නේපාලයේ අගමැති සිහිනය අබියස සිටින 35 හැවිරිදි රැප් ගායක බාලේන්ද්‍ර ෂා

බාලේන්ද්‍ර ෂා මෝටර් රථයක සන්රූෆ් එකෙන් එළියට පැමිණ මෝටර් රථය වටා රැස්ව සිටින ආධාරකරුවන්ගේ දෑත් අල්ලා ගනී.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

    • Author, තෝමස් මැකින්ටොෂ් සහ ඔලීවියා අයර්ලන්ඩ්
  • කියවීමේ කාලය: මිනිත්තු 4

නේපාලයේ මීළඟ අගමැති ධුරයට පත්වීමට පියවරක් ඉදිරියට තබමින් රැප් ගායක බාලේන්ද්‍ර ෂා ඔහුගේ පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශයේ දී නේපාලයේ හිටපු අගමැති ෂර්මා කේ.පී. ඔලි පරාජය කර තිබේ.

නේපාල මැතිවරණ කොමිසම සෙනසුරාදා තහවුරු කළේ 35 හැවිරිදි වියේ පසුවන ෂා ඔහුගේ මැතිවරණ කොට්ඨාශයෙන් හිටපු නායක ඔලි ලබාගත් ඡන්ද 18,734 ට සාපේක්ෂව ඡන්ද 68,348 ක් ලබා ගෙන ඇති බවයි.

ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු තරුණයින් විසින් මෙහෙයවන ලද විරෝධතා ඉකුත් සැප්තැම්බර් මාසයේදී පැවැති රජය පෙරලා දැමීමෙන් පසු පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වූ පළමු මහ මැතිවරණයේදී ස්ථාපිත දේශපාලන පන්තියට එරෙහිව වෙනසක් අපේක්ෂාවෙන් සිටින තරුණ Gen Z ඡන්දදායකයින් වෙනුවෙන් පෙනී සිටින නව පරම්පරාවේ දේශපාලනඥයන් ඉදිරිපත් විය.

ෂා නියෝජනය කරන රාස්ත්‍රිය ස්වාධීන පක්ෂය (RSP) දැන් මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම ආසන්නයට පැමිණ සිටින බව පෙනෙන්නට තිබේ.

ඉරිදා දිනය වන විට අර්ධ වශයෙන් නිකුත් වී තිබූ නිල මැතිවරණ ප්‍රතිපල අනුව මේ දක්වා ගණන් කරන ලද ඡන්දවලින් සෘජුව තේරී පත්වන ආසන සංඛ්‍යාවෙන් බහුතරයක් එම පක්ෂය සතු වී ඇති අතර එය අතිවිශාල ජයග්‍රහණයක් කරා ගමන් කරනු ඇති බව පෙන්නන්ට තිබේ.

මැතිවරණ කොමිසමට අනුව, 35 හැවිරිදි වියේ පසුවන ෂා මේ දක්වා සමානුපාතික නියෝජන ඡන්ද ගණන් කිරීමේදී ද ඉදිරියෙන් පසුවේ.

දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ නේපාලය තුළ දක්නට ලැබුණේ පක්ෂ 03 ක් විසින් මෙහෙයවනු ලැබූ සන්ධාන ආණ්ඩු වන අතර ඉන් දෙකක් කොමියුනිස්ට් පක්ෂ වේ.

මෙම මැතිවරණයට පෙර, සිය අනාගතය හැඩගැස්වීම සඳහා මෙතෙක් අත්හදා නොබැලූ නව පරපුරකට අවස්ථාව දිය යුතු බවට සෙසු රටවැසියන් ඒත්තු ගැන්වීමට 'Gen Z' ඡන්දදායකයන් සමත් වී ඇත්ද, නැතහොත් දශක ගණනාවක් බලය හෙබවූ ප්‍රබල දේශපාලනඥයන් තවදුරටත් බලය රඳවා ගනු ඇත්ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීමේ සූදානම් පැවතිණි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

රටේ තරුණ ප්‍රජාවට පළමු වරට ඡන්දදායකයින් 800,000 ක් ඇතුළත් වූ අතර, ඔවුන් ප්‍රධාන ඡන්දදායක කණ්ඩායමක් බවට පත්ව සිටියහ.

