත් නිදහස් ලෝකයට පා තබන්නේ ඔහුට ලැබුණු ජනාධිපති සමාව නිසාවෙනි.
"යුද්ධය නිසා මාව ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට අරන් අවුරුදු පහළවකට පස්සේ තමයි මම නිදහස් වෙලා ආවේ. මට ඒ ගැන හුඟක් සන්තෝස යි. ඒත් තව 24 දෙනෙක් හිරගෙදර ඉන්නවා මම වගේ කට්ටිය. ඒගොල්ලොත් ඉක්මනට නිදහස් වුණොත් මට වඩාත් සන්තෝස වෙන්න පුළුවන්," කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් නිදහස ලබා කිලිනොච්චියේ දිවි ගෙවන සතිෂ්කුමාර් කියා සිටියේ ය.
සිරබත නියමව දිවි ගෙවමින් සිටි සතීෂ් 'ඉරුම්බුක් කදවුක්කුල්ලිරුන්දු' (යකඩ දොරක් තුළ හිඳ), 'විඩියලෛ තේඩුම් ඉරවුහල්' (අලුයම සොයන රාත්‍රීන්) සහ 'සිරෛයිල් ඉරුන්දු සිංගල සහෝදරනක්කු' (සිරගෙයි සිට සිංහල සහෝදරත්වයට) නමින් කවි පොත් තුනක් සහ 'වේප්ප මරමුම් පවලම් ආච්චියුම්' (කොහොඹ ගහ සහ පවලම් ආච්චි) නමින් කෙටි කතා පොතක් ලියා පළ කරන්නට සමත් විය.
"2011 හිතපු නැති විදියට වවුනියාව මහාධිකරණයෙන් ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණා. ඒ නිසා මම ගොඩක් මානසිකව වේදනා වින්දා. ඒ මානසික පීඩාවෙන් මිදෙන්න නම් හිරගෙදර දී මගේ මානසිකත්වය මම ම හදාගෙන ඕනේ කියන එක මම තේරුම්ගත්තා. මොකද සෑහෙන කාලයක් හිරේ ඉන්න ඕනේ කියලා මම දන්නවා. එක එක්කෙනා වෙන වෙන දේවල්වලට යොමු වෙද්දි මම හිතුවේ මගේ වටපිටේ ඉන්න අයගේ කතාව අහලා මොනව හරි ලියනවා කියලා. මුලින්ම මගේ දුවව දිරිමත් කරන්න හිතාගෙන මම එයා වෙනුවෙන් කවියක් ලියන්න පටන්ගත්තා ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ ලියලා පොත් හතරක් එළි දැක්වුවා."

ඡායාරූප මූලාශ්‍රය, සතිෂ්කුමාර්
හිරගෙදර සිට ලේඛනයට පිවිසි සතීෂ්ගේ කවි හා කෙටි කතාවට ලැබුණ සම්මාන සියල්ලම ලබාගෙන ඇත්තේ ඔහු ගේ මව විසිනි. සිරකරු දිනය වෙනුවෙන් විවිධ අවස්ථාවල දී ඔහු විසින් ලියන ලද කෙටිකතාවලට ද ජයග්‍රහණ ලැබී ඇතැ යි ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, සෙල්ලයියා සතිෂ්කුමාර්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සතීෂ් කුමාර් අත්අඩංගුවට ගන්නා විට අවුරුදු තුනක සිගිත්තියක වූ ඔහුගේ දියණිය දැන් අවුරුදු 18ක නව යොවුන් තරුණියක්. පිටුවහලේ ජීවත්වන ඇය උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන බව ඔහු සඳහන් කළේය.
සරණාගත දිවියක් ගෙවන ඇය සිය පියාට නිදහස ඉල්ලා මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන්ට ලිපි යවමින් දිගින් දිගටම ආයාචනා කර ඇත.
2009 මැයි 18 වෙනිදා එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමට රජයේ ආරක්ෂක හමුදාවන්ට හැකි විය. එකල සතීෂ්කුමාර් කොටි සංවිධානයට ආධාර අනුබල දුන් සැකකරුවකු ලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටියේ ය.
