බංගලාදේශය: මැතිවරණය ආසන්නයේ ඇවිලුණු දේශපාලන ප්‍රචණ්ඩත්වය

Police have set up barricades in the capital to contain the unrest

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට පොලිසිය අගනගරය තුළ මාර්ග බාධක යොදා තිබේ

මහ මැතිවරණය ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබිය දී බංගලාදේශය තුළ අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය කරමින්, සති ගණනාවක් තිස්සේ වැඩුණු දේශපාලනික නොසන්සුන් තත්ත්වය විරෝධතා සහ ලේ වැගිරීම් දක්වා වර්ධනය වී තිබේ.

අවම වශයෙන් විපක්ෂ ආධාරකරුවන් දෙදෙනෙකුට මරු කැඳවමින් ප්‍රචණ්ඩත්වයට හැරුණු රජයට එරෙහි දැවැන්ත රැලියට පසුදා (ඔක්. 29), විපක්ෂ දේශපාලන නායකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

යළිත් ක්‍රියාකාරී වී සිටින ප්‍රධාන විපක්ෂය වන බංගලාදේශ ජාතික පක්ෂය (BNP), අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට ධූරයෙන් ඉවත් වන ලෙස බල කරමින් සිදුකෙරෙන විරෝධතා දැඩි කර තිබේ.

අග්‍රාමාත්‍ය හසීනා යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සිදු විය නොහැකි දෙයක් බවට තර්ක කරන බංගලාදේශ ජාතික පක්ෂයට සහ එහි මිත්‍ර පක්ෂවලට, මහ මැතිවරණයට පෙර අපක්ෂපාතී අන්තර්වාර රජයක් පත් කිරීමට අවශ්‍යව ඇත. ඇගේ අවාමි ලීගයෙන් පාලනය වන රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඩකා අගනුවර පැවති බංගලාදේශ ජාතික පක්ෂයේ රැලියට දස දහස් ගණනක ජනතා සහභාගිත්වයක් පැවතිණි - එය දශකයක් තුළ එහි දක්නට ලැබුණු දැවැන්ත ම රැස්වීම්වලින් එකකි.

කෙසේ වෙතත්, ඉක්මණින්ම සියල්ල ප්‍රචණ්ඩත්වයට පරිවර්තනය විය.

පොලිසිය රබර් උණ්ඩ සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අතරේ විපක්ෂ ආධාරකරුවන් ගල්මුල්වලින් පහර දුන්නේ ය. අගනුවර ඇතැම් මාර්ග යුද කලාපයකට සමාන වූ අතර, පිපිරී ගිය සවුන්ඩ් ග්‍රෙනේඩ, කඳුළු ගෑස් කොපු සහ කැඩුණු වීදුරුවලින් එම මාර්ග වැසී ගියේය.

ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කිරීම සම්බන්ධයෙන් පාර්ශව දෙක ම එකිනෙකාට චෝදනා කරති.

Some structures were set on fire during the protests

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, විරෝධතා අතරතුර ඇතැම් ගොඩනැගිලි ගිනිබත් කෙරිණි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"විපක්ෂයේ ආධාරකරුවෝ පොලිසියට, මාධ්‍යවේදීන්ට, රෝහල්වලට, ගිලන් රථවලට වගේ ම, අගවිනිසුරුවරයාගේ සහ සෙසු විනිසුරුවරුන්ගේ නිවාසවලට පහර දෙමින්, ව්‍යාකූල තත්ත්වයක් ඇති කළා," විදේශ අමාත්‍ය ඒ.කේ. අබ්දුල් මොමෙන් බීබීසී පුවත් සේවයට පැවසීය.

සිදුවූයේ ඊට හාත්පසින් ම වෙනස් දෙයක් බව බංගලාදේශ ජාතික පක්ෂය පැවසීය.

"ඒක සාමකාමී, ප්‍රචණ්ඩත්වයෙන් තොර රැලියක්. ඒත් විශාල පිරිසක් හිටිය බව දැක්කා ම ආණ්ඩුව ව්‍යාකූල වුණා. ඒ නිසා ඔවුන් තීරණය කළා රැලියට බාධා කරන්න," පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන අමීර් ඛස්රූ මහ්මුද් චවුද්‍රි බීබීසී පුවත් සේවයට පැවසීය.

"රැලියට දෙපැත්තකින් පහර දුන්නා. ඒක යුද කලාපයක් වගේ පෙනුණේ. ඒ නිසා අපේ මහජන රැලිය අතරමැද දී නවත්වන්න සිද්ධ වුණා."

