අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යයාලය (OMP) අතුරුදහන් වීම් ප්‍රතික්ෂේප කරනවාද?

Office of Missing persons

ඡායාරූප මූලාශ්‍රය, Sanjula Pietersz|Twitter

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යයාලය (OMP) අතුරුදහන් වීම් ප්‍රතික්ෂේප කරනේනේදැයි පසුගිය දිනවල මානව හිමිකම් ක්‍රියාධරයන් සහ සිවිල් සංවිධාන ප්‍රශ්න කොට තිබුණි.

ඒ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යයාලයේ සභාපති මහේෂ් කටුන්දල සිදු කළ බවට කියවෙන ප්‍රකාශයක් පදනම් කොට ගෙනය.

'ආරක්ෂක අංශ වෙත භාරවූවන් අතුරුදහන් කළ බවට එල්ලකරන චෝදනා පදනම් විරහිතයි'

දශක තුනකට ආසන්න කාලයක් පැවැති සිවිල් යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ආරක්ෂක අංශ වෙත භාරවූවන් අතුරුදහන් කළ බවට එල්ලකරන චෝදනා පදනම් විරහිත බව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යයාලයේ සභාපති මහේෂ් කටුන්දල ප්‍රකාශ කොට ඇතැයි රොයිටර් පුවත් සේවය පසුගිය ඔක්තොම්බර් මස 26 වන දින වාර්තා කොට තිබුණි.

එසේ චෝදනා නැති අතර එයට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ද සභාපතිවරයා අවධාරණය කර තිබෙන බව එහි සඳහන්ය.

මෙම අතුරුදන් කිරීම් එල්.ටී.ටී.ඊ සංවිධානය සහ ඊට විරුද්ධ පාර්ශව විසින් සිදු කර ඇති බව ද,2009 වසරේ අවසන් යුද සමයේ මුල්ලිවයික්කාල්හි දී දෙමළ ජනයා සමූල ඝාතනයට ලක් වූ බවට සිදු කරන ප්‍රකාශයන් අසත්‍ය බවත්, එහි දී සිවිල් වැසියන් 60,000කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් මුදාගෙන ඇති බවත් ඔහු කියා සිටින බව එම පුවත වාර්තා කොට තිබුණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

'මම කරපු ප්‍රකාශයක් නෙවෙයි ඒක'

ඒ අනුව බීබීසී සිංහල සේවය මේ සම්බන්ධව කළ විමසීමකදී අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යයාලයේ සභාපති මහේෂ් කටුන්දල කියා සිටියේ තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

"අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයා ලෙස පත් වුණ කාලයේ ඉඳලා හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු කාලයේ ඉඳලා හෝ සාමාජික මණ්ඩලයේ හිටපු කාලය ඇතුළත රොයිටර් පුවත් සේවය මගෙන් සම්මුඛ සාකච්ඡාවක් අරන් නැහැ. ඒ වගේම මම මාධ්‍ය හමු කිහිපයක් පවත්වලා තියෙනවා. ඒ කිසිම එකකට රොයිටර් පුවත් සේවයේ මයික් එකක් තිබිලා නැහැ. මම කළා කියලා රොයිටර් පුවත් සේවය වාර්තා කරලා තියෙන ප්‍රකාශය කිසිම ප්‍රසිද්ධ වේදිකාවක හෝ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකට හෝ අප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකට පුවත් පතකට හෝ විද්‍යුත් මාධ්‍යයකට මම කරපු ප්‍රකාශයක් නෙවෙයි ඒක "

අතුරුදන් වූවන්ගේ පවුල් සඳහා ලක්ෂ දෙකක වන්දි මුදලක් ලබා දීම සඳහා පසුගියදා හිමි වූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සම්බන්ධයෙන්ද ඔහු මෙසේ අදහස් පළ කළේය.

"අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට පැමිණිලි කරලා තියෙන අයගේ පවුල්වල අයට අතුරු දීමනාවක් විදිහට රුපියල් ලක්ෂයක මුදලක් දෙමින් හිටියා. මෙරට ඇති වුණ ආර්ථික අර්බුදය හමුවේ, ඒ අයගේ තියෙන පෞද්ගලික ආර්ථික ප්‍රශ්න නිසා ඒක ලක්ෂ දෙක දක්වා වැඩි කිරීමට වත්මන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉල්ලීමක් කළා. ඒ අනුව තමා ඒ මුදල දෙන්න තීරණය කරලා තියෙන්නේ. අතුරුදන් වූවන්ගේ කාර්යයාලය මඟින් පැමිණිලි කරලා තිබුණ අයගේ ආර්ථික ප්‍රශ්න වෙනුවෙන් තාවකාලික විසඳුමක් විදිහට මේක දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ ඔවුන්ගේ පැමිණිවලට අදාළව මූලික විමර්ශන කරගෙන යන අතරතුර"

අතුරුදන් වූවන් වෙනුවෙන් මරණ සහතික නිකුත් කරනවාද ?

