'අපි දුක්විඳින කොට දේශපාලනඥයෝ ධනවත් වෙලා; ඉතිං පැය 48 ක් තුළ ආණ්ඩුව පෙරළන්න මමත් උදව් කළා'

Tanuja Pandey holding a paper showing an anti-corruption slogan during the Gen-Z protests in Nepal

ඡායාරූප මූලාශ්‍රය, Tanuja Pandey

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය සතියේ විරෝධතා අතරතුර තනුජා පාණ්ඩේ දූෂණ විරෝධී සටන් පාඨයක් ඔසවාගෙන සිටින අයුරු
    • Author, රාමා පරාජුලි, කමල් පරියාර්
    • Role, බීබීසී නේපාලය
    • Author, කෙලී එන්ජී
    • Role, බීබීසී පුවත්
    • Author, ග්රේස් ට්සෝයි
    • Role, WSL Global Journalism

නේපාලයේ Gen Z විරෝධතාකරුවන් පැය 48කටත් අඩු කාලයක් තුළ ආණ්ඩුවක් පෙරළා දමා ඇත - නමුත් ජයග්‍රහණය පැමිණ ඇත්තේ දැඩි ප්‍රතිවිපාකයක් ද සමගයි.

"අපිට ආඩම්බරයි, නමුත් කම්පනය, පසුතැවීම සහ කෝපය මිශ්‍රවෙලා තිබෙනවා" විරෝධතා සංවිධායකයෙකු වන තනූජා පාණ්ඩේ පවසයි.

පුද්ගලයින් 72 දෙනෙකුට දිවි අහිමි කරමින් පසුගිය සතියේ පැවැති විරෝධතා දශක කිහිපයට පසු මෙම හිමාල රාජ්‍යය තුළ පැවැති මාරාන්තිකම නොසන්සුන්තාවය විය. රජයට අයත් ගොඩනැගිලි, දේශපාලඥයින්ගේ නිවාස සහ 2024 වසරේ ජුලි මාසයේ විවෘත කළ හිල්ටන් වැනි සුඛෝපභෝගී හෝටල් ගිනිබත් කර, විනාශ කර කොල්ල කා ඇත. හිටපු අග්‍රාමාත්‍යවරයෙකුගේ බිරිඳ ඔවුන්ගේ නිවසට ගිනි තැබීමෙන් අනතුරුව ඇගේ ජීවිතය සහ මරණය අතර සටනක නිරත වී සිටියි.

විරෝධතා මගින් නියෝජනය වූයේ " දශක ගණනාවක දුර්වල රාජ්‍ය පාලනය සහ රාජ්‍ය සම්පත් සූරාකෑම වෙනුවෙන් නේපාලයේ වත්මන් දේශපාලන පන්තිය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම‍යි" ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ (International Crisis Group) ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන අශිෂ් ප්‍රධාන් පැවසුවේය.

විනාශය කත්මණ්ඩු අගනුවරට පමණක් සීමා වූයේ නැත - අවම වශයෙන් රට පුරා පිහිටි පළාත් පාලන ආයතනවලට අයත් කාර්යාල 300 කට පමණ හානි සිදුව තිබේ.

කත්මන්ඩු පෝස්ට් පුවත්පතට අනුව සිදුව ඇති මූල්‍ය අලාභ නේපාල රුපියල් ට්‍රිලියන 3 ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 21.3, පවුම් බිලියන 15.6) විය හැකි අතර එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩකට ආසන්න වේ. එරට කාර්යාලවලට ද ජනයා විසින් පහර දුන් අතර ඒවා ගිනිබත් කළහ.

Saugat Thapa, in a red sweater and black trousers, stands next to a Christmas tree made of boxes of luxury brands

ඡායාරූප මූලාශ්‍රය, Instagram / sgtthb

ඡායාරූප ශීර්ෂ වැකිය, කෝපයට පත්ව සිටින තරුණ නේපාල ජාතිකයන් දේශපාලනඥයන්ගේ දරුවන් "නෙපෝ බබාලා" ලෙස හඳුන්වමින් සිටිති

'නෙපෝ බබාලා'

සැප්තැම්බර් 08 වන දා පැවැති මාරාන්තික විරෝධතාවට දින දෙකකට පෙර 24 හැවිරිදි පාරිසරික ක්‍රියාකාරිනියක වන පාන්ඩේ මෙනෙවිය කලාපය තුළ වඩාත් අවදානමට ලක්ව ඇති කඳු පන්තිවලින් එකක් වන චූරේ හි පතල් කැණීම් ප්‍රදේශයක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය වෙත මුදා හැරියාය. "නේපාලයේ සම්පත් අයිති විය යුත්තේ ජනතාවටයි, දේශපාලඥයින්ට අයත් පුද්ගලික සමාගම්වලට නොවෙයි'' යනුවෙන් ඇය සටහන් කර තිබුණේ "දූෂණයට සහ රටේ ධනය අවභාවිත කිරීමට එරෙහිව පෙළපාලි යන්න" යැයි ඇගේ සගයින්ට පවසමිනි.

