බුදු දහම සහ කිතු දහම එකට මුසු වූ 'රුවන්වැලි සෑයට රිදී දුන්' රිදී විහාරය

- Author, කුමුදු ජයවර්ධන
- Role, බීබීසී සිංහල
කුරුණෑගල, රිදීගම පිහිටි රිදී විහාරය සමග මට ඇති මතකය වසර 34ක් පමණ ඈතට දිව යයි.
එවකට 12 හැවිරිදි වියේ පසුවූ මා, මව සහ පියා සමග රිදී විහාරය නැරඹීමට ගියේ, මල් පහන් පූජා කිරීමේ මූලික අරමුණින් නොවේ. පුරාණ ඉතිහාසය සම්බන්ධයෙන් මා තුළ තිබූ කැමැත්ත සහ කුතුහලය හේතුවෙන් රිදී විහාරයේ පුරාණ තොරතුරු දැක බලා ගැනීමේ අදහසිනි.
අනුරාධපුර යුගයේ දුටුගැමුණු රජ සමය හා සම්බන්ධකම් ඇතැයි කියන රිදී විහාර පරිශ්‍රයේ, රුවන්වැලි සෑය ඉදිකිරීමේදී ඊට අවශ්‍ය රිදී ගොබයක් මතු වූ බව මා අසා තිබිණි.
ලංකාවේ හමුවූ හොඳ ම ඇත්දළ කැටයම් ද ඇත්තේ, එහි ය.
කෙසේ වෙතත්, මගේ සිත වැඩියෙන් ම ආකර්ෂණය වූයේ, බුදුන් වහන්සේගේ සැතපෙන පිළිමය අබිමුව පිහිටි මල් ආසනයේ ජේසුස් වහන්සේගේ ජීවිත කතාව සිතුවම් කරන ලද පිඟන් ගඩොල් සිය ගණනක් වෙත ය.
සැතපෙන පිළිමයේ මල් අසුනේ ජේසුස් වහන්සේගේ සිතුවම්


වසර 34කට පසු යළිත් මා රිදී විහාරය වෙත ගියේ, ඓතිහාසික බෞද්ධ විහාරස්ථානයක දක්නට ලැබෙන ජේසුස් වහන්සේගේ ජීවිත කතාව දැක්වෙන පිඟන් ගඩොල් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් සැපයීමේ අරමුණිනි.
"මෙතන සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට තියෙනවා, ඕලන්ද පිඟන් ගඩොල්. ඒවා මෙතනට කොහොම ද පැමිණියේ? ලංකාවේ අපට මේ විදිහේ ඩච් ටයිල්ස් දකින්න තියෙන්නේ මේ විහාරස්ථානයේ පමණ යි. වෙන කොහෙවත් අපට මේ ඩච් ටයිල්ස් අපට දැක ගන්න පුළුවන්කමක් නෑ," රිදී විහාරවාසී පූජ්‍ය වලහාවිද්දවැවේ කස්සප හිමි පැවසීය.
බයිබලයේ එන කතා වස්තු සිතුවම් කර ඇති පිඟන් ගඩොල් කිහිපයක් පහත දැක්වේ.
මෙම පිඟන් ගඩොල් පිරික්සීමේදී පෙනී යන්නේ, ඒවා නිසි අවබෝධයකින් සවි කර නොමැති බව ය.
ඒවායෙහි අනුපිළිවෙළක් නොමැති අතර, ඇතැම් පිඟන් ගඩොල් උඩු යටිකුරු කර සවි කර තිබේ.