අතුරුදන් වූවන් වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීමට යනවාදැයි අප කළ විමසීමේදී ඔහු කියා සිටියේ මෙවැන්නකි.

"අපේ අරමුණ මරණ සහතික ලබා දීම නෙවෙයි. අතුරුදන් වූ පුද්ගලයාගේ පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම තමයි, අතුරුදන් වුණ පුද්ගලයාට සිදු වුණේ මොකක් ද කියලා සොයා බලලා ඒ අයට ඒ සම්බන්ධයෙන් පිළිගන්න පුළුවන්, උත්තරයක් දෙන්න කියන එකත්, එතනින් එහාට ඇති ඒ ගොල්ලන්ට ඇති වෙලා තියෙන සානූකම්පිත ප්‍රශ්න වලට වගකීමෙන් මොනවා හරි සහනයක් ලබා දෙන්න කියලත් තමයි අපෙන් ඉල්ලලා තියෙන්නේ"

"එතකොට අපි ඒ අනුව මූලික වශයෙන් අතුරුදන් වෙච්චි තැනැත්තාගේ හෝ ඥාතීයාගේ වේදනාව දන්නේ පැමිණිලි කළ පුද්ගලයා නිසා අපි මූලිකව ඔහුට මුහුණ දෙන්න සිදු වුණ අකරතැබ්බය හෝ එම පුද්ගලයා මුහුණ දුන් ගැටලුව ඒ පුද්ගලයා අතුරුදන් වෙන්න හේතුව, එයාගේ ආගිය තොරතුරු, යුද්ධයේ දී මොකක් හරි සංවිධානයකට සම්බන්ධ වී හිටියා ද, එයා අතුරුදන් වෙන්න හේතු සාධක යුද්ධයට සම්බන්ධ වීමෙන් ද, එයාට විරුද්ධ මොකක් හරි සංවිධානයක් මේ දෙය කළා ද, එහෙත් නැත්නම් හමුදාවෙන් නැත්නම් ආරක්ෂක අංශවලින් එයාට බලපෑමක් තිබුණා ද ආදී වශයෙන් ඉතා දීර්ඝව අපි සාකච්ඡාවක් පවත්වනවා. ඒ ලැබෙන ප්‍රතිඵලය මත තමයි ඉදිරියේ දී කරන්න බලාපොරොත්තු වන ගැඹුරු අධ්‍යනයට අවශ්‍ය මූලික පියවර ලෙස තමා මේ මුණගැහීම් සිදු කරන්නේ" හෙතෙම කියා සිටියේය.

A group of women hold up images of their family members who had disappeared during the civil war with the Liberation Tigers of Tamil Eelam (LTTE) at a silent protest to commemorate the international day of the disappeared in Colombo on August 30, 2016. United Nation Secretary General Ban Ki Moon is scheduled to be in Sri Lanka for a three day official visit from August 31, and he will visit former war zone of Jaffna to meet war displaced people

ඡායාරූප මූලාශ්‍රය, LAKRUWAN WANNIARACHCHI

"මේ මූලික පරීක්ෂණවලින් පස්සේ එයාලා බලාපොරොත්තු වෙනවා නම් එයාලා අපෙන් ස්වෙච්ඡාවෙන් ඉල්ලීමක් කරනවා නම් අතුරුදන් වෙච්ච පුද්ගලයාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඒ හෝඩුවාවන් දන්නවා නම්, මේ මේ හේතුවන් උඩ ඒ අනුව අපට මරණ සහතිකය නිකුත් කරන්න, එහෙමත් නැත්නම් අතුරුදන් වීමේ සහතිකය නිකුත් කරන්න එයාලා විසින් ස්වෙච්ඡාවෙන් ඉල්ලනවා නම් ඒක රෙජිස්ට්රාර් ජනරාල්ට නිර්දේශ කරනවා ඒක ලබා දෙන්න කියලා. එහෙම නැතිව අපි කිසිම වෙලාවක බල කිරීමක් හරි උනන්දු කිරීමක් හරි කරන්නේ නැහැ ඒ සහතික ලබා ගන්න කියලා".

