යුරෝපයේ වඩාත් ආකර්ෂණීය පූර්ව ක්‍රිස්තියානි සමයේ ශීත ඍතු උත්සව 4ක්

BBC

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

බටහිර සංස්කෘතික දින දර්ශනයේ ප්‍රධානතම උත්සවය වන්නේ නත්තල ය.එහෙත් පූර්ව ක්‍රිස්තියානි යුගයට අයත් සංස්කෘතික ලක්ෂණ තවමත් මහද්වීපය පුරා දැකිය හැකි ය.

නත්තල් යනු බටහිර රටවල් ශීත සෘතුවේ සමරන ප්‍රධානතම උත්සවය වන අතර, එහි වහා හඳුනාගත හැකි චරිත තිබේ. යේසුස්, ශුද්ධ වූ පවුල සහ නත්තල් පියතුමා සහ රජ තුන්කට්ටුව වැනි තෑගි දෙන චරිත එහි ඇත. එහෙත් ඔබට යුරෝපයේ ශීත ඍතු උත්සවවල, පූර්ව ක්‍රිස්තියානි සමයෙන් පැමිණි අද්භූත චරිත එකතුවක් හමුවනු ඇත. සමහරු මායාකාරියන් සහ භූතයන් වැනි පුරාවෘත්තවල කොටස්වලට සමාන ය. අනෙක් අය සමාන වන්නේ සොබාදහමේ ආත්මයන් ආරෝපණය කර ගත් මිථයා කතාවල චරිතයන්ට ය.

ඉහිතාසය පුරා ම, පල්ලිය විසින් මෙම පුරාවෘත්තමය චරිත ඉවත් කිරීමට උත්සහ කරනු ලැබූ නමුත් කාලයත් සමග ඒවා බොහොමයක් ක්‍රිස්තියානි සිරිත් විරිත්වලට බද්ධ වීමෙන් රැකී තිබේ. අද, ඒවා ජනප්‍රවාද සහ ආගම ඒකාබද්ධ වන ආකාරය පිළිබඳ හොඳ අත්දැකීමක් සංචාරකයින්ට ලබා දෙන විචිත්‍ර උත්සව බවට පත්ව තිබේ. මේ ඒ සඳහා කදිම උදාහරණ හතරකි.

ෆෙස්ටා ඩෙලා බෙෆානා, ඉතාලිය

කොසු මිටක් මත පියාසැරියක යෙදෙන මායාකාරියකගේ රූපය ක්‍රිස්තියානි ධර්මයට සම්බන්ධ නොවුණත්, කතෝලිකයන් බහුල ඉතාලියේ, ජනවාරි 5 වන දින රාත්‍රියේ තෑගි ලබා දෙන ලා බෙෆානාගේ චරිතය වන්නේ එයයි. එය "එපිෆනි සැඳෑව" ලෙස ද හැඳින්වේ.

බෙෆානා, නත්තල් පියතුමාට බොහෝ සමානකම් දක්වයි. ඇය දරුවන්ට තෑගි ලබා දීම සඳහා රාත්‍රිය පුරා පියාසර කරයි. නත්තල් සීයා මෙන් ම චිමිනිය හරහා දරුවන්ගේ නිවෙස්වලට ඇතුළු වේ. ඇය සාමාන්‍යයෙන් දැලිවලින් වැසී සිටින්නේ එබැවිනි. සෙල්ලම් බඩු සහ රසකැවිලි, 'හොඳ දරුවන්ට' තෑගි ලෙස ලබා දෙමින් ඔවුන්ට වඩාත් හොඳ වීමට දිරි දෙන අතර, නරක ළමුන්ට ලබා දෙන්නේ ගල් අඟුරු කැටිත්තකි.

BBC

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

බෙෆානාහි මූලාරම්භය පූර්ව ක්‍රිස්තියානි සමයේ විය හැකි අතර, අලුත් අවුරුදු තෑගි දීමේ රෝමානු දේවතාවිය වන ස්ට්රෙනුවාට සමානකම් කියයි. කෙසේ වෙතත්, ඇය ඉතාලි ක්‍රිස්තියානි ධර්මයට ඇතුළත් කෙරෙන්නේ, ඇය ළදරු ජේසුස් වහන්සේ හමුවීමට යන ගමනේදී ප්‍රඥාවන්තයන් තිදෙනාට රැකවරණය දුන් බවට වන පුරාවෘත්තය හේතුවෙනි.

