ඩිලිවරි රියැදුරෙකු වාහනයකට යට කර ඝාතනය කිරීමෙන් පසු ඉන්දුනීසියාවේ සිදුව ඇති මහජන කැළඹීම

An upturned vehicle blaze sin flames while two silhouetted figures appear to cheer in the background

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විරෝධතා අඛණ්ඩව ඉහළ යාමත් සමග ගොඩනැගිලි ගිනි තැබූ අතර නිවාස කොල්ලකෑම් සිදුවිය
    • Author, ගැවින් බට්ලර්
    • Role, බීබීසී පුවත්

ඉන්දුනීසියාව පුරා රාජ්‍ය විරෝධී නොසන්සුන් තත්ත්වයන් පැතිර යද්දී විරෝධතාකරුවන් ඝාතනය කිරීම්, ගොඩනැගිලි ගිනි තැබීම් මෙන් ම දේශපාලනඥයන්ගේ නිවාස කොල්ලකෑම් වාර්තා වෙමින් තිබේ. බලධාරීහු බලය භාවිත කරමින් ප්‍රතිචාර දක්වති.

ජීවන වියදම සහ දේශපාලන ප්‍රභූන් කෙරෙහි වූ මහජන කලකිරීම හේතුවෙන් තීව්‍ර වූ විරෝධතාවල ආරම්භය ඇති වූයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අධික වැටුප් ලබා දීම සහ නිවාස දීමනා ලබා දීම හෙළා දකිමින් අගෝස්තු 25 වන දින ජකර්තාහිදී පැවති විරෝධතාවකිනි.

සතිය අවසන් වන විට, සිදුවීම් ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය විය. බ්‍රහස්පතින්දා රාත්‍රියේ, විරෝධතාකරුවන් සහ බලධාරීන් අතර උත්සන්න වූ ගැටුම්වලින් පසුව, ජකර්තාහි පොලිසිය 21 හැවිරිදි යතුරුපැදිකරුවෙකු (rideshare driver) වූ අෆාන් කුර්නියාවන් වාහනයකින් යට කර ඝාතනය කළේ ය.

ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ සහ පොලිස් ප්‍රධානියා ඔහුගේ මරණය සම්බන්ධයෙන් සමාව අයැද සිටි නමුත් එය තවදුරටත් සමාජ අතෘප්තියට හේතු විය. එම විරෝධතා දැන් බටහිර ජාවා සිට බාලි සහ ලොම්බොක් දූපත් දක්වා පැතිරී ඇත.

ඉන්දුනීසියාවේ ආර්ථික කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍යවරයාට අනුව, සඳුදා (සැප්. 1) වන විට විරෝධතාවලින් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තිබිණි.

විරෝධතාවලට තුඩු දුන් වරප්‍රසාද

විරෝධතා සඳහා ප්‍රධාන හේතුව වූයේ එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙන දීමනාව වැඩි කිරීමට ඉන්දුනීසියානු රජය ගත් තීරණය යි.

පසුගිය මාසයේ ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කළේ, ඔවුන්ට මසකට ඉන්දුනීසියානු රුපියා මිලියන 100කට (ඇමෙරිකානු ඩොලර් 6,150කට) වැඩි මුදලක් ගෙවන බව ය. එය සාමාන්‍ය ජාතික ආදායම මෙන් 30 ගුණයකටත් වඩා වැඩි ය. ඊට සැලකිය යුතු නිවාස දීමනාවක් ද ඇතුළත් ය.

මේ අතර, ජීවන වියදම් අර්බුදයක් හේතුවෙන් එදිනෙදා ඉන්දුනීසියානුවෝ අරගල කරමින් සිටියහ.

"රජය ප්‍රතිපාදන කප්පාදු කිරීමේ පියවරක් අරගෙන තිබුණු වෙලාවක සහ රටේ මිනිස්සුට ආර්ථික වශයෙන් අනාරක්ෂිත බවක් දැනුණු අවස්ථාවක දැනටමත් ධනවත් ඉන්දුනීසියාවේ දේශපාලන පන්තියේ ආදායම් තවත් ඉහළ යනවා කියන හැඟීම ජනතාව කෝපයෙන් පුරවලා ඒ කෝපය ප්‍රකාශ කරන්න වීදිවලට බැස්සුවා," ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ඉන්දුනීසියානු ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ඊව් වෝබර්ටන් බීබීසීයට පැවසීය.

