විදුලිය ඉතිරි කර ගැනීම සඳහා පාසල් සහ කාර්යාල වේලාවන් අඩු කරන බංගලාදේශය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බංගලාදේශය කාර්යාල වේලාවන් අඩු කිරීමත්, තවත් අමතර දිනක් පාසල් වසා දැමීමත් හරහා විදුලිය හිඟය සමනය කිරීමට උත්සාහ ගන්නා බව එරට රජයේ නිලධාරියෙක් පවසයි.
පසුගිය මාසයේ සිට එරට දිනපතා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.
රජය විසින් පෙට්‍රල් මිල 50%කට වඩා වැඩි මිලකින් ඉහල දැමූ නිසා පසුගිය සති කිහිපය තුළ විරෝධතාකරුවන් ද වීදි බැස තිබේ.
යුක්රේන යුද්ධය නිසා ඉන්ධන ආනයනය කිරීමේ පිරිවැය ඉහළ ගොස් ඇති අතර බංග්ලාදේශයේ ආර්ථිකයට සහ විදේශ මුදල් සංචිතවලට ඉන් බලපෑම් එල්ල වී තිබේ.
මුලින්ම සිකුරාදා දිනයන්හිදී පමණක් පාසල් වසා තිබූ අතර, බංග්ලාදේශ කැබිනට් ලේකම් ඛන්ඩ්කර් අන්වරුල් ඉස්ලාම් ඉකුත් සඳුදා දින පැවසුවේ, මෙතැන් පටන් සෙනසුරාදා දිනවල ද පාසල් වසා තබන බවයි.
සාමාන්‍ය තත්ත්වයන් යටතේ, බංග්ලාදේශයේ පාසල් සතියේ දින හයක් විවෘතව පැවතුණි. ඒ, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ ඉරිදා ය.
මේ අතර, රජයේ කාර්යාල සහ බැංකු විවෘත කරන වේලාවන් පැය අටක් වෙනුවට දිනකට පැය හතක් දක්වා අඩු කෙරේ. කෙසේ වෙතත්, පෞද්ගලික කාර්යාලවලට රිසි පරිදි මෙහෙයුම් වේලාවන් සකසා ගැනීමට අවසර දෙන බව ඉස්ලාම් පැවසීය.
වගාවන්ට වාරි ජලය සැපයීමට අවශ්‍ය බැවින් ගම්වලට අලුයම් කාලයේ පවා විදුලිය ලබාදීමට රජය අඛණ්ඩව කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
බංග්ලාදේශයේ බොහෝ ප්‍රදේශවල දිනකට පැය දෙකකට වැඩි කාලයක් විදුලිය විසන්ධි වේ.
එරට සිය විදුලියෙන් වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ ස්වාභාවික වායු වලින් වන අතර ඉන් සමහරක් ආනයනය කරන ලද ඒවාය.
බංගලාදේශයේ විදුලි උත්පාදනයෙන් 6% ක් පමණ ඩීසල් බලාගාර වලින් ලැබෙන අතර, ඉන්ධන ආනයනය කිරීමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් නිලධාරීන් විසින් ඒවා ද වසා දමා ඇත.
මෙම මස මුලදී, පෙට්‍රල් මිල 50%කට වඩා වැඩි කරන ලද අතර, ඉන්ධන මිල ලීටරයකට ටකා 86 සිට ටකා 130 දක්වා ඉහළ දැමුණි.
ඒ සමඟම ඩීසල් සහ භූමිතෙල් මිල ද 40%කට වඩා වැඩි විය.
ජූලි මාසයේදී ශ්‍රී ලංකාව සහ පකිස්ථානයට පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ණයක් ලබා ගත් තුන්වන දකුණු ආසියානු රට බවට බංග්ලාදේශය පත් විය.
එරට ණය ප්‍රමාණය තවමත් තීරණය කර නොමැති අතර, ඔක්තෝම්බර් මාසයේදී ලෝක බැංකුව සහ IMF රැස්වීම්වලින් පසුව සාකච්ඡා ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
බංග්ලාදේශයේ විදේශ මුදල් සංචිත ඩොලර් බිලියන 40ක් දක්වා අඩු වී ඇත. එය එරට රජය සාමාන්‍යයෙන් මාස හතරහමාරක දී වියදම් කරන මුදලයි.
මෑත වසරවලදී, ඩොලර් බිලියන 416ක අගයක් සමඟ බංගලාදේශය ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් ලෙස පැසසුමට ද ලක්ව ඇත.