බාලේන් ලෙස ජනප්‍රිය වී සිටින ෂා, වසර ගණනාවක් නේපාල හිප් හොප් ක්ෂේත්‍රයේ සාමාජිකයෙකු වී ඇති අතර, නේපාල භාෂාවෙන් කැපකිරීම් පිළිබඳ ලියැවුණු ඔහුගේ "Balidan" ගීතය යූ ටියුබ් හි වාර මිලියන ගණනක් නරඹා ඇත.

2025 සැප්තැම්බර් මාසයේදී ඕලි විසින් සමාජ මාධ්‍ය වේදිකා තහනම් කිරීම හේතුවෙන් උද්ගත වූ Gen Z විරෝධතා සමඟ නේපාලය පුරා නොසන්සුන්තාවක් උද්ගත විය.

විරෝධතා තවත් උත්සන්න වූයේ විරෝධතාකරුවන් නේපාලයේ දේශපාලන ක්‍රමය සහ පන්ති අසමානතාවයේ සංකේතයක් බඳු වූ එරට දේශපාලනඥයන්ගේ දරුවන් හෙවත් ''නෙපෝ බබාලා'' (nepo babies) දැඩි ලෙස විවේචනය කිරීමත් සමඟය.

විරෝධතා අතරතුර පුද්ගලයන් 77 දෙනෙකු මියගිය අතර බීබීසී විමර්ශනයක් මගින් හෙළිවූයේ නිරායුධ විරෝධතාකරුවන් දහස් ගණනකට වෙඩි තබන ලෙස එරට පොලිස් ප්‍රධානියා නියෝග කර ඇති බවයි.

ෂා විරෝධතාකරුවන්ට සහාය දක්වමින් අදහස් දැක්වූ අතර එක් අවස්ථාවකදී ඔලි තම රට පාවා දුන් "ත්‍රස්තවාදියෙකු" ලෙස හඳුන්වා දුන්නේය.

සාමාන්‍යයෙන් ජනමාධ්‍ය හමුවේ පෙනී සිටීමෙන් වැළකී සිටින රැප් ගායකයා මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටියදී ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත ප්‍රකාශ කළේ තමන් "සමස්ත නේපාලයේම පොදු අපේක්ෂකයා" වන බවයි.

ෂා නියෝජනය කරන රාස්ත්‍රිය ස්වාධීන පක්ෂය පෙබරවාරි මාසයේදී ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකුත් කළ අතර එමගින් රැකියා මිලියන 1.2 ක් නිර්මාණය කිරීමට සහ බලහත්කාරයෙන් සිදු කෙරෙන සංක්‍රමණය අඩු කිරීමට පොරොන්දු වූ අතර එය මිලියන ගණනක නේපාල ජාතිකයින් විදේශගත වීමට තල්ලු කර ඇති විරැකියාව සහ අඩු වැටුප් පිළිබඳව පවතින කලකිරීමෙන් ඔවුන් මුදා ගැනීමට සිදු කළ උත්සහයක් විය.

වසර පහක් ඇතුළත නේපාලයේ ඒක පුද්ගල ප්‍රාග්ධන ආදායම ඩොලර් 1,447 සිට ඩොලර් 3,000 දක්වා ඉහළ නංවන බවත්, රටේ ආර්ථිකය ඩොලර් බිලියන 100ක දළ දේශීය නිෂ්පාදිතයක් දක්වා දෙගුණයකටත් වඩා වැඩි කරන බවටත්, ජනගහනය සඳහා සෞඛ්‍ය රක්ෂණය වැනි ආරක්ෂිත ජාල සපයන බවත් පක්ෂය පොරොන්දු වී තිබේ.