අෆාන්ගේ මරණයෙන් පසු මෙම විරෝධතා වේගයෙන් වර්ධනය වූ අතර, එතැන් සිට ඒවා දේශපාලනික කාරණා පමණක් නොව පොලිසියේ කෲරත්වය සහ වගවීම පිළිබඳ ගැටලු ද ඉලක්ක කර ගත් විරෝධතා දක්වා වර්ධනය වී තිබේ.

නමුත් මහජන කෝපයට හේතු වන වෙනත් පද්ධතිමය ගැටලු තිබේ: [දේශපාලනික] දූෂණය, සමාජ අසමානතාව සහ ධනවතුන් සහ බලවතුන් අසාධාරණ ලෙස බලනොපාන බව පෙනෙන ආර්ථික අපහසුතා ඉන් සමහරකි.

A person in green "gojek" rideshare uniform, helmet and facemask holds a sketch of a person's face while standing in front of a flaming building

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය සතියේ පොලිසිය 21 හැවිරිදි යතුරු පැදිකරුවෙකු සිය වාහනයකින් යට කර ඝාතනය කිරීමත් සමග විරෝධතා තවදුරටත් උත්සන්න විය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන අධික වරප්‍රසාද දැක්කා ම ප්‍රභූ පැලැන්තිය බාහිර සමාජයෙන් වියුක්ත වෙලා සුඛෝපභෝගී ජීවිතයක් ගත කර බවක් පේනවා, ඒකෙන් ජනතාවට යුක්තිය ගැන ඇති වෙන්නේ අප්‍රසන්න හැඟීමක්," මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ආසියා ආයතනයේ ආසියානු අධ්‍යයන පිළිබඳ මහාචාර්ය වෙදි අදිස් පැහැදිලි කළේ ය.

රට පුරා ක්‍රියාත්මක විරෝධතා මැඩපැවැත්වීමේ උත්සහයක් ලෙස, ජනාධිපති ප්‍රබෝවෝ ඉරිදා නිවේදනය කළේ, ඇතැම් දීමනාවල ප්‍රමාණය ඇතුළුව දේශපාලනඥයින්ට රාජ්‍ය අරමුදල්වලින් ලබා දෙන වරප්‍රසාද කිහිපයක් සීමා කරන බව ය.

විරෝධතාකරුවන් විසින් මෙම පියවර පිළිගන්නා ලද නමුත්, ඇතැමෙකු යෝජනා කරන්නේ එය ප්‍රමාණවත් නොවනු ඇති බව ය.

සමස්ත ඉන්දුනීසියානු ශිෂ්‍ය සංගමයේ හිටපු මධ්‍යම සම්බන්ධීකාරක හෙරියන්ටෝ බීබීසීයට පැවසුවේ, මෙම නිවේදනය "නිවැරදි දිශාවට තැබූ පියවරක් නමුත් එය අතෘප්තියට හේතු වූ කරුණු ආමන්ත්‍රණය නොකරන" බව ය.

"ඒක එක් ගැටලුවක් ගැන පමණක් නෙවෙයි, අසමානතාව, පාලනය සහ වගවීම පිළිබඳ දිගුකාලීන ගැටලු ගැන," ඔහු පැහැදිලි කළේ ය. "සංකේතාත්මක වෙනස්කම් වැදගත්, නමුත් ජනතාව වඩාත් ගැඹුරු ප්‍රතිසංස්කරණ අපේක්ෂා කරනවා, විශේෂයෙන් කෘෂිකාර්මික ප්‍රතිපත්ති, අධ්‍යාපනය සහ සාධාරණ ආර්ථික අවස්ථා වැනි සාමාන්‍ය පුරවැසියන්ට බලපාන ක්ෂේත්‍රවල."

"අවසාන ඉලක්කය වන්නේ වඩාත් වගවන, විනිවිදභාවයකින් යුක්ත සහ ජනතාව කේන්ද්‍ර කරගත් පාලනයක් සඳහා තල්ලු කිරීමයි."