ආසියාවේ බොහෝ තරුණ ව්‍යාපාර මෙන් නේපාලයේ Gen Z විරෝධතා ද නායකත්වයක් රහිත විය. රට තුළ ලියාපදිංචි කිරීමට අපොහොසත් වීම හමුවේ සමාජ මාධ්‍ය වේදිකා 26 ක් තහනම් කිරීමට නේපාල රජය තීරණය කිරීමෙන් පසුව තවත් පිරිස් පාන්ඩේ හා සමාන ඉල්ලීම් කර තිබිණි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

උපයා ගත් ආකාරය පැහැදිලි කළ නොහැකි ඔවුන්ගේ ධනය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කරමින් සිටි බලවත් දේශපාලනඥයන්ගේ දරුවන් වන "නෙපෝ බබාලා" ට එරෙහිව මාස ගණනාවක් පුරාවට දැඩි විරෝධයක් උද්ගත වෙමින් තිබිණි.

වඩාත්ම වයිරල් වූ ඡායාරූපවලින් එකක දැක්වුණේ පළාත් අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු වන සෞගත් තාපා, Louis Vuitton, Gucci සහ Cartier ඇතුලු සුඛෝපභෝගී සන්නාමවල පෙට්ටිවලින් සාදන ලද නත්තල් ගසක් අසල සිටින ආකාරයයි. ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසුවේ එය "අසාධාරණ වැරදි අර්ථකථනයක්" බවයි. තම පියා "රාජ්‍ය සේවයෙන් උපයා ගත් සෑම රුපියලක්ම ජනතාව වෙත යළි ලබා දුන්" බව ඔහු ප්‍රකාශ කළේය.

පාන්ඩේ මෙනෙවිය ''නේපෝ බබාලා'' ගේ අන්තර්ගත සියල්ල පාහේ නරඹා තිබිණි, නමුත් දේශපාලන පවුලක සුඛෝපභෝගී ජීවිතය සහ ගල්ෆ් රටක රැකියාවක් සොයා ගැනීමට සිදුව තිබූ සාමාන්‍ය නේපාල තරුණයෙකුගේ ජීවිතය එක්ව විදහා දැක්වූ වීඩියෝවකින් ඇයට තදබල පහරක් වැදුනාය.

''ඒක නැරඹීම හරිම වේදනාකාරියි, විශේෂයෙන්ම ගෞරවාන්විතව ජීවත් විමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මෙහි වැටුප් බොහෝ සෙයින් අඩු නිසා උගත් තරුණයින්ට පවා රට හැර යාමට සිදුවන බව දැනසිටීම'' ඇය පැවසුවාය.

නේපාලය යනු ප්‍රජාතන්ත්‍රවාදය අතින් ලාබාල රටකි. පුද්ගලයින් 17,000 කට අධික පිරිසක් ඝාතනයට ලක්වූ දශකයක් පමණ පැවැති මාවෝවාදී සිවිල් යුද්ධයකින් අනතුරුව 2008 වසරේදී නේපාලය ජනරජයක් බවට පත්විය.

නමුත් පොරොන්දු වූ පරිදි ස්ථාවරත්වය සහ සෞභාග්‍යය භෞතිකව හිමිවී නොමැත. වසර 17ක් තුළ නේපාලයට ආණ්ඩු 14ක් තිබූ අතර කිසිදු නායකයෙකු වසර පහක පූර්ණ ධුර කාලයක් සම්පූර්ණ කර නොමැත. කොමියුනිස්ට් පක්ෂ සහ මධ්‍යවාදී නේපාල කොන්ග්‍රසය වරින්වර බලය ලබා ගැනීමත් සමග රටේ දේශපාලනය සංගීත පුටු තරගයකට සමාන වී තිබේ. Gen Z විරෝධතා හමුවේ ධූරයෙන් ඉල්ලා අස්වූ කේ පී ශර්මා ඔලී ඇතුළුව නායකයින් තිදෙනෙකු කිහිප අවස්ථාවකදී නැවත බලයට පැමිණ තිබේ.