බෙෆානා ඉතාලි ජනවාදවල කොටසක් වන නමුත් එහි ආරම්භය මාර්චේ කලාපයේ නගරයක් වන උර්බානියාව යැයි විශ්වාස කෙරේ. සෑම ජනවාරි මසක ම, උර්බානියාවේ "ඩෙලා බෙෆානා" උත්සවය පැවැත්වෙන්නේ, නරඹන්නන් 30,000ක් පමණ ආකර්ෂණය කර ගනිමිනි. එහි ඇති සුවිශේෂී දේ අතර බෙෆානිනි (මායාකාරියන්ගේ හැඩැති, රම් රසයෙන් යුතු කුකීස්) ආහාරයට ගැනීම, මීටර් 50 ක් දිග ලොව දිග ම, ස්ටෝකින් මේස් එක රැගෙන යන පෙළපාළිය නැරඹීම සහ තාවකාලික වෙළඳපළින්, දේශීය මජෝලිකා සෙරමික් මිලට ගැනීම ඇතුළත් වේ. මෙම උත්සවයේදී මායාකාරියන් ලෙස සැරසී සිටින පිරිස් නැටුම් ඉදිරිපත් කරන අතර සිප්ලයින් කේබල් භාවිත කරමින් කොසු මිටවල් මත නැගී පල්ලියේ කුළුණු අතර "පියාසර කිරීම" ද දක්නට ලැබේ.

ක්‍රම්පුස්නාෂ්ට්, යුරෝපීය ඇල්ප්ස්

3 වන සියවසේ වාසය කළ ග්‍රීක බිෂොප්වරයෙකු සමරන ශාන්ත නිකලස් දිනය දෙසැම්බර් 6 වන දාට යෙදී තිබේ. ඔහු දරුවන්ට පිහිට වන සාන්තුවරයා බවට පත් වූ අතර, නත්තල් පිතෘවරයාගේ පුරාවෘත්තයට ආභාෂය බවට පත්විය. බැවේරියාව, ඔස්ට්රියාව සහ දකුණු ටයිරෝල් ප්‍රමුඛ මධ්‍යම යුරෝපීය ඇල්ප්ස්හි රටවල්, ශාන්ත නිකලස් දිනය සමරන්නේ ඉතාලියේ එපිෆනි සම්ප්‍රදායන්ට අනුව යමින්, හොඳින් හැසිරෙන දරුවන් සඳහා තෑගි දෙමිනි.

Pre

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශාන්ත නිකලස් දිනයට පෙර රාත්‍රිය 'ක්‍රෑම්පස් රාත්‍රිය' ලෙස හැඳින්වේ. එය අඳුරු හා වඩාත් බිහිසුණු සම්ප්‍රදායන් සහිත සැමරීමකි. මෙම කලාපයේ පුරාවෘතවල අනුව ක්‍රෑම්පස්, අර්ධ මිනිස් - අර්ධ එළු යක්ෂයෙකි. දිගු දිව, අඳුරු ලොම්, අං සහ උමතු ස්වරූපයේ ඇස් ඇත. සැන්ටා සහ බෙෆානා මෙන් නොව, ක්‍රෑම්පස් නරක දරුවන්ට බර්ච් පොලුවලින් පහර දීම හෝ නරකම හැසිරීම සඳහා, ඔහුගේ පිටේ ඇති කූඩයක බහාගෙන අපායට ගෙන යාම වැනි කටුක ක්‍රම ඔස්සේ දඬුවම් කරයි. ක්‍රෑම්පස් ශාන්ත නිකලස්ගේ සහායකයා ලෙස සලකනු ලබන අතර, ඔවුන් බොහෝ විට සුබ පැතුම් පත්වල පෙනී සිටින්නේ එකට ය.

