වසර තුන් හාරසීයක් පැරණි දූව ගම්මානයේ පාස්කු නාට්‍යය

ඡායාරූප මූලාශ්‍රය, Duwa Passion Play - දූවේ පාස්කු/Facebook
එක් පසෙකින් ඉන්දියන් සාගරයෙනුත්, අනෙක් පසින් මීගමුව කලපුවෙනුත් වටවූ මසුන් මරන්නන්ගේ කුඩා ගම්මානයේ ධීවර යාත්‍රාවලට කලකට පසුව විවේකයක් ලැබී ඇති හැඩකි.
අප්‍රේල් මාසයේ පැමිණෙන ගොබ් ඉරිදාවෙන් පසු දූව ගම්මානයේ ධීවරයන් බෝට්ටුවලට විවේක දෙන්නේ ඔවුන් වේදිකාවට ගොඩවෙන කාලය පැමිණ ඇති නිසා ය. ජේසුස් වහන්සේ තම ගෝලයන් ලෙස තෝරා ගත්තේ ද ධීවරයන් පිරිසකි.
දූව ධීවර ගම්මානය කතෝලික ජනයා අතර ඉමහත් ජනාදරයට පත්වන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ රඟ දක්වන "දූවේ පාස්කු නාට්‍යය" හේතුවෙනි.
“දූවේ පාස්කු නාට්‍ය පටන් අරන් අවුරුදු තුන් හාරසීයකට වැඩියි. මුලින්ම රූකඩවලින් කරන්න අරගෙන 1939 දී තමයි අපේ දූවේත් මිනිස්සුගෙන් පාස්කු නාට්‍ය කරන්න පටන් අරන් තියෙන්නේ. මර්සලින් ජයකොඩි පියතුමා තමයි පිටපත ලියලා ඒක ආරම්භ කරලා තියෙන්නේ,” වත්මන් පාස්කු නාට්‍යයේ සම අධ්‍යක්ෂක රාජ් ලිවේරා බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
පාස්කු නාට්‍යයේ රංගන ශිල්පියෙක්ව සිටි කාලාභූෂණ රාජ් ලිවේරා, සහ මර්සලින් ජයකොඩි පියතුමා විසින් රචිත නාට්‍ය පිටපතේ නව සංස්කාරක ශාස්ත්‍රපති ක්ලෙමන්ට් ප්‍රනාන්දු වත්මන් දූවේ පාස්කු නාට්‍යයේ සම අධ්‍යක්ෂකවරු වෙති.

ඡායාරූප මූලාශ්‍රය, Duwa Passion Play - දූවේ පාස්කු/Facebook
දූවේ පාස්කු නාට්‍යය ඇරඹුණේ කොහොමද ?
ක්‍රිස්තු වර්ෂ 1728 දී පමණ ආරම්භ වී ඇතැ යි පැවසෙන මීගමුව දූව පාස්කු නාට්‍යය, වර්ෂ 1839 දී එහි 100 වන පාස්කු දර්ශනය පැවැත්වූ බව පැවසෙයි.
මුල් යුගයේ දී රූකඩ යොදා ගනිමින් රඟදැක්වූ නාට්‍යය එවක දූව සින්ද්‍රාති දෙව් මැඳුරේ මීසම් පාලකව සිටි, 'පන්සලේ පියතුමා' යන විරුදාවලිය ලත් මර්සලීන් ජයකොඩි පියතුමා විසින් මිනිසුන් යොදා ගනිමින් 1939 දී මුල් වරට රඟ දක්වා ඇත්තේ එතුමන්ගේ පිටපතකට අනුව ය.
එම වකවානුවේ දී කාන්තා චරිත සඳහා ද යොදාගෙන ඇත්තේ පිරිමි නළුවන් ය. ඒ සඳහා නිළියන් යොදා ගැනුණේ පසු කලෙක වන අතර, මැගිලින් ලිවේරා දූව පාස්කු නාට්‍යයේ රඟපෑ ප්‍රථම නිළිය ලෙස සඳහන් වේ.
දැනට වසර 84කට වැඩි කාලයක් තිස්සේ රඟ දක්වන දූවේ පාස්කු නාට්‍යය සඳහා තවමත් භාවිතා කරනුයේ මර්සලින් ජයකොඩි පියතුමා 1939 දී රචනා කරන ලද පිටපත වුව ද ඊට සුළු වෙනස්කම් කර ඇත.
එමෙන්ම ජේසුස්ගේ කුරුස ගසෙහි උකුත්වීම නිරූපණය කිරීමට යොදාගනු ලබන්නේ ඉන්දියාවෙන් ගෙන එන ලද සියවසකට වඩා ඉපැරණි ප්‍රතිමාවක්වීම මෙහි තවත් විශේෂත්වයකි.
