තනි කාන්තාවකගේ ආධිපත්‍යට නතු වූ බංග්ලාදේශ මහ මැතිවරණය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බංගලාදේශයේ මහ මැතිවරණය ජනවාරි 7 වැනිදා පැවැත්වෙන අතර එහි ප්‍රතිඵලය දැනටමත් කුමක් විය හැකි ද යන්න පෙනේ.
ප්‍රධාන විරුද්ධ පක්ෂ ඡන්ද විමසීම වර්ජනය කිරීම සහ ඔවුන්ගේ නායකයින් බොහෝ දෙනෙකු සිරගතව සිටින පසුබිමක, පාලක අවාමි ලීගය අඛණ්ඩව සිව් වන වරටත් පාර්ලිමේන්තුවට නැවතත් තේරී පත්වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වී තිබේ.
මෙම විරුද්ධ පක්ෂ අතුරින් විශාලතම පක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) සහ එහි මිත්‍ර පක්ෂ පවසන්නේ, අගමැතිනි ෂෙයික් හසීනා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වනු ඇතැයි තමන්ට විශ්වාසයක් නොමැති බව ය.
ඔවුන් ඇයගෙන් ඉල්ලා සිටියේ ධුරයෙන් ඉවත් වන ලෙස ත් මධ්‍යස්ථ අන්තර්වාර රජයක් යටතේ මැතිවරණය පැවැත්වීමට ඉඩ දෙන ලෙස ත් ය. එය ඇය ප්‍රතික්ෂේප කළ ඉල්ලීමක් විය. එබැවින් ඡන්ද පත්‍රිකාවේ සිටින අපේක්ෂකයින් සියල්ලන් ම අවාමි ලීගයේ, එහි මිත්‍ර පක්ෂවල හෝ ස්වාධීන පිරිස් වනු ඇත.
"බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය මැරිලා ගිහින්. ජනවාරියේ අපි දකින්න යන්නේ ව්‍යාජ මැතිවරණයක්" යැයි බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන අබ්දුල් මොයින් ඛාන් බීබීසීය වෙත පැවසීය.
වසර ගණනාවක් පුරා ෂෙයික් හසීනා ඒකාධිපති පාලකයෙකු ලෙස වැඩි වැඩියෙන් වර්ධනය වී ඇති ආකාරය ගැන ඔහු නැවත නැවතත් තම දැඩි කනස්සල්ල පළ කරයි. තම පාලන කටයුතු සම්බන්ධයෙන් වගකීම ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඇයට බලපෑම් කිරීමට වැඩි යමක් නොකරන්නේ මන්දැයි විචාරකයෝ ප්‍රශ්න කරති.
එය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවට වන චෝදනා ඇගේ රජය තරයේ ප්‍රතික්ෂේප කරයි.
“මැතිවරණ තීරණය වන්නේ ඡන්දය දෙන ජනතාවගේ සහභාගීත්වය මත. මේ මැතිවරණයට බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) හැර බොහෝ දේශපාලන පක්ෂ සහභාගී වෙනවා," නීති කටයුතු පිළිබඳ අමාත්‍ය අනිසුල් හක් බීබීසීයට පැවසීය.
දියුණුවේ අහිතකර ප්‍රතිඵල
හසීනා යටතේ බංග්ලාදේශය වෙනස් චිත්‍රයක් ගෙන හැර දක්වයි. කලක් ලෝකයේ දුප්පත් ම රටක් වූ බහුතර මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන බංග්ලාදේශය 2009 සිට ඇයගේ නායකත්වය යටතේ සැලකිය යුතු ආර්ථික සාර්ථකත්වයක් අත්කර ගෙන ඇත.