"මම ඒ කාලේ හිටියේ අනුරාධපුර රිමාන්ඩ් බන්ධනාගාරයේ. යුද්දේ යනවා ලයිව් ටෙලිකාස්ට් කරනවා රූපවාහිනියේ. බෝම්බ ගහනවා, මිනිස්සු දුවනවා. ඒ කාලේ කෑම කන්නෙත් නැතුව බොහෝම දුකෙන් හිටියේ. මම විතරක් නෙමෙයි, හිරගෙදර හිටපු කිලිනොච්චි, මුලතිව්වල අම්මලා, තාත්තලා පවුලවල අය ඉන්න හැමෝම එහෙමයි. අන්තිම විනාඩියේ හරි යුද්දේ නවතින්න ඕනේ කියලා අපි හිතාගෙන හිටියා. අපේ පවුල්වල අයට මොනවා වෙයිද කියලා හිතාගන්න බැරුව හිටියේ."
"අපේ හිර ගෙදරින් එළියේ හිටපු සිංහල සහෝදරයෝ වෙඩි ගහලා 'ප්‍රභාකරන් මැරුණා', 'උඹලාගේ බලය නැති වුණා' වගේ දේවල් කියලා කෑගැහුවා. සමහර අය සරම උස්සලා පෙන්නුවා. ඒ ගැන දුක යි.”
“ඊට පස්සේ දවසේ මට උසාවි තිබුනා. උසාවි යනකොට බස් එක නවත්තලා අපේ සිංහල සහෝදර කට්ටිය කිරිබත් දුන්නා, සන්තෝසෙන් යුද්දේ ඉවර වුණා කියලා කිරිබත් දුන්නා. එතකොට මට හිතුනේ කිරිබත් දුන්නේ මැරිච්ච මිනිස්සුන්ගේ හිත, ඒ අයගේ වේදනාව නොදැන ද කියලා. කොහොමත් අපි කවුරුත් කිරිබත් කෑවේ නෑ," හිරගෙදරත් ඉන් පිටතත් ඔහු දුටු යුද සැමරුම ගැන සතීෂ් විස්තර කළේ එසේ ය.

ඡායාරූප මූලාශ්‍රය, සෙල්ලයියා සතිෂ්කුමාර්
"මාව අත්අඩංගුවට ගත්තාට පස්සේ දේශපාලන සිරකරුවන් වශයෙන් මාව සහ අනෙකුත් අයව නිදහස් කරන්න කියලා අපේ පවුල් කිහිපයක අය රජයට ඉල්ලීමක් කළා. දිගටම උද්ඝෝෂණය කළා. එතකොට අපේ පවුලත් ඒකට සහභාගී වුණා. ආරක්ෂක අංශවලින් ඊට පස්සේ ප්‍රශ්නකිරීම් වගේ දේවල් දිගටම සිදුවෙන්න පටන් ගත්තා. මාව අත්අඩංගුවට ගත්තාට පස්සෙත් මගේ බිරිඳට කොළඹට එන්න කියලා ප්‍රශ්න කළා, අම්මවත් ප්‍රශ්න කළා. මගේ බිරිඳට ඉතාම අසාධාරණ විදියට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ආර්ථික ප්‍රශ්න යි, සමාජීය ප්‍රශ්නයි, දේශපාලන ප්‍රශ්නයි වටෙන් වටෙන් එනකොට මම තීරණය කළා මගේ අක්කර භාගයක ඉඩම විකුණලා එයාව රට යවනවා කියලා. ඊට පස්සේ එයා ගියා. එයා ගියාට පස්සේ එයාට රිෆියුජි හම්බවුණා. ඊට පස්සේ එයා දුවවත් එහාට ගත්තා."