“අපි කුරුසගත කරන ක්‍රිස්තු ප්‍රතිමාව 1838 දී තමයි දූවට ගෙනත් තියෙන්නේ. ඉස්සර දූවේ කට්ටිය පැටිල් ඔරුවල නැගලා එක එක බඩු අරගෙන යනවා ඉන්දියාවේ කොචින්වලට. ඒ ගිය වෙලාවක ජෝකීනු කියන සුරුවම් නෙලන වඩු කාර්මිකයාට කියලා මේ ප්‍රතිමාව හදාගෙන මෙහෙට ගෙන්නලා තියෙනවා,” පාස්කු නාට්‍ය ධීවර ජිවිතයේ කොටසක් බවට සාක්ෂි ලෙස හුවා දක්වමින් රාජ් ලිවේරා කියා සිටියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Rajitha Mel
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
“අපේ ගමේ කට්ටිය තමයි මේකේ රඟපාන්නේ. පිට ගමකින් කවුරු හරි බැඳලා මෙහෙට ආවොත්, නැතිනම් මෙහෙන් බැඳලා පිට ගමකට ගියොත් අපි ඒ අයවත් මේ නාට්‍යයට සම්බන්ධ කරගන්නවා. අපෙන් පස්සේ මේක ඉදිරියට ගෙනියන්න අපි කට්ටිය පුහුණු කරමින් යනවා,” පාරම්පරික උරුමයක් ලෙසින් ඉදිරියට යන පාස්කු නාට්‍ය ගැන ඔහු විස්තර කළේ ය.
පාස්කු නාට්‍ය සඳහා වයස් භේදයකින් තොරව නළු නිළියන් 200කට ආසන්න පිරිසක් සම්බන්ධ කරගනියි.
අතීතයේ දී සහ වර්තමනයේ දී නාට්‍ය සඳහා පිරිස් රැස් කරගන්නා ආකාරය ගැන නාට්‍ය අධ්‍යක්ෂ රාජ් ලිවේරා විස්තර කළේ ය.
“ඉස්සර අපි පොඩි කාලෙ කළේ පාස්කු කිට්ටු වෙද්දි නාට්‍යයේ වැඩවලට කට්ටිය එකතු කරන්න සීනුව ගහගෙන ගම වටේ යනවා 'පාස්කු මඩුව හදන්න මිනිස්සුන්ට එන්න කිව්වෝ' කියාගෙන. ඊට පස්සේ පාස්කු නාට්‍ය පුරුදු කරද්දි 'පාස්කු නාට්‍ය පුරුදු වෙන්න මිනිස්සුන්ට එන්න කිව්වෝ' කියාගෙන අර විදියටම සීනුව ගහගෙන ගම වටේ යනවා.
“දැන් නම් ඉතින් මේ තරුණයෝ හැමදේම කරන්නේ ෆෝන්වලින්. අපිට නම් ඒ දේවල් තේරෙන්නේ නෑ. හැබැයි මේ තරුණයෝ ඔන්ලයින් හැමදේම කරලා කට්ටිය රැස් කරගන්නවා, ෆෝන්වලින් විස්තර දැනුම් දෙනව,” සියවස් ගණනක් තිස්සේ නොනැසී පවතින දූව පාස්කු නාට්‍යයේ සම්ප්‍රදායන් වෙනස්ව ඇති ආකාරය ඔහු එලෙස විස්තර කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Duwa Passion Play - දූවේ පාස්කු/Facebook
සියවස් ගණනක් තිස්සේ පරම්පරා කිහිපයක් විසින් ඉදිරියට ගෙන ආ දූවේ පාස්කු නාට්‍ය සංරක්ෂණය කිරීමට රජය මැදිහත් වී තිබීම තවත් විශේෂත්වයකි.
“ශ්‍රී ලංකාව තුළ සංස්කෘතික මිනිසෙක් බිහි කිරීම කියන අරමුණ ලේඛනාරක්ෂණ දෙපාර්තුමේන්තුවට තියෙනවා. ඒ ඔස්සේ ලංකාවේ පොදු සංස්කෘතිය පෝෂණය කරන සිංහල හෝ දෙමළ කතෝලික ජනතාවගේ සංවේදී කතා වස්තුවක් අළලා රචනා වෙච්ච ඓතිහාසික පාස්කු නාට්‍යයේ ක්‍රියාවලිය ශ්‍රව්‍ය දෘෂ්‍ය ලෙස පටිගත කරලා එය සංරක්ෂණ කිරීම සඳහා තමයි අපි මේ කටයුත්ත සූදානම් කළේ,” ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තුමේන්තුව සංවර්ධන නිලධාරි දිලිප් කුමාර නානායක්කාර බීබීසී සිංහල සේවයට පැවසීය.
පාස්කු නාට්‍යයට අදාළව අතීතයේ පැවති තත්ත්වය හා වත්මන් තත්වය පිළිබඳව සියලු තොරතුරු සංරක්ෂණය කරමින් අනාගත පරපුර වෙත දායාද කිරීම තම දෙපාර්තුමේන්තුවේ අරමුණ බව ද ඔහු කියා සිටියේ ය.
තම තොරතුරු වාර්තාකරණය කතෝලික ජනයා ජිවත්වන ප්‍රදේශවන මීගමුව පිටිපන හා දූව ගම්මාන ආශ්‍රිතව මේ වන විටත් ආරම්භ කර සිදුවෙමින් පවතින බව දිලිප් කුමාර නානායක්කාර පවසයි.
“පාස්කුව හා බැඳුන යම් යම් වටිනා උරුමයන් ඒ ජනතාව අතරම තියෙනවා. ඒ සමහර කොටස් ඒ අයගේ නිවස්වලම පවත්වාගෙන යන්න තමයි ඒ අය කැමති. ඒ නිසා එවැනි දේවල් ඒ ජන කොටස් ඇතුළතම සුරක්ෂිත කිරිම ගැන අවශ්‍ය දැනුම බෙදා දීමට ලේඛනාරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය උපදෙස් දී තිබෙනවා,” හෙතෙම තවදුරටත් කියා සිටියේ ය.