A woman strikes a police officer with a bamboo stick as police push back students during a protest outside the parliament building against lawmakers' demands for higher allowances in Jakarta on August 28, 2025. (Photo by BAY ISMOYO / AFP) (Photo by BAY ISMOYO/AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

මර්දනය

දේශපාලනඥයින්ගේ ප්‍රතිලාභ අහෝසි කරන අතරතුර, දේශපාලන පක්ෂ සාමාජිකයින්ගේ නිවාස සහ රාජ්‍ය ගොඩනැගිලි කොල්ලකා ගිනි තැබීමෙන් පසු කැරලිකරුවන්ට, කොල්ලකරුවන්ට සහ ගිනි තබන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ප්‍රබෝවෝ හමුදාවට සහ පොලිසියට නියෝග කළේ ය.

විරෝධතාකරුවෝ ඉන්දුනීසියාවේ පළාත් කිහිපයක ප්‍රාදේශීය ව්‍යවස්ථාදායක සභා ගොඩනැගිලිවලට ගිනි තැබූහ.

මකසාර් නගරයේ, ප්‍රාදේශීය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලකට ගිනි තබා තිබුණේ අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවමින් සහ තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු කරමිනි. දැවෙන ගොඩනැගිල්ල තුළ පුද්ගලයින් සිරවී සිටින බවට වාර්තා විය.

මේ අතර, ජකර්තාහිදී, කෝපයට පත් කලහකාරී පිරිසක් ප්‍රාදේශීය ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නිවාසවලට කඩා වැදී සුඛෝපභෝගී භාණ්ඩ කොල්ල කෑහ. එලෙස කොල්ල කන ලද්දේ තම ඉහළ වැටුප් විවේචනය කළ විරෝධතාකරුවන් පිළිබඳව මීට පෙර අනුකම්පා විරහිත ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ය.

මෙම නොසන්සුන්තාව හේතුවෙන් ප්‍රබෝවෝ චීන සංචාරයක් අවලංගු කළ අතර, ඔහු ම තත්ත්වය ඍජුව නිරීක්ෂණය කර විසඳුමක් සොයා ගැනීමට පොරොන්දු විය.

සජීවී වීඩියෝ මහජනයා එක්රැස් කිරීමට උපකාරී වනු ඇතැයි යන කණස්සල්ල මධ්‍යයේ, ප්‍රකෝපකාරී අන්තර්ගතයන් සීමා කිරීමේ උත්සහයක් ලෙස, ටික්ටොක් සමාගම ඉන්දුනීසියාවේ එහි සජීවී ප්‍රවාහ විශේෂාංගය (live streaming feature) "ඉදිරි දින කිහිපය සඳහා" අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

හෙරියන්තෝ පවසන්නේ, සමස්තයක් ලෙස බලධාරීන් තත්ත්වය [හොඳ සහ නරක] "මිශ්‍ර" ආකාරයකින් හසුරුවන බව ය.

"එක් අතකින්, මේ සංවාදය පවත්වා ගැනීමට යම් යම් උත්සහයන් දරලා තියෙනවා. නමුත්, අනෙක් පැත්තෙන්, අධික බලය යෙදවීම කණස්සල්ලට හේතු වෙලා," ඔහු පැවසීය. "බලධාරීන් සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය ආරක්ෂා කළ යුතු යි වගේ ම, ඒවා මර්දනය නොකළ යුතු යි."

විරෝධතා පවතින ප්‍රදේශවල විදුලි පහන් නිවා දැමීම සහ රබර් උණ්ඩ භාවිත කිරීම ඇතුළුව මර්දනයන් තීව්‍ර කරන ලෙස බලධාරීන්ට ප්‍රබෝවෝ දුන් උපදෙස් හෙරියන්තෝගේ කණස්සල්ල තවදුරටත් වැඩි කර ඇත්තේ පොලිස් කෲරත්වය පිළිබඳ බිය ද වැඩි කරමිනි.

"සංවාදයට වඩා ආරක්ෂක පියවරයන්ට රාජ්‍යය ප්‍රමුඛත්වය දෙන විට, අධික බලය හා මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ අවදානම වැඩි වන බව ඉතිහාසය අපට පෙන්වා දී තිබෙනවා," ඔහු පවසයි.