එය දැන් එහි ප්‍රබල අසල්වැසි ඉන්දියාව පවා අභිබවා යමින් කලාපයේ වේගයෙන් ම වර්ධනය වන ආර්ථිකයක් ඇති රටවල්වලින් එකකි. පසුගිය දශකය තුළ එහි ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි වී ඇති අතර පසුගිය වසර 20 තුළ මිලියන 25කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති බවට ලෝක බැංකුව ගණන් බලා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එරට විදේශ විනිමය සංචිත 2021 අගෝස්තු මාසයේදී වාර්තාගත ඩොලර් බිලියන 48 (පවුම් බිලියන 38) සිට දැන් ඩොලර් බිලියන 20 දක්වා පහත වැටී ඇත. එය මාස තුනක ආනයන සඳහා හෝ ප්‍රමාණවත් නොවේ. එරට විදේශ ණය ද 2016 සිට දෙගුණයකින් වැඩි වී තිබේ.
ආර්ථික සාර්ථකත්වය ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් උල්ලංඝණය කරමින් පැමිණ ඇති බව පවසන විවේචකයෝ, හසීනාගේ පාලනය ඇගේ දේශපාලන විරුද්ධවාදීන්ට, විවේචකයින්ට සහ මාධ්‍යයට එරෙහි මර්දනකාරී ඒකාධිපති ක්‍රියාමාර්ග පෙන්නුම් කර ඇති බවට චෝදනා කරති.
නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ට එරෙහිව "අඛණ්ඩව ගෙන ගිය අධිකරණ හිංසන" නවත්වන ලෙස ඉල්ලා සිටිමින් හිටපු එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා, වර්ජින් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ රිචඩ් බ්‍රැන්සන් සහ U2 සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායක බෝනෝ ඇතුළු ලොව පුරා දැවැන්ත පුද්ගලයින් 170කට අධික සංඛ්‍යාවක් අගෝස්තු මාසයේදී හසීනා වෙත විවෘත ලිපියක් ලියූහ.
මෑත මාස කිහිපයේදී, ආණ්ඩු විරෝධී විරෝධතාවලින් පසුව බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ දහස් ගණන් ආධාරකරුවන් සමග එහි ජ්‍යෙෂ්ඨ නායකයින් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන නොමැති බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනාගෙන් එක් අයෙකු වන ඛාන් චෝදනා කරන්නේ, පක්ෂ ආධාරකරුවන් 20,000කට වැඩි ගණනක් "අභූත සහ ව්‍යාජ චෝදනා" මත අත්අඩංගුවට ගෙන ඇති අතර, මිලියන ගණනක පක්ෂ ක්‍රියාකාරීන්ට එරෙහිව නඩු පවරා ඇති බව ය.
බංග්ලාදේශ රජය මෙය ප්‍රතික්ෂේප කරයි.
රඳවාගෙන සිටින බව බීඑන්පී චෝදනා කරන එහි ආධාරකරුවන් සංඛ්‍යාව ගැන සඳහන් කරමින් හක් පවසන්නේ, "මම පරීක්ෂා කරලා බැලුවා, ඒක ඒ අය කියන ගාණින් භාගයක්. දාලා තියෙන සමහර නඩු 2001 සහ 2014 මැතිවරණවලදී සිදු වූ ප්‍රචණ්ඩ සිදුවීම් දක්වා දිව යනවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙසේ වෙතත්, සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ හසීනා යටතේ දේශපාලනික පරමාර්ථයෙන් යුත් අත්අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතන සහ වෙනත් අපයෝජන ඉහළ යමින් පවතින බව ය. හියුමන් රයිට්ස් වොච් මෑතකදී විපක්ෂ ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීම ආණ්ඩුව විසින් සිදු කරනු ලබම "ප්‍රචණ්ඩ ඒකාධිපතිවාදී මර්දනයක්" ලෙස හැඳින්වීය.
කලක් බහු-පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් කළ නායකයෙකුගේ එම වෙනස සැලකියයුතු වෙනසකි.