"ඊට අමතරව ඒ අයට තියෙන වෙන වෙන නිවාස ප්‍රශ්න, ඒ පවුලවල ඉන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන්න තියෙන ගැටලු, වෘත්තිය අධ්‍යාපනය , ඒ වගේ දේවල්වල් අවශ්‍ය නම් ඒවා නිර්දේශ කරලා ඒවා ලබා දීමට අවශ්‍ය පියවරයන් ගන්නවා. ඉල්ලීමක් පිට මරණ සහතිකය නිකුත් කළා වුණත්, අතුරුදන් වුණා කියලා සහතිකය නිකුත් කළා වුණත්, අපි කවදාවත් ඒ ෆයිල් එක වහන්නේ නැහැ. දිගින් දිගටම ඒ පවුල් සමඟ සම්බන්ධ වෙලා අපේ ආයතනයේ තියෙන 'ෆැමිලිසම් කෝට්' කියන ඒකකයෙන් ඒ අයත් එක්ක තියෙන සබඳතාවය පවත්වගෙන යනවා. ඒ නිසා කිසිම අවස්ථාවක ෆයිල් වැහීමක් කරන්නේ නැහැ.ඒ නිසා ඇතැම් වැරදි ප්‍රකාශ මාධ්‍යයන් විසින් කරනවා. රජය විසින් අතුරු දීමනාවක් දීලා එතැනින් පස්සේ මරණ සහිතක නිකුත් කරන්න උනන්දු කරලා අපි ෆයිල් වහන්න හදනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි ඉතා වගකීමෙන් කියන්නේ. අපි තවදුරටත් ඒ පවුලේ අයත් එක්ක සබඳතා පවත්වගෙන ගිහින් එයාලාගේ අනෙකුත් ඉල්ලීම් සලකා බලමින් තමා මේ කටයුත්ත සිදු කරමින් යන්නේ" ඔහු අවධාරණය කළේය.

'සභාපතිවරයාගේ ප්‍රකාශය අපිව පුදුමයට පත් කරනවා'

අප කළ විමසීමකදී මාධ්‍ය වාර්තා කොට තිබු අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යයාලයේ සභාපති මහේෂ් කටුන්දලගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපීය ජේෂ්ඨ පර්යේෂකාවක වන ත්‍යාගි රුවන්පතිරණ කියා සිටියේ; "ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන ඇතුළු තවත් බොහෝ සංවිධාන 2009 වසරේ යුද අවසානයේ දී, ආරක්ෂක අංශ වෙත භාර වූ සහ අත්අඩංගුවට පත් පුද්ගලයන් සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි ඇතුළත් කරමින් වාර්තා සකස් කර තිබෙනවා. එමෙන්ම රජය විසින් පත් කළ උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිසමට සහ පරණගම කොමිසමටද අතුරුදන් කරවිම් සම්බන්ධයෙන් සාක්ෂි ලැබී තිබෙනවා. එසේ තිබිය දී, අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් සභාපතිවරයාගේ ප්‍රකාශය අපිව පුදුමයට පත් කරනවා. මෙවැනි ප්‍රකාශ සිදු කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර තිබේ ද යන ප්‍රශ්නය ඔවුන්ගේ අහන්න කැමැතියි." යනුවෙනි.

උතුරු-නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධය

උතුරු-නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීහු 150කට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස 17 වනදා ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට රැස්වී විරෝධතා දැක්වූහ.ඔවුන් අවධාරණය කළේ තම ඥාතීන්ට සිදු වූ දේ ගැන විමසන විට කුකුළු පැටවූ සහ එළුවන්, රුපියල් ලක්ෂ දෙකක වන්දියක් හා මරණ සහතික වැනි දෑ ලබා දීමට පාලකයන් ක්‍රියා කරන බවයි.

වීඩියෝ ශීර්ෂ වැකිය, ''අතුරුදහන්වූවන් ගැන අහනකොට කුකුළ් පැටවූ, එළුවෝ දෙන්නද අහනවා.''

මීට පෙර ශ්‍රී ලංකා රජය විසින් පත්කරනු ලැබූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවලින් ද මෙරට ජනයා බලහත්කාරයෙන් අතුරුදහන් කර ඇති බවට තහවුරු කර ඇත.