"බලධාරීන් සංයමයෙන් කටයුතු කර ගැටුම් වර්ධනය කරනවා වෙනුවට වඩා ගැටුම් අවම කිරීමට ප්‍රමුඛත්වය දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා."

වෙනසක් සඳහා අවස්ථාවක්

විරෝධතා කොතැනකින් කෙළවර වෙයි ද යන්න පැහැදිලි නැත. ඒවා තවදුරටත් ප්‍රචණ්ඩත්වය හා මර්දනය දක්වා තීව්‍ර වනු ඇති ද නැතහොත් සහන ලබා දීමට රජයට බල කරනු ඇති ද යන්න අපැහැදිලි ය.

නමුත් ප්‍රතිඵලය කුමක් වුවත්, මෙම තත්ත්වයෙන් නියෝජනය වන්නේ 2024දී ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ප්‍රබෝවෝ මුහුණ දෙන බරපතළ ම නායකත්ව අභියෝගය යි.

"ඒක ප්‍රධාන පරීක්ෂණයක්,"ආචාර්ය වෝබර්ටන් පැවසීය. "අධික රාජ්‍ය ප්‍රචණ්ඩත්වය හෝ මර්දනය භාවිත නොකර, විරෝධතාකරුවන් සන්සුන් කර විරෝධතා නැවැත්වීමට ඔහුට හැකි වෙයි ද? ප්‍රශ්නය ඒක යි."

බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු විශේෂ බළකායේ අණදෙන නිලධාරියෙකු වන ප්‍රබෝවෝ, තරුණ ඡන්දදායකයින් දිනා ගැනීම සඳහා "හුරුබුහුටි" ටික්ටොක් වීඩියෝ හරහා තමාව නැවත ගොඩනගා ගත්තේ ය.

නමුත් බොහෝ ඉන්දුනීසියානුවන් ඔහුව සිහිපත් කරන්නේ ඒකාධිපති පාලන තන්ත්‍රයක නිලයන් හරහා ඉක්මනින් ඉහළට ආ හමුදා ඒකාධිපති සුහර්තෝගේ බෑණා ලෙස ය.

පසුගිය වසරේ මැතිවරණයෙන් ඔහුගේ ජයග්‍රහණය යම් කණසල්ලකින් යුතුව පිළිගනු ලැබූ අතර, මේ වසරේ පෙබරවාරි මාසයේදී සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා අයවැය මගින් වෙන් කෙරෙන ප්‍රතිපාදන කප්පාදු කිරීම සම්බන්ධයෙන් ඔහු ශිෂ්‍ය විරෝධතාකරුවන්ගේ කෝපයට නතු විය.

ප්‍රබෝවෝ නිසැකව ම ශිෂ්‍ය විරෝධතාවල බලය දනී. ඒවා සුහර්තෝගේ පාලනය බිඳ දැමීමට උපකාරී විය. එබැවින් ඔහු ප්‍රතිචාර දක්වන ආකාරය තීරණාත්මක වනු ඇත.

ජකර්තා අගනුවර ආරක්ෂක පියවරයන් බලධාරීන් විසින් තීව්‍ර කරනු ලැබීමෙන් පසු විරෝධතා පැවැත්විය "නොහැකි තත්ත්වයන්" පවසමින් ඇතැම් ඉන්දුනීසියානු සිසුන් සහ සිවිල් සමාජ කණ්ඩායම් ජකර්තාහි විරෝධතා අවලංගු කිරීමත් සමග සඳුදා කෙටි විවේකයක් දක්නට ලැබිණි.

පොලිසිය නගරය පුරා මුරපොළවල් පිහිට වූ අතර, නිලධාරීන් සහ හමුදාව නගරය පුරා මුර සංචාරවල නිරත වූහ. එමන් ම ප්‍රධාන ස්ථානවලට ස්නයිපර් තුවක්කුකරුවන් යෙදවීය.