ඓතිහාසික බෞද්ධ විහාරස්ථානයක සැතපෙන පිළිමය ඉදිරියේ මල් ආසනය මතට ජේසුස් වහන්සේගේ ජීවිත කතාව ආශ්‍රිත බයිබලයේ කතාවලට සම්බන්ධ සිතුවම් සහිත පිඟන් ගඩොල් පැමිණියේ කෙසේ ද?
ඊට බලපෑ ඉතිහාස කතාවක් තිබේ.
මහනුවර යුගය වන විට ලංකාවේ බුදු සසුන පිරිහීමට ලක්ව තිබූ අතර, යළිත් බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට සරණංකර සංඝරාජ හිමියෝ පෙරමුණ ගත්හ.
ඕලන්ද පිඟන් ගඩොල් රිදී විහාරයට ලැබීමේ නිධාන කතාව ඇරඹෙන්නේ එතැනිනි.
ලැබුණේ කාගෙන් ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
18 වන සියවසේ අග භාගයේදී එවකට ආණ්ඩුකාර තනතුරක් දැරූ අයිමාන් විලියම් පැල්ක් නමැත්තා මෙම පිඟන් ගඩොල් පරිත්‍යාග කර තිබුණේ, තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත ප්‍රථම නායක හිමියන් සමග පැවති මිත්‍රත්වයේ සිහිවටනයක් වශයෙනි.
ඒ අනුව, මෙම සුවිශේෂී පිඟන් ගඩොල් තොගය ලක්දිවට රැගෙනවිත් ඇත්තේ, 1796 වසරේ පෙබරවාරි මාසයේදී ය.
ඒ, VOC නැවකිනි.
"නුවර යුගය වෙද්දී උපසම්පදා භික්ෂුවක් දැක ගන්න ලැබුණෙ නැහැ. හාමුදුරුවරු සීමා වෙලා හිටියෙ පන්සල් රැක ගැනීමට විතර යි. අන්තිමට ම ගණින්නාන්සේ කියන තැනට පත් වෙලා තිබුණා. නමුත්, මේක දැකපු වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවන්ට මේ තත්ත්වය වෙනස් කරන්න ඕන වුණා. ඒ කාලයේ ලන්දේසි පාලන සමය තිබුණේ. සංඝරාජ හාමුදුරුවන් වහන්සේ ඕලන්ද ආණ්ඩුකාරවරයෙකුගෙන් සහය ඉල්ලනවා බුදුදහම විදේශීය රටකින් හරි මේ ලංකාවට ගෙනල්ලා ලංකාවේ පිහිටවන්න. ඊට පස්සේ දූත පිරිසක් යැව්වා සියම් දේශයේ පිරිසිදු බුදු දහම තියෙන බව දැනගෙන. ඊට පස්සේ ආණ්ඩුකාරවරයාගේ සහයෙන් මෙරටට බුදු දහම යළිත් ගේන්න කටයුතු කළා. ඉන්පසු නැවත උපසම්පදා කටයුතු ආරම්භ කරලා නැවත මෙරට බුද්ධ ශාසනය ඇති කරනවා. මේ ඕලන්ද පාලන සමයේදී තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත ප්‍රථම නායක හාමුදුරුවන් වහන්සේ එක්ක ඒ ඕලන්ද ආණ්ඩුකාරවරයා දැඩි මිත්‍රත්වයක් තිබිලා තියෙනවා. ඒ වගේ ම ආණ්ඩුකාරවරයා බුදු දහම පිළිබඳව ලොකු පැහැදීමකින් ඉඳලා තියෙනවා. ඒ අනුව, නායක හාමුදුරුවන් වහන්සේට ඔහු කරපු පරිත්‍යාගයක් වශයෙන් තමයි මේ පිඟන් ගඩොල් ලැබිලා තියෙන්නේ," වලහාවිද්දවැවේ කස්සප හිමි ඉතිහාසය ආවර්ජනය කළේ ය.
විවිධ සිතුවම්
මෙහි පිඟන් ගඩොල් 110ක් ඇති අතර, ඒවායෙහි සිතුවම්වල නිරූපණය වන්නේ ජේසුස් වහන්සේගේ ජීවන චරිතය පමණක් නොවේ.
ඕලන්දයේ එවකට පැවති සංස්කෘතික ක්‍රීඩා සහ සැරසිලි සිතුවම් ද ඒ අතර වෙයි.
පහත දැක්වෙන පිඟන් ගඩොල් ඊට නිදසුන් සපයයි.

'ආගම් භේදයකින් තොරව ආරක්ෂා කරනවා'
මීට වසර ගණනාවකට පෙර මෙම පිඟන් ගඩොල් කැටයක් සඳහා රු. 500,000කට අධික මුදලක් ගෙවීමට ඕලන්ද රජය ඉදිරිපත් වී ඇතත්, ඊට එකඟ නොවී ඒවා ආරක්ෂා කර ගැනීමට රිදී විහාරය තීරණය කළ බව දැනගන්නට ලැබිණි.
මේ වන විට, එම පිඟන් ගඩොල්වල ආරක්ෂාව සඳහා වීදුරු ආවරණයක් ද සවි කර තිබේ.
"අපිට කිසි ම ආගම් භේදයක් නෑ. මේක පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා සම්පතක්. ඒ වගේ ම ආගමික සංහිඳියාව ඉතා හොඳින් ප්‍රදර්ශනය වෙනවා මේකෙන්. ඒ නිසා අපි මේක ආරක්ෂා කර ගත යුතු යි. ඒ වගේ ම මේ සම්බන්ධයෙන් විදේශ සංචාරකයින්ගේත් විශාල උනන්දුවක් තියෙනවා," වලහාවිද්දවැවේ කස්සප හිමි පැවසීය.
ගමන් මග

ඡායාරූප මූලාශ්‍රය, Ridi Viharaya/Facebook
රිදී විහාරය පිහිටා ඇත්තේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෑඋඩවිල්ලි හත් පත්තුවේ මාදුරේ කෝරළේ රිදීගම නමැති ගම් පියසෙහි ය.
කුරුණෑගල සිට කැප්පිටිගල පාරේ කිලෝමීටර් 17ක් පමණ දුරින් පිහිටි දේවාල හන්දිය ප්‍රදේශයේ රිදී විහාරය පිහිටා තිබේ.