1980 ගණන්වල ෂෙයික් හසීනා ජෙනරල් හුසේන් මුහම්මද් එර්ෂාඩ්ගේ පාලන සමයේදී ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතී වීදි විරෝධතා පැවැත්වීම සඳහා ඇගේ උග්‍ර ප්‍රතිවාදියා වූ බේගම් ඛලීඩා සියා ඇතුළු අනෙකුත් විපක්ෂ නායකයින් සමග අත්වැල් බැඳ ගත්තා ය.
එරට පළමු නායකයා වූ ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ වැඩිමහල් දියණිය වන හසීනා 1996 වසරේදී බහුපක්ෂ මැතිවරණයකින් ප්‍රථම වරට බලයට පත් විය. ඉන් පසුව ඇය 2001 මැතිවරණයෙන් ඛලීඩා සියා විසින් නායකත්වය දෙන ලද බීඑන්පී පක්ෂයට පරාජය වූවා ය.
මෙම කාන්තාවන් දෙදෙනා එරට හඳුන්වනු ලබන්නේ, "සටන් වදින බේගම්වරියන්" ලෙසිනි. බේගම් යන්නෙන් අදහස් කරන්නේ උසස් නිලයක් දරන මුස්ලිම් ජාතික කාන්තාවකි.
බේගම් සියා මේ වන විට දූෂණ චෝදනා මත නිවාස අඩස්සියේ තැබීම ත් සෞඛ්‍ය සංකූලතාවලට මුහුණ දීමත් සමග, බීඑන්පීයට භූමිය තුළ කටයුතු කිරීමට ක්‍රියාශ්‍රීලී නායකත්වයක් අහිමිව ගොස් ඇත.
මෙම තත්ත්වය විපක්‍ෂ නායකයින් සහ ආධාරකරුවන් ක්‍රමානුකූලව අත්අඩංගුවට ගෙන වරදකරුවන් කිරීම මගින් උග්‍ර බවට හැරී තිබේ. බොහෝ පිරිස් තර්ක කරන්නේ, මෙය අවාමි ලීගය විසින් හිතාමතා ම සිදුකරනු ලැබ ඇත්තේ, මැතිවරණයට පෙර බීඑන්පීට අඩපණ කිරීමට බව ය.
සායඩ් මියා වැනි BNP යේ බොහෝ ආධාරකරුවන් හිංසනවලින් බේරීමට සැඟවී ඇත. 28 හැවිරිදි ඔහු, ඔහුගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා අප නම වෙනස් කර ඇති අතර, දේශපාලන විරෝධතාවකට සහභාගී වීම හේතුවෙන් සැප්තැම්බර් මාසයේදී මාසයක් සිරගතව සිටියේ ය.
මියා දැනට ජීවත් වන්නේ, ඔහුගේ පක්ෂ සගයන් තිදෙනෙකු සමග වනාන්තර ප්‍රදේශයක කූඩාරමක ය. ඔවුන් සියලු දෙනා ම රැලියක් අතරතුර සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති ගිනි තැබීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අවශ්‍ය කරන අය වෙති.
"අපි මාසයකටත් වැඩි කාලයක් තිස්සේ තැන් වෙනස් කර කර හැංගිලා ඉන්නේ. අපට එරෙහිව තියෙන හැම චෝදනාවක් ම බොරු," මියා බීබීසීයට පැවසීය.
නරක අතට හැරෙමින් ඇති මානව හිමිකම් තත්ත්වය ජාත්‍යන්තර ආයතන අතර කනස්සල්ලට හේතු වී තිබේ.
"වර්තමාන තත්ත්වය දිහා බැලුවා ම පේනෙන්නේ, ඒක එක ම සිදුවීමක් සම්බන්ධයෙන් බොහෝ විට විරුද්ධ පක්ෂවල ක්‍රියාකාරීන් දහස් ගණනක් කොටු කර ගැනීමේ පුළුල් පදනමකින් හෝ වගවිභාගයකින් තොර ප්‍රවේශයක් විදිහට," ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ආසියා පැසිෆික් ප්‍රධානී රෝරි මුන්ගෝවන් බීබීසීය වෙත පැවසීය.