පාලක අවාමි ලීගයේ ආධාරකරුවන් විසින් රැලියට සහභාගි වී සිටි විපක්ෂ ක්‍රියාකාරීන් ප්‍රකෝප කරනු ලැබූ බවට වන චෝදනා එය ප්‍රතික්ෂේප කරයි.

පොලිසිය ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් බංගලාදේශ ජාතික පක්ෂය කැඳවූ ජාතික මට්ටමේ හර්තාල් ව්‍යාපාරයක් අඟහරුවාදා (ඔක්. 31) ආරම්භ විය.

විරෝධතාකරුවෝ ස්ථාන කිහිපයක දී බස්රථ පුළුස්සා දැමූ අතර ආරක්ෂක හමුදා සමග ගැටුම් ඇති කර ගත්හ. එම ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩවලින් ප්‍රහාර එල්ල කළේ ය. පොලිසිය සමග ඇති වූ ගැටුම්වලින් විපක්ෂ ක්‍රියාකාරීහු දෙදෙනෙක් අඟහරුවාදා (ඔක්. 31) ජීවිතක්ෂයට පත්වූහ. ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට බියෙන් රථවාහන වැඩි කොටසක් මාර්ගවල ධාවනය නොවිණි.

දේශපාලන නොසන්සුන් තත්ත්වයන් බංගලාදේශයට ආගන්තුක නැත. ගෙවී ගිය වසර ගණනාවක් තිස්සේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා රජයට පීඩනයක් එල්ල කිරීමට දේශපාලන පක්ෂ වීදි බැස ඇති අතර, ඒවා නිසා නගර වසා දැමීම්, ප්‍රචණ්ඩ ක්‍රියා සහ ජීවිත අහිමිවීම් සිදුවිය.

එහෙත්, අවාමි ලීගය එහි පාලනයේ දෙවන දශකයේ මැද භාගයේ සිටිමින් සිව්වන වරටත් වසර පහක පාලන බලයක් අපේක්ෂා කිරීමේ වටපිටාවක් තුළ, මෑත වසර කිහිපයේ දී දේශපාලනික බෙදීම් සහ දෙපාර්ශවය අතර විරසකය පුළුල් වෙමින් තිබේ. ප්‍රධාන පක්ෂ දෙක සම්මුතියකට පැමිණීමට උනන්දුවක් නොදක්වන අතර ඡන්ද විමසීමට පෙර සංවාදයක් ඇතිවීමට ඇති ඉඩකඩ ද ඉතා අඩු බව පෙනේ.

'සටන් වදින නෝනා මහත්වරු'

අත්අඩංගුවට ගැනුණු ජාතික පක්ෂයේ නායකයන් අතර, එම පක්ෂයේ නායිකාව හා හිටපු අගමැතිනිය වන ඛලීඩා සියා වසර පහකට පෙර දූෂණ නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිරගත කළ දා සිට පක්ෂයට නායකත්වය දුන් මහ ලේකම් මිර්සා ෆක්රුල් ඉස්ලාම් අලම්ගීර් ද සිටියි.

ඛලීඩා සියා මේ වන විට 78 වන වියේ පසුවන අතර නිවාස අඩස්සියේ පසුවෙයි.

හැත්තෑ හය හැවිරිදි හසීනා සහ සියා දශක තුනකට අධික කාලයක් බංගලාදේශ දේශපාලන ක්ෂේත්‍රයේ වැජඹුණු අතර, දේශපාලන වංශයන්ගෙන් පැවැතෙති.

දෙදෙනා පරම විරුද්ධවාදීහු වෙති. ඔවුන් එරට ද හැඳින්වෙන්නේ, 'සටන් කරන බෙගම්ලා' ලෙස ය. 'බෙගම්' යනු කුලීන මුස්ලිම් කතුන් හඳුන්වන වචනයකි.

Mirza Fakhrul Islam Alamgir is among opposition leaders under arrest

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අත්අඩංගුවට ගැනුණු විපක්ෂයේ නායකයින් අතර මිර්සා ෆක්රුල් ඉස්ලාම් අලම්ගීර් ද වෙයි

හසීනා 2009 වසරේ දී දෙවන වරට බලයට පැමිණි අතර, පුළුල් ලෙස ඡන්ද අක්‍රමිකතා සිදු කළ බවට චෝදනා එල්ල වුව ද ඇගේ පක්ෂය ඉන්පසු තවත් මැතිවරණ දෙකකින් ද ජය ගත්තේ ය.