ඡායාරූප මූලාශ්‍රය, Murugaiya Komakan
කිලිනොච්චි රෝහලේ ගිලන් රථ රියදුරෙකු වූ සෙල්ලයියා සතීෂ්කුමාර්ට කොටි සංවිධානයට ආධාර අනුබල දීමේ චෝදනා එල්ල වීම ගැන ගැන බීබීසී සිංහල සේවය ඔහුගෙන් විමසා සිටියේ ය.
"කිලිනොච්චි මහ රෝහල තිබුණේ රජයේ පාලනය යටතේ නෙමෙයි. එය සම්පූර්ණයෙන්ම තිබුනේ එල්ටීටීඊ බල ප්‍රදේශය ඇතුලේ. යුද්ධය එනකොට අපි සෑහෙන මහන්සියෙන් වැඩ කළා. අපේ පණ දෙයියොන්ට බාර දීලා තමයි අපි වැඩ කළේ," අතීතය සිහිපත් කරමින් ඔහු කියා සිටියේ ය.
"අපි යුද්ද කරපු කට්ටියට මැද ඉඳලා වැඩ කළේ. එල්ටීටීඊ එකේ අය චෙක් කරනවා. ඒක ඉවර වෙලා එද්දි හමුදාවේ අය චෙක් කරනවා. ඒ ඔක්කොම ඉවර වෙලා තමයි යාපනේ, කොළඹ යන්න ඕනේ. ගොඩක් ප්‍රශ්න ගොඩක් අමාරු සිටුවේෂන් එකක තමයි අපි වැඩ කළේ. රොෂාන් සහෝදරයා දන්නවා කිලිනොච්චි, මුලතිව් එල්ටීටීඊ සංවිධානය යටතේ තිබුණ කාලෙ දී එල්ටීටීඊ සංවිධානය කිව්වේ ඒක ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ගේ යුද්ධය කියලා. ඒකට සම්බන්ධ නැතිව කවුරුහරි ඉන්නවා නම් ඒක ලොකු විහිළුවක්. අඩුම ගානේ ඒගොල්ලන්ට කෑම හරි හදලා දීලා තමයි කට්ටිය හිටියේ."
"දැන් යුද්දේ ඉවර වුනා, යුද්දේ නිසා සිංහල සහෝදරයෝ ගොඩක් හමුදාවේ ඉඳලා මැරිලා තියෙනවා. එල්ටීටීඊ සංවිධානයේත් ගොඩක් තරුණ තරුණියෝ මැරුණා. අන්තිමට අපිට ලැබුණේ මොකක්ද? යුද්දේ නෑ දැන්. ඒත් අපේ රටේ ආර්ථිකය කඩා වැටිලා ඔක්කෝම අමාරුවේ වැටිලා ඉන්නේ. ඒ වගේ තමයි ඒ කාලේ සමහර දේවල්වලට සහභාගී වෙන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න බැරි තත්ත්වයක් තිබුණා කියලා මම වගකීමෙන් කියනවා."
කුඩා කාලයේ සිටම යුද්ධයට මැදිව දිවි ගෙවූ සතීෂ්, ඒ අත්දැකීම ලියුම්කරු උදාහරණයට ගනිමින් විස්තර කළේ ය.
"මම ඉපදිච්ච දවසේ ඉඳලා, පොඩි කාලයේ ඉඳලා, අත්අඩංගුවට ගන්නකම්ම සම්පූර්ණයෙන් හිටියේ එල්ටීටීඊ පාලන ප්‍රදේශයේ. එතකොට අපි රොෂාන් සහෝදරයා වගේ සපත්තු දාගෙන, තාත්තාගේ බයික් එකේ, කාර් එකේ ඉස්කෝලේ ගිහිල්ලා නෑ. අපි බාටා පොත් බෑග් නැතුව බංකර් එකේ ඉඳලා ඉගෙන ගනිද්දි උඩින් ගහනවා චොපර් එකෙන්, යටින් ගහනවා ආටිලරි එකෙන්. එහෙම තමයි අපි ඉගෙන ගත්තේ. අපිට බූට්ස් තිබුනේ නෑ, පාරක් තිබුනේ නෑ, පොත් පෑන් තිබුනේ නෑ, කිසි දෙයක් තිබුනේ නෑ," යුද්ධයේ කුරිරු බව ඔහු සිහිපත් කළේ ය.