"ඕනෑ ම ආකාරයක ප්‍රචණ්ඩත්වයකට ඉලක්කගතව දක්වන ප්‍රතිචාරයකට වඩා විරුද්ධත්වය පුළුල් ලෙස මර්දනය කිරීමක් විදිහට තමයි පේන්නේ."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් පිරිසක් ද නොවැම්බරයේ අනතුරු ඇඟවීම් සිදු කළහ. "මාධ්‍යවේදීන්ට, මානව හිමිකම් ආරක්ෂකයින්ට සහ සිවිල් සමාජ නායකයින්ට පහර දීම සඳහා අධිකරණ පද්ධතිය ආයුධකරණය කිරීම අධිකරණයේ ස්වාධීනත්වය අඩු කරන අතර මූලික මානව හිමිකම් උල්ලංඝණය කරයි," ඔවුහු පැවසූහ.
නමුත් නීති කටයුතු පිළිබඳ අමාත්‍ය හක් පවසන්නේ, රජයට අධිකරණය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බව ය: "රටේ අධිකරණය සම්පූර්ණයෙන් ම ස්වාධීනයි."
මානව හිමිකම් කණ්ඩායම් කනස්සල්ලට පත්වන්නේ, ඉතා විශාල ලෙස අත්අඩංගුවට ගැනීම් සහ වරදකරුවන් කිරීම ගැන පමණක් නොවේ. 2009 වසරේ සිට ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සහ අධිකරණයට පරිබාහිර ඝාතන සිද්ධි සිය ගණනක් ලේඛනගත කර ඇති බව ද ඔවුහු පවසති.
එවැනි අකටයුතුකම් පිටුපස රජය සිටින බවට කරන ප්‍රකාශ ඔවුහු [රජය] තරයේ ප්‍රතික්ෂේප කරන නමුත් එය එවැනි චෝදනා විමර්ශනය කිරීමට කැමති විදේශීය මාධ්‍යවේදීන්ගේ සංචාරයන් දැඩි ලෙස සීමා කරති. එරට බොහෝ මාධ්‍යවේදීන් තම ආරක්ෂාව ගැන බියෙන් මෙවැනි සිද්ධි ගැන සොයා බැලීම නතර කර ඇත.
කුප්‍රකට පැරා මිලිටරි බළකායක් වන 'Rapid Action Battalion' සහ එහි වත්මන් හා හිටපු නිලධාරීන් හත් දෙනෙකුට එක්සත් ජනපදය සම්බාධක පැනවූ 2021 වසරේ සිට නීතියට පිටින් සිදුවන ඝාතන සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.
එහෙත් එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති සීමිත සම්බාධක බංග්ලාදේශයේ සමස්ත මානව හිමිකම් තත්ත්වය දියුණු කර නැත. බටහිර ජාතීන් විසින් දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබිය යුතු යැයි ඇතැම් දේශපාලකයින් ඉල්ලා සිටින්නේ එබැවිනි.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුලනය කිරීමේ පිළිවෙත
"යුරෝපා කොමිසම ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වය සම්බන්ධයෙන් බංග්ලාදේශයේ වගවීම ගැන සහතික වෙන්න ඕනේ. ඔවුන් බංග්ලාදේශයේ නිෂ්පාදන සඳහා ලබා දී ඇති තීරුබදු රහිත ප්‍රවේශය ඉවත් කර ගැනීම සලකා බැලිය යුතු යි," යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන කැරන් මෙල්චියර් පැවසීය.
චීනයට පසු ලොව දෙවන විශාලතම ඇඟලුම් අපනයනකරු බංග්ලාදේශය යි. පසුගිය වසරේ ඔවුන් ඩොලර් බිලියන 45කට වඩා වැඩි වටිනාකමකින් යුත් නිමි ඇඳුම්, බොහෝ දුරට යුරෝපයට සහ එක්සත් ජනපදයට අපනයනය කර ඇත.
බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නය නම්, මෙතරම් දැවැන්ත ආර්ථික බලයක් ඇති බටහිර ජාතීන්, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ක්‍රමානුකූලව කඩා බිඳ දමමින්, ෂෙයික් හසීනාට දණ්ඩමුක්තිය ඇතිව කටයුතු කිරීමට ඉඩ දෙන්නේ මන්ද යන්න ය.
ප්‍රධාන ප්‍රශ්නය නම්, බංග්ලාදේශයට එරෙහි ඕනෑ ම තර්ජනාත්මක ක්‍රියාමාර්ගයකට විරුද්ධ වන අසල්වැසි ඉන්දියාව ය. ඉන්දීයාවට බංග්ලාදේශය හරහා ඊසානදිග ප්‍රාන්ත හත සඳහා මාර්ග සහ ගංගා ප්‍රවාහන ප්‍රවේශ අවශ්‍ය ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නේපාලය, බංග්ලාදේශය සහ භූතානය අතර දිවෙන කිලෝමීටර් 20 (සැතපුම් 12) ගොඩබිම් කොරිඩෝවක් වන "සිලිගුරි කොරිඩෝව (chicken's neck)" ගැන ඉන්දියාව සැලකිලිමත් වන අතර, එහි ඊසානදිග ප්‍රාන්ත ඉන්දියාවේ සෙසු ප්‍රදේශවලට සම්බන්ධ කරයි. ඉන්දියාවේ ප්‍රතිවාදියා වන චීනය සමග ඇති විය හැකි ඕනෑ ම ආකාරයක ගැටුමකදී එය උපායමාර්ගික වශයෙන් අවදානමට ලක්විය හැකි බවට දිල්ලියේ නිලධාරීහු බිය වෙති.
2009 වසරේදී බලයට පත් වූ විගස හසීනා දිල්ලියේ ප්‍රසාදය දිනා ගත්තේ, ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශයේ ජනවාර්ගික කැරලිකාර කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියා කිරීමෙන් පසුව ය.
ඕනෑ ම ආකාරයක අධික පීඩනයක් බංග්ලාදේශ රජය චීනය දෙසට තල්ලු කළ හැකි බවට කනස්සල්ලක් පවතී. ඉන්දියාව සමග කලාපීය ආධිපත්‍යය සඳහා සටන් කරන බැවින් චීනය බංග්ලාදේශය තුළ සිය කාර්යයන් පුළුල් කිරීමට දැනටමත් උනන්දු වී ඇත.
දැනට, හසීනාට බලය ලබා ගැනීම සඳහා පැහැදිලි මාවතක් නිර්මාණය වී ඇති බව පෙනේ. නමුත් වැඩි කල් නොයා ඇගේ අධිකාරියට වෙනත් පැතිවලින් ද අභියෝග එල්ල විය හැකි ය.
ඕනෑ ම ආකාරයක ගෙවුම් ශේෂ අර්බුදයක් වළක්වා ගැනීම සඳහා බංග්ලාදේශ රජය දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4.7ක ණයක් ඉල්ලා ඇත. එබැවින් මැතිවරණයෙන් පසු ආර්ථිකය නංවාලීම සඳහා රජයට දැඩි පියවර කිහිපයක් ගැනීමට සිදුවනු ඇත.
ඇගේ විරුද්ධවාදීන්ගෙන් අභියෝගයක් එල්ල නොවීමට ඉඩ තිබුණ ද රාජ්‍ය වියදම් අඩු කිරීමේ ප්‍රතිපත්ති නිසා ඇති වන මහජන අතෘප්තිය හසීනාට සහ ඇගේ අවාමි ලීගයට මුල් අවධියේදී මුහුණ දීමට සිදුවන අභියෝගයක් විය හැකි ය.