මැතිවරණයට පෙර දේශපාලන නොසන්සුන්තාවක් ඇති වී තිබෙන්නේ රට ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අවස්ථාවක ය. බොහෝ ඡන්දදායකයින්, ඉහළ යන ජීවන වියදම, විශේෂයෙන් ම ආහාර මිල ඉහළ යාම නිසා පීඩා විඳියි. සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය 9.6%ක පමණ අගයක් ගත්තේ ය.

රටේ විදේශ විනිමය සංචිත ද 2021 අගෝස්තු මාසයේ දී වාර්තා වූ අමෙරිකානු ඩොලර් බිලියන 48 සිට මේ වන විට ඩොලර් බිලියන 20 දක්වා පහත වැටී ඇත. එය මාස තුනක ආනයන කටයුතුවලට හෝ ප්‍රමාණවත් නොවේ.

මූල්‍ය සහය ලබා ගැනීම සඳහා මේ වසර මුල දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට බංගලාදේශයට සිදුවිය.

විපක්ෂයේ දැවැන්ත රැලි බංගලාදේශය තුළ අසාමාන්‍ය දෙයක් නොවූව ද, ඉහළ යන ආහාර මිල සම්බන්ධයෙන් පුළුල්ව පැතිරෙන අතෘප්තිය හේතුවෙන් එවැනි විරෝධතාවලට විශාල ජනකායක් ආකර්ෂණය වන බව විශ්ලේෂකයෝ පවසති.

"ආර්ථිකය තියෙන්නේ කඩා වැටෙන්න ඔන්න මෙන්න. ජනතාව දුක් විඳිනවා. ප්‍රවාහන සේවා අවලංගු කරලා, අත්අඩංගුවට ගැනීම් සහ බලපෑම් කරලා අවාමි ලීගය ජනතාව පැමිණීම නතර කරන්න උත්සහ කරද්දීත් ඔවුන් සිය දහස් ගණනින් අපේ රැලිවලට එකතු වෙන්නේ ඒ නිසයි," චෞද්‍රි බීබීසී වෙත පැවසීය.

එහෙත්, රටේ නිර්මාතෘ ලෙස සැලකෙන ෂීක් මුජිබර් රහ්මාන්ගේ දියණිය වන හසීනා, ඇගේ පාලනය යටතේ පසුගිය වසර 15 තුළ රටෙහි ඇතිවී තිබෙන තිරසර ආර්ථික වර්ධනය පෙන්වයි.

විසම්මුතිය මර්දනය කිරීම

විරෝධතා රැලියෙන් පසු විපක්ෂ ආධාරකරුවන් සිය ගණනක් සමග අලම්ගීර් අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් කණ්ඩායම්වල විවේචනයට භාජනය වී තිබේ.

“සති අන්තයේ විරුද්ධ පක්ෂ නායකයින්ට සහ විරෝධතාකරුවන්ට එරෙහිව වර්ධනය වූ මර්දනකාරී තත්ත්වය ජනවාරි මාසයේ පැවැත්වෙන මහ මැතිවරණයට පෙර බංගලාදේශයේ විසම්මුතිය සම්පූර්ණයෙන් මැඩලීමේ උත්සහයක් සංඥා කරයි,” ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පැවසීය.

සංයමයෙන් කටයුතු කරන ලෙසත්, සෑම බංගලාදේශ ජාතිකයෙකු සඳහා ම මානව හිමිකම් සම්පූර්ණයෙන් තහවුරු කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය රජයෙන් ඉල්ලීමක් කළේ ය.

මහා පරිමාණයෙන් මානව හිමිකම් උල්ලංඝණය කරන බවට රජයට දැනටමත් චෝදනා එල්ල වී තිබේ.

BNP supporters, seen here in Dhaka, want Prime Minister Sheikh Hasina to resign

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙහි සිටින බංගලාදේශ ජාතික පක්ෂයේ ආධාරකරුවන්ට අවශ්‍ය වී ඇත්තේ ෂෙයික් හසීනා අගමැති ධූරයෙන් ඉවත් කිරීමට ය

බංගලාදේශ ජාතික පක්ෂය, එහි ආධාරකරුවන් සිය ගණනක් ආරක්ෂක හමුදා විසින් සිදු කරන ලද බලහත්කාර අතුරුදන් කිරීම් සහ නීතිවිරෝධී ඝාතනවලට ගොදුරු වී ඇතිබව චෝදනා කරයි. ආරක්ෂක හමුදාවන්හි සමහරෙකු ඔවුන්ගේ ක්‍රියාවන් හේතුවෙන් අමෙරිකාවේ සම්බාධකවලට ලක්ව සිටියි.