ඇෆ්ගනිස්ථානයට පසුපසින් සිටින දකුණු ආසියාවේ දෙවන දුප්පත්ම රට බවට පත් කරමින් නේපාලයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 1,500ට අඩුව පැවතුණි. ඇස්තමේන්තුව අනුව ජනගහනයෙන් 14% ක් පමණ විදේශ රටවල සේවය කරන අතර සෑම නිවාස තුනකින්ම එකකට ම ප්‍රේෂණ හිමිවේ.

පාණ්ඩේ මෙනෙවිය නැගෙනහිර නේපාලයේ මධ්‍යම පාන්තික පවුලකින් පැවත එන අතර ඇගේ පියා විශ්‍රාමික රජයේ ගුරුවරයෙකි. වසර තුනකට පෙර ඇයට මොළයේ ගෙඩියක් ඇති බව හඳුනාගෙන ඇති අතර ඇය තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි. වෛද්‍ය ප්‍රතිකාර බිල්පත් ඇගේ පවුල බංකොලොත්භාවයට ඇද දැමීමට ආසන්න වූ බැවින් ඇගේ වැඩිමහල් සහෝදරිය ඔවුන්ට සහය වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගියාය.

විරෝධතාවලට පෙර පාණ්ඩේ මෙනෙවිය අන් අය සමගින් කටයුතු කරමින් සාමකාමීව හා ගෞරවාන්විතව සිටීම සඳහා මාර්ගෝපදේශ සකස් කිරීමට කටයුතු කළ අතර "කොල්ලකරුවන්'' ගැන විමසිල්ලෙන් සිටින ලෙසද ජනතාවට පැවසූහ.

සැප්තැම්බර් 8 වන දා උදෑසන ඇය ඇගේ මිතුරන් පිරිසක් සමග මධ්‍යම කත්මණ්ඩු හි පිහිටි මයිටිගර් මණ්ඩල වෙත පැමිණියාය.

දහස් ගණනකට වඩා වැඩියෙන් පැමිණෙනු ඇතැයි ඇය අපේක්ෂා කළාය; පිරිස වැඩිවෙමින් පැවතුණි.

26 හැවිරිදි විරෝධතාකාරියක වන ආක්‍රතී ගිමිරේ පැවසුවේ පළමුව සෑමදෙයම සාමකාමීව සහ සහජීවනයෙන් පැවැති බවයි.

"අපි හැමෝම වාඩිවෙලා හිටියේ , අපි පැරණි නේපාල ගීත ගායනා කළා," ඇය පැවසුවාය. "සටන් පාඨ සහ සෑම දෙයක්ම ඉතා විනෝදජනක ලෙස තිබුණා, අපි ඒවා රසවිඳිමින් හිටියේ. ඊට පසුව අපි පා ගමන ආරම්භ කළා. වාහනවලින් අපේ ගමනට බාධා නොවන්න පොලීසිය එතන සිටියා.''

දහවල්වන විට රැස්ව සිටි ජනයා පාර්ලිමේන්තුවට ආසන්න නිව් බැනේෂ්වර් වෙත ගමන් කිරීම ආරම්භ වූ විට පාන්ඩේ සහ ගිමිරේ යන දෙදෙනාටම අනතුරක් දැනෙන්නට විය. මිනිසුන් යතුරුපැදිවලින් පැමිණෙන අයුරු දෙදෙනාම දුටු අතර එම මිනිසුන් සාමාන්‍ය Gen Z විරෝධතාකරුවන්ට වඩා වයසින් වැඩි බව පෙනෙන්නට තිබූ බව පාණ්ඩේ පැවසුවාය.

ඔවුන් ආක්‍රමණිකයින් වූ බව ගිමිරේ මෙනෙවිය විශ්වාස කරයි. ''යමක් වෙනුවෙන් අව්‍යාජව පැමිණි පුද්ගලයින් සහ ඊට එරෙහිව ප්‍රචණ්ඩකාරී වීමේ අදහසින් පැමිණි පුද්ගලයින් අතරින් සාමකාමී විරෝධතාකරුවන් වෙන්කර හඳුනාගැනීම අපට ඉතාමත් දුෂ්කර වුණා.''