දෙමළ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ද සතිෂ්කුමාර් තම හඬ අවදි කළේ ය.
"එල්ටීටීඊ ප්‍රශ්න සම්බන්ධයෙන් ත්‍රස්තවාදි පනත යටතේ අත්අඩංගුවට ගත්ත ටැමිල් කට්ටිය 24 දෙනෙක් තාමත් ඇතුලේ ඉන්නවා. ඒගොල්ලො 10 දෙනෙක් ඉන්නේ අධිකරණයෙන් දඬුවම් දීපු කට්ටිය. ඒගොල්ලන්ට නිදහස ලැබෙනවා නම් ජනාධිපති සමාව දෙන්න ඕනා. අපේ ලංකාවේ ජනාධිපතිට තියෙන බලතල යටතේ එහෙම දෙන්න පුළුවන්. අනිත් 14 දෙනාට අපේ රටේ මහාධිකරණයේ නඩු පවරලා තියෙන්නේ. ඒ නඩු විභාග යන කට්ටියට ජනාධිපති සමාව දෙන්න බෑ කියලා මම හිතනවා. හැබැයි නීතිපතිතුමාට ඒ නඩු ඉල්ලා අස්කර ගන්න පුළුවන්. ඒ අය දේශපාලන සිරකරුවෝ තමයි. ඉතින් මේ අය ගැන දේශපාලන තීන්දුවක් ගන්න ඕනා, මනුස්සකමේ නාමයෙන් තීරණයක් ගන්න කියලා මම ඉල්ලා සිටිනවා.”
"සෙන්ට්‍රල් බෑන්ක් නඩුවට එක්කෙන් හිරගෙදර ඉන්නවා. එයා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ වෙලා තියෙන්නේ වයස 12 වගේ කාලයේ දී. සෙන්ට්‍රල් බෑන්ක් බෝම්බ සිද්ධියට එයාව අත්අඩංගුවට ගනිද්දි එයාට වයස 17 යි. එයාට නඩු පවරලා මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දෙනවා වයස 19 දී. මේ වෙද්දි අවුරුදු 27ක් එයා හිරේ දුක් විඳිනවා. මම එළියට එනකොට මගේ අත අල්ලා අඬලා, අඬලා 'අයියේ අපේ නිදහස සම්බන්ධයෙන් රජයේ කට්ටියට පැහැදිලි කරන්න, සිංහල සහෝදරයින්ට පැහැදිලි කරන්න' කියලා තමයි කිව්වේ. ඒගොල්ලෝ කිව්වේ නෑ ජිනීවා යන්න, අරහේ යන්න, මෙහෙ යන්න කියලා," සිරගෙදර අවසන් මතකය සතීෂ් එලෙස අවධි කළේ ය.
"පාර හදලා තියෙන්නේ, බිල්ඩින් හදලා තියෙන්නේ, ඒ වගේ හමුදාවේ කෑම්ප් ගොඩක් තියෙනවා. ඒක නෙමෙයි නිදහස කියන්නේ. නිදහස කියන්නේ, අපේ හිතේ නිදහස තියෙන්න ඕනා. මිනිස්සුන්ගේ හිත්වල තියෙන වේදනාව ඇතිවෙලා තියෙන්නෙ යුද්ධය නිසා වෙච්ච සිද්ධින් එක්ක. හිතේ තියෙන තුවාලවලට බෙහෙත් දාන්න ඕනා. එහෙම නොකර පාර හදලා, ගේ හදලා වැඩක් නෑ. හිත් දෙකට පාලම හදන්න ඕන කියලා මම හිතනවා," යුද්ධය නිමවී දාහතර වසරකට පසුව වන්නියට ගිය සෙල්ලයියා සතීෂ්කුමාර් බීබීසී සිංහල සේවයට කියා සිටියේ ය.