අපයෝජන සහ ඝාතන සම්බන්ධයෙන් වන චෝදනා බංගලාදේශ රජය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. එහෙත්, මෙම චෝදනා විමර්ශනය කිරීමේ අරමුණින් විදේශ මාධ්‍යවේදීන් පැමිණීම ද රජය දැඩිව අවහිර කර තිබේ.

"අනිවාර්යයෙන් ම භීතිය පිරුණු පරිසරයක් තියෙනවා, විශේෂයෙන් ම ඕනෑ ම ආකාරයක ඩිජිටල් වේදිකාවක විරුද්ධ අදහස් ප්‍රකාශ කිරීමේ දී රජය මිනිසුන් සිරගත කිරීමට දරුණු ඩිජිටල් ආරක්‍ෂක පනත [DSA] භාවිත කරන නිසා," කාන්තා හිමිකම් ක්‍රියාකාරිනියක වන ෂිරීන් හක් බීබීසී වෙත පැවසීය.

මානව හිමිකම් කණ්ඩායම් පවසන්නේ, විවේචකයින් නිහඬ කිරීමට සහ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම යටපත් කිරීමට පනත භාවිත කරන බව ය. 2018 වසරේ එය බලාත්මක වීමෙන් පසු, මාධ්‍යවේදීන්, දේශපාලනඥයින් සහ ක්‍රියාකාරීන්ට එරෙහිව නඩු දහස් ගණනක් ගොනුකර ඇතැ යි ඔවුහු පවසති.

Sheikh Hasina says she will not resign

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇය ඉල්ලා අස් නොවනබව ෂෙයික් හසීනා පවසයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඇතුළු පුළුල්ව ගොඩනැගුණු විරෝධයෙන් පසුව, රජය මෑතක දී ඩිජිටල් ආරක්ෂණ පනත වෙනුවට නව සයිබර් ආරක්ෂණ පනතක් ඉදිරිපත් කළේ ය. එහෙත් ක්‍රියාකාරීන් පවසන්නේ, නව පනත තුළ තවදුරටත් මර්දනකාරී ප්‍රතිපාදන පවතින බව ය.

ජනවාරි මාසයේ දී රජය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වනු ඇතැ යි ඇයට විශ්වාසයක් නොමැති බව හක් පවසයි.

විපක්ෂය ද එම චෝදනාව ම කරන අතර, ඡන්දයට පෙර මධ්‍යස්ථ භාරකාර පරිපාලනයක් ස්ථාපනය කිරීමට නැවත ඉල්ලා සිටින්නේ එබැවිනි - 2011 වසරේ දී පාර්ලිමේන්තුව විසින් එම පරිපාලන ක්‍රමවේදය අහෝසි කරන ලදී.

එවැනි ඉල්ලීම් විදේශ අමාත්‍ය මොමෙන් ප්‍රතික්ෂේප කරයි.

"පවතින රජය ඉවත් වෙලා ඡන්දයෙන් පත් නොවූ පිරිසකට රජය ගෙනයන්න ඉඩදීමක් ගැන කිසි ම රටක ඉතිහාසෙ සඳහනක් නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරනවා. ඒ නිසා එවැනි ඉල්ලීමක් පිළිගන්න බැහැ," ඔහු බීබීසී වෙත පැවසීය.

එහි ඉල්ලීම ඉටු නොකළහොත් ජනවාරි මාසයේ පැවැත්වෙන මහ මැතිවරණය වර්ජනය කරන බවට බංගලාදේශ ජාතික පක්ෂය අනතුරු අඟවා තිබේ. කෙසේ වෙතත්, එහි එම උපක්‍රමය අතීතයේ ක්‍රියාත්මක කළ අවස්ථාවක එහි වාසියට සිදුවූයේ නැත.

2014 දෙසැම්බර් මාසයේ පැවති මැතිවරණයට තරග නොකිරීමට එය ගත් තීරණය හේතුවෙන් අවාමි ලීගයට තවත් දැවැන්ත ජයග්‍රහණයක් හිමි විය.

දරුණු අතට හැරෙන තත්ත්වයන් සමග, දේශපාලන නොසන්සුන්තාවන් සහ වීදි ප්‍රචණ්ඩත්වය තවදුරටත් වර්ධනය වීමේ හැකියාව දෙස බංගලාදේශ වැසියෝ බලා සිටිති.