පාර්ලිමේන්තුව අවට යොදවා තිබූ ආරක්‍ෂාව කඩ කිරීමට ඇතැම් විරෝධතාකරුවන් උත්සාහ කළ විට ඊට ප්‍රතිචාර වශයෙන් පොලිසිය කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ වෙඩි ප්‍රහාර එල්ල කළේය. ජීව උණ්ඩ භාවිත කළ බවට සාක්ෂි තිබෙන අතර පාසල් සිසුන්ට වෙඩි තැබූ බවට ද ඔවුන්ට චෝදනා එල්ල විය. සිදුවූයේ කුමක් ද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණයක් සිදුවෙමින් පවතී.

Smoke rises from the burnt Hilton Kathmandu hotel, following protests against Monday's killing of 19 people after anti-corruption protests triggered by a social media ban

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, හිල්ටන් හෝටලය ගිනි තැබීමේ ප්‍රහාරවල එක් ඉලක්කයක් විය

ව්‍යාකූල තත්ත්වය සහ ප්‍රචණ්ඩත්වය ඊළඟ දිනය දක්වාම පැතිර ගියේය. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අනෙකුත් රජයේ ගොඩනැගිලි ගිනි තැබීම මගින් පළිගැනීම සිදු කලහ. පාණ්ඩේ මෙනවිය සහ ගිමිරේ මෙනවිය නිවෙස් තුළ සිටිමින් ඔන්ලයින් ඔස්සේ තත්ත්වය නැරඹුහ.

"අවසානයේදී දේශපාලඥයින් ඔවුන් සිදු කළ සෑම දෙයකටම ප්‍රතිවිපාකවලට මුහුණපාන ආකාරය දැකීමට ලැබීම සතුටක් බව බොහෝ පුද්ගලයින් බෙදා ගත්තා" යැයි නායකයන්ගේ නිවාස විනාශ කිරීම ගැන සඳහන් කරමින් ගිමිරේ මෙනෙවිය පැවසුවාය. නමුත් ස්වභාවය ක්ෂණිකව අඳුරු විය.

''ඉන්ධන බෝතල්වලට පුරවගෙන හිටපු මිනිස්සුන්ව මං දැක්කා. ඔවුන් ඒවා ගත්තේ මෝටර් බයිසිකල්වලින්. ඔවුන් පාර්ලිමේන්තුවට පහර දෙන්න පටන් ගත්තා," පාණ්ඩේ මෙනවිය පැවසුවාය.

ශ්‍රේෂ්ඨාධිකරණය ගිනි ගන්නා අයුරු දැකීමෙන් අනතුරුව නීති උපාධිධාරිනිය එය තමාට ''පන්සලක්'' වැනි බව පවසමින් හඬා වැටුණාය. එම ස්ථානයේ රැඳි සිටි ඇගේ මිතුරන් ජලය විසි කරමින් ගින්න නිවා දැමීමට උත්සාහ කළහ. උත්සාහය නිෂ්ඵල බව ඔවුන් සියල්ලෝම දැන සිටි අතර ඔවුන් එය සිදු කළේ ඔවුන්වම සනසා ගැනීමට පමණි.

"මිනිස්සු කියන්නේ ගිනි තබපු පුද්ගලයින් චේතනාන්විතවම පැමිණ මේවා පුළුස්සා දැමූ බවයි... කවුද මේ මිනිස්සු?" ගිමිරේ මෙනවිය ප්‍රශ්න කළාය. "වීඩියෝ මගින් පෙන්නුම් කරන්නේ මෙම මිනිසුන් සියල්ලන්ම මුව ආවරණය කර සිටි බවයි.''

තත්ත්වය පාලනය කිරීමට හමුදාව යෙදවූ විට නැවත යම් සන්සුන් බවක් ඇති විය. දින ගණනාවක් පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණි. සතියකින් අනතුරුව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු සුශිලා කර්කි අන්තර්වාර අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කෙරිණි. මෙම තනතුර සඳහා විරෝධතාකරුවන් විසින් ඇයට සහාය ලබා දුන්හ.

"කාර්යක්ෂමව රට මෙහෙයවීමටත්, නියමිත කාලය තුළ මැතිවරණය පවත්වා ජනතාවට බලය පැවරීමටත් ඇයට පුළුවන් වෙයි" පාන්ඩේ මෙනවිය අපේක්ෂා කරයි.

නමුත් නේපාලයේ දේශපාලන අනාගතය පිළිබඳ බිය නොනැසී පවතී.