ක්‍රෑම්පස් පිළිබඳ නිශ්චිත මූලාරම්භය නොදන්නා නමුත් බෙෆානා මෙන්, ඔහු බොහෝ විට ක්‍රිස්තියානි නොවන ජනප්‍රවාදයක චරිතයක් ලෙසට ආරම්භ වී පසුව නත්තල් සම්ප්‍රදායන් හා බද්ධ වූවා විය යුතු ය. වර්තමානය වන විට ක්‍රම්පස්ලාෆ් පෙළපාලිය දෙසැම්බර් 5 ට යෙදී තිබේ. ඇල්පයින් නගරවල සහ ගම්මානවල පිරිස ක්‍රෑම්පස් වෙස් මුහුණු සහ එම චරිතයට අදාළ ඇඳුම් පැළඳුම් පැළඳ සිටින අතර, ක්‍රෑම්පස්ගේ ප්‍රියතම පානය වන ස්ච්නැප්ස් පානය කරමින්, නරක ආත්මයන් පලවා හැරීම සඳහා සීනු නාද කරති. ක්‍රම්පස් පෙළපාලි ඔස්ට්‍රියාවේ සහ දකුණු ටයිරෝලය පුරා ජනප්‍රිය වන අතර, සල්ස්බර්ග්හි පැරණි නගරයේ සිදු වන විශාලතම උත්සවවලින් එකකි.

මාරි ලවිඩ්, වේල්ස්

නත්තල් සහ අලුත් අවුරුදු කාලවලදී, වේල්සය, බ්‍රිතාන්‍ය ජනශ්‍රැතිවල ප්‍රකට උත්සවයක් වන මාරි ලවිඩ් සමරයි. මෙම පුරාණ සම්ප්‍රදායේදී අශ්වයෙකුගේ හිස් කබල ටින්සල් සහ ස්ට්රීමර්වලින් සරසා ඇති අතර එහි අක්ෂි කුහර බල්බවලින් සරසා තිබේ. මෙම හිස කණුවකට සම්බන්ධ කර, ඇඳ ඇතිරිල්ලකට සම්බන්ධ කර ඇති අතර, එය ප්‍රදේශවාසියෙක් පැළඳ සිටියි. ඉන්පසු ඔහු අසල්වැසියන් සමග ගොස්, දොරවල්වලට තට්ටු කරමින්, නිවසට පැමිණ කෑමට බිමට යමක් ඉල්ලාගත හැකි ද යන්න විමසයි.

වෙනත් උත්සවවල ද මෙවන් ලක්ෂණ දකින්නට ලැබේ. හැලොවීන් උත්සවයේදී ගෙයින් ගෙට ගොස් කරන ට්‍රික්, හෝ ට්‍රීට් සහ නත්තලේදී ගෙයින් ගෙට කැරොල් ගායනා කිරීම වැනි දේ එයට උදාහරණ ලෙස දැක්විය හැක. මාරි ලවිඩ්ස් උළෙලේදී මිනිසුන් ගීත ගායනා කරමින් ගෙයින් ගෙට ගොස් වයින් හෝ සයිඩර් අඩංගු විශාල බඳුනකින් පානයක් බී, තෑගි හුවමාරු කරගනිති.

Pre

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නත්තල් සහ නව අවුරුදු කාලය පුරාවට මාරි ලවිඩ් දකුණු වේල්සය වටා සැමරෙන නමුත්, විශාලතම උත්සවය සෑම ජනවාරි මසක ම පැවැත්වෙන්නේ එංගලන්ත දේශ සීමාවේ චෙප්ස්ටෝව් නගරයේ ය. මේ වෙනුවෙන් ඇටසැකිලි අශ්වයන් දුසිම් ගණනක් වීදි සංචාරය කරති. ඒ සෑම අශ්වයෙකු ම මොරිස් නර්තන ශිල්පීන්ගේ කණ්ඩායමක් සමග සිටින අතර, ඔවුන් නගරයේ කෞතුකාගාර, විවිධ හෝටල් සහ චෙප්ස්ටෝව් කාසල් වෙත මාරි ලවිඩ්ස්හි විදී සංචාරයේ යෙදෙමින් නර්තනවල යෙදෙති. එහිදී ඔවුහු ගෙයින් ගෙට යමින් සම්ප්‍රදායානුකූලව දොරට තට්ටු කරති.