කෙසේ වෙතත්, බොහෝ මූලික ආර්ථික ගැටලු තවමත් නොවිසඳී පවතින බැවින්, මෑත කාලීන උද්ධමනය අයිස් කුට්ටියේ අවසානය විය හැකි බවට ඇතැම් විශේෂඥයෝ අනතුරු අඟවති.

Prabowo Subianto in a white shirt and black hat stands behind a podium

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ තම රජය මෙතෙක් මුහුණ දී ඇති විශාලතම අභියෝගයට මුහුණ දී සිටී

හදිස්ට අනුව, වත්මන් රාජ්‍ය විරෝධී පෙළපාළිවලට එතරම් බලයක් ලබා දී ඇත්තේත්, මෑත වසරවලදී ඉන්දුනීසියානුවන් දියත් කළ අනෙකුත් බොහෝ පෙළපාළිවලින් ඒවා වෙන් කර දක්වන්නේත් මෙම කාරණාවල ගැඹුර සහ පළල නිසා ය. ඒවා "ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමෙන් පසු ඇති වූ වඩාත් ම වැදගත් විරෝධතා අතරට" එක්වේ.

එය 1998දී සුහර්තෝගේ පාලනය බිඳ වැටීමෙන් පසු ඇති වූ ප්‍රතිසංස්කරණ පිළිබඳව සඳහනක් වන අතර එය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ස්ථාවරත්වයේ යුගයක් උදා කළේ ය.

මෙම විරෝධතාවල වැදගත්කම "පසුගිය දශක දෙක තුළ අප දුටු දෙයට වඩා බෙහෙවින් වෙනස්" බවට ආචාර්ය වෝබර්ටන් ද එකඟ වේ.

"මෑත වසරවලදී, බොහෝවිට ප්‍රගතිශීලී සිසුන් සහ ක්‍රියාකාරීන් විසින් මෙහෙයවනු ලබන ජනප්‍රිය විරෝධතා රැළි ඇති වී තිබෙනවා," ඇය පැහැදිලි කළා ය.

"වත්මන් විරෝධතා වෙනස් - දුක්ගැනවිලි වඩාත් ගැඹුරට දිවෙනවා වගේ ම ඒවා වඩාත් පුළුල් ලෙස දැනෙනවා. මෙම විරෝධතා මගින් පිළිබිඹු වන්නේ ජනතාව තුළ ආර්ථික අනාරක්ෂිතභාවය පිළිබඳ හැඟීම සහ තමන් විසින් තෝරා පත් කර ගන්නා ලද නිලධාරීන්ගේ කෑදරකම සහ තමන් දුක් විඳිද්දී සුඛෝපභෝගී ජීවිත ගත කරන ඔවුන් කෙරෙහි තියෙන කෝපය."

පාර්ලිමේන්තු ප්‍රතිලාභ අවලංගු කිරීම සහ අෆාන්ගේ මරණයට හේතු වූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරීම යන විරෝධතාවලට තුඩු දුන් ඉල්ලීම්වලට ප්‍රබෝවෝ ප්‍රතිචාර දක්වන අතරතුර, විරෝධතා සංවිධායකයින් මහජන බලය භාවිත කරමින් පුළුල් පද්ධතිමය ප්‍රතිසංස්කරණයක් සඳහා බල කිරීමට බලාපොරොත්තු වේ.

"මේ අවස්ථාව වැදගත්," හෙරියන්තෝ පවසයි. "සමාජ ව්‍යාපාර බොහෝ විට මතුවන්නේ ගොඩගැසුණු දුක්ගැනවිලිවලට ප්‍රතිචාර වශයෙන් වන අතර, මෙවැනි අවස්ථා හැරවුම් ලක්ෂ්‍ බවට පත්විය හැකි ය.

"එය අර්ථවත් වෙනසකට මග පාදන්නේ ද යන්න රඳා පවතින්නේ හුදෙක් දේශපාලන හෝ ප්‍රභූ අවශ්‍යතා ආරක්ෂා කිරීමට වඩා, ජනතාවගේ අවශ්‍යතාවලට සවන් දී ක්‍රියා කිරීමට නායකයින් දක්වන කැමැත්ත මත ය."

අතිරේක වාර්තාකරණය: බීබීසී ඉන්දුනීසියානු සේවය