මින් පෙර සිදු නොවූ ආකාරයෙන් හමුදාව යුක්තියේ සහ ස්ථාවරත්වයේ හඬක් ලෙස වර්ණනා කිරීම දැකීම කණගාටුවට කරුණක් වූ බව කොලොම්බියා විශ්ව විද්‍යාලයේ දකුණු ආසියාවේ විශේෂඥවරියක වන රුමේලා සෙන් පැවසුවාය.

හමුදාවේ ආරාධනය අනුව දුර්ගා ප්‍රසායි මූලික සාකච්ඡාවට සම්බන්ධ වීම සමග බොහෝ පිරිසක් අපහසුතාවයට පත්ව සිටියි.

ප්‍රසායි අත්අඩංගුවට ගනු ලැබුවේ මාර්තු මාසයේ පැවැති රාජාණ්ඩු පක්ෂපාතී ප්‍රචණ්ඩ විරෝධතා වලදී ඔහු දැක්වූ භූමිකාව සඳහායි. ඔහු ඉන්දියාවට පලා ගිය නමුත් යළි නේපාලයට පැමිණියේය. Gen Z විරෝධතාකරුවන් පිටව ගියහ.

People take part in a candlelight vigil in memory of people who died during the protest against anti-corruption triggered by a social media ban

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මේ අතර, ඝාතනයට ලක්වූ විරෝධතාකරුවන්ගේ පවුල් ඔවුන්ගේ මරණ සමග කම්පාවට පත්ව සිටියහ.

"අපේ ආදරණීය පුතා අපට අහිමි වීම නිසා අපි දැඩිව කම්පනයට පත්වෙලා ඉන්නේ" යුබරාජ් නියුපනේ පැවසුවේය. 23 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ පුත්‍රයා වූ යෝගේන්ද්‍ර විරෝධතාවලදී මිය ගියේය. "ඔහු මියගියේ කොහොම ද කියලා මං තවම දන්නේ නෑ.''

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසලදී යෝගේන්ද්‍රගේ හිස පිටුපසට වෙඩි වැදී ඇත.

අග්නිදිග නේපාලයේ සිට පැවත ආ පවුලේ වැඩිමහල් පුත්‍රයා කත්මණ්ඩු හි අධ්‍යාපනය හැදෑරූ අතර රාජ්‍ය සේවකයෙකු වීමට බලාපොරොත්තුවෙන් පසුවිය. ඔහු නිතරම අධ්‍යයන කටයුතුවල නිරත වෙමින් සිටි බව මිතුරන් සහ ඥාතීන් පැවසූහ.

නමුත් සැප්තැම්බර් 8 වෙනිදා ඔහු ඔහුගේ මිතුරන් සමඟ විරෝධතාවලට සම්බන්ධ වූයේ රටට වෙනසක් උදාකර දීමේ සිහින දකිමින් ය. තත්ත්වය උණුසුම් වීමට පටන් ගැනීමෙන් අනතුරුව ඔහු ඔවුන්ට කතාකරන තුරු ඔහු එම ස්ථානයේ සිටි බව ඔහුගේ පවුල දැන සිටියේ නැත.

"වෙනසක් ඉල්ලමින් සිටි අපේ ආදරණීයයාට ඔහුගේ ජීවිතය අහිමි වෙලා තියෙනවා" ඔහුගේ ලොකු මාමා සෞභාග්‍ය පැවසුවේය. "ඔහුගේ රුධිරය සහ පරිත්‍යාගය පිළිගැනීමට ලක්විය යුතුයි, එවිට අනාගතයේදී අනෙකුත් තරුණයින්ට නැවත පාරට බැසීමට සිදු නොවේවි."

ඇගේ රටේ අනාගතය පිළිබඳව තමා ප්‍රවේශම්සහගතව සර්ව සුබවාදීව සිටි බව පාණ්ඩේ පැවසුවාය, නමුත් පසුගිය සතියේ කම්පනය ඇගේ දිවියේ ඉතිරි කාලය පුරාවට පවතිනු ඇත.

මෙය ඇගේ පරම්පරාව සඳහා දේශපාලන පිබිදීමකි.

"තවදුරටත් නිශ්ශබ්දව සිටීමට හෝ අසාධාරණය පිළිගැනීමට අපි කැමති නැහැ," ඇය පවසයි. "මෙය හුදෙක් මෘදු තල්ලුවක් නෙමෙයි. එය දශක ගණනාවක් පුරා බලය රැස්කර තබා ගෙන සිටි පද්ධතියකට එල්ල කළ ප්‍රබල අභියෝගයක්."