පසුව ඔවුහු එංගලන්ත කණ්ඩායම සමග, සංකේතාත්මක දේශසීමා උත්සවයක් වෙනුවෙන්, එංගලන්තය සහ වේල්සය අතර දේශසීමාව සනිටුහන් කරන පැරණි වයි පාලම වෙත ගමන් කරති. ඔවුහු ඉන්පසුව එංගලන්ත පිරිසට වේල්ස් පැත්තට ආරාධනා කරති. එවිට සෑම කෙනෙකු ම ඇපල් පානයක් උදෙසා බළකොටුවෙන් පිටත වත්තක රැස් වන අතර එහිදී සයිඩර්, ගස් මුල් මත වත් කර, ටෝස්ට් පෙති ගස් අතු මත එල්ලා ඇති අතර, මොරිස් නැටුම්, ගීත ගායනා සහ සයිඩර් පානය කිරීම සිදු වේ. මේ විනෝදජනක බ්‍රිතාන්‍ය උළෙල හරහා ඉදිරි වසර සඳහා හොඳ අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙන් ආශීර්වාද ලැබෙන බව කියනු ලැබේ.

වලස් නැටුම්, රුමේනියාව

වලසුන් ශීත සෘතුවේදී සිසිර නිද්‍රාවේ පසුවෙති. එබැවින් වලසුන් පිරිසක් වසරේ මෙම කාලය තුළ ඔවුන්ගේ නියපොතු මැදීම සිදු කරනු ඔබ දුටුවාහොත් එය බියකරු දසුනක් වනු නො අනුමාන ය. කෙසේ වෙතත්, රුමේනියාවේ නැගෙනහිර කලාපයක් වන මෝල්ඩාවියාහි, වලස් නැටුම පැවැත්වෙන දෙසැම්බර් 30 නගරවල සහ ගම්මානවල මෙය සුලබ දසුනකි.

pre

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

රුමේනියාව රුසියාවෙන් පිටත යුරෝපයේ විශාලතම දුඹුරු වලස් ජනගහනය ඇති රට වන අතර, 8,000 ක් පමණ වලසුන් කාර්පාතියන් කඳුකරයේ සැරිසරන්නේ, වලසා රුමේනියානු සංස්කෘතියේ අධ්‍යාත්මික ශක්තියේ ප්‍රබල සංකේතයක් වීම පුදුමයක් නොවන බව සනාථ කරමිනි. වලස් නැටුම අතරතුර, මිනිසුන් සැබෑ වලස් හම් පැළඳ සිටින අතර, ඉන් සමහරක් කිලෝ ග්‍රෑම් 40 ක් දක්වා බරින් යුක්ත වන අතර පරම්පරා ගණනාවක් තිස්සේ භාවිත කර තිබේ. ඔවුන් සාම්ප්‍රදායික ජන ඇඳුම්වලින් සැරසුණු සංගීතඥයන් විසින් වාදනය කරනු ලබන බෙර සහ පෑන් නළා හඬ අනුව නටමින් වීදි ඔස්සේ ගමන් කරති.

ප්‍රධාන වලස් නැටුම මරණය සහ නැවත නැගිටීම සංකේතවත් කරන්නේ, ඉදිරි වසර සඳහා නව ඇරඹුමක් සිදු වන බව සංකේතීයව සනිටුහන් කරමිනි.

මෙම සම්ප්‍රදාය, රෝමවරුන් රුමේනියාවට පැමිණීමට පෙර රුමේනියාවේ විසූ ඉන්දු-යුරෝපීය ගෝත්‍ර වන ගෙටෝ-ඩැසියානුවන් දක්වා දිව යන බව විශ්වාස කෙරේ. ගෙටෝ-ඩැසියානුවන් වලසුන් දුටුවේ ශක්තියේ සහ නව ජීවිතයේ පූජනීය සංකේත ලෙස වන අතර අලුත උපන් බිළිඳුන් පවා වලස් මේදය සමඟ අභිෂේක කරන ලදී.

වලස් නැටුම ඊසාන දිග රුමේනියාව පුරා සිදු කරනු ලබන අතර, එයින් වඩාත් ප්‍රසිද්ධ උත්සවය කොමනෙස්ටිහි දී පැවැත්වේ.