එවැනි පසුබිමක අතුරුදන් වූවන් පිළිබඳ කාර්යයාලයේ සභාපති මහේෂ් කටුන්දලගේ ප්‍රකාශය තරයේ හෙළා දකින බව දින 2000කට අධික කාලයක් උතුරු - නැගෙනහිර පළාත් හි විරෝධතාවයේ නිරත වන අතුරුදහන්වූවන්ගේ ඥාතීහූ පවසති.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

"අපේ පවුල්වල සාමාජිකයන් එනකන් අපි මේ විරෝධතාවය අතඅරින්නේ නෑ . අපේ නෑයන්ව හොයලා දෙන්න කියන එකත්, ඔවුන් පණ පිටින් නැත්නම් ඒ අයට මොනවාද වුණේ කියන එකත් මේ රජය කියන්න ඕනේ" යනුවෙන් පසුගිය අගෝස්තු මස 12 වනදා කිලිනොච්චි හී පැවැති විරෝධතාවකට එක් වූ මවක කියා සිටියා ය.

2017 වසරේ පෙබරවාරි මස 20 වන අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් කිලිනොච්චියේ දී ආරම්භ කළ විරෝධතාවය අඛණ්ඩව දින 2,090 වන දිනටත් ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත්, මෙම විරෝධතාව සඳහා එක්වන සහ එය සංවිධානය කරන කණ්ඩායම්වලට නාඳුනන පුද්ගලයන්ගෙන් තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලැබී ඇති බවට ද, නිර්නාමික පත්‍රිකා හරහා බිය ගැන්වීම් සිදු කරන බවට ද තොරතුරු වාර්තා වේ.

2019 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ, අතුරුදන් වූ බව කියන පුද්ගලයන්ගේ සැළකිය යුතු පිරිසක් මිය ගොස් ඇති බව ය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා, ඥාතීන් වෙත මරණ සහතික නිකුත් කිරීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසීය.

'ඔවුන්ට මොනවාද වුණේ කියලා අපිට හොයන්න ඕනේ'

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද, 2016 වසරේ දී යාපනය ප්‍රදේශයේ පැවැති තෛපොංගල් උත්සවයකට එක් වෙමින්, අතුරුදහන්ව ඇති බවට පැවසෙන සියලූම පුද්ගලයන් මිය ගොස් ඇති බව ප්‍රකාශ කළේ ය.

"ඔවුන් බොහෝ විට මළවුන් අතර සිටිය හැකියි. නමුත් ඔවුන්ට මොනවාද වුණේ කියලා අපිට හොයන්න ඕනේ, අඩුම තරමින් ජනතාව දැනගත යුතුයි, ඔවුන්ට මොනවාද වුණේ කියලා." යනුවෙන් වත්මන් ජනාධිපතිවරයා එම වර්ෂයේ දී බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාවට පැවසීය.

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යයාලය

2016 වසරේ අගෝස්තු මස පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යයාල පනත අනුව ස්ථාපනය කළ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යයාලය විසින් පසුගිය දශක කිහිපය තුළ පුද්ගලයන් 65,000කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වූ බවට ගණන් බලා ඇත.

ඊට අදාළ අතුරු වාර්තා එම කාර්යයාලයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් විසින් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දී තිබේ.

1983 වසරේ සිට ගැටුම් පැවති කාලය දක්වා 65,000 ක පිරිසක් අතුරුදහන් වී ඇති බව සංහිඳියා කාර්යාලයේ ප්‍රධානී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පැවසීය.

ලොව වැඩිම බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයන් සිටින රටවල් අතර ශ්‍රී ලංකාව තව දුරටත් මුල්තැනක සිටින බව විදෙස් මානව හිමිකම් සංවිධාන අවධාරණය කරයි.

ආරක්ෂක අංශවලට භාරවීමෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයන් 12,000 ක් අතුරුදහන් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන අධ්‍යයනයකින් ද හෙළි වී ඇත.

2003 දී ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සඳහන් කළේ සිවිල් යුද්ධයේ දී අතුරුදහන්වීම් පිළිබඳ පැමිණිලි 20,000 ක් ලැබී ඇති අතර ඉන් 9,000 ක් විමර්ශනය කර ඇති බවත් තවත් 11,000ක් විමර්ශනය වෙමින් පවතින බවත් ය.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන පරිදි අසූව දශකයේ සිට ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් සංඛ්‍යාව හැටදහසකට වැඩි අතර ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න ය.