ලීක් වුණ දුරකතන ඇමතුමක් තායි අගමැතිනියගේ වෘත්තීය ජීවිතය සහ ෂිනවත් රාජවංශයේ ගමන් මග වෙනස් කළ ආකාරය

Thailand's suspended prime minister Paetongtarn Shinawatra arrives for a press conference in Bangkok on July 1, 2025. She can be seen smiling as she walks through a doorway in a dark green blazer which she is wearing over a white shirt and white and blue floral skirt.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පෙතොන්තාර්න් ෂිනවත්
    • Author, ජොනතන් හෙඩ්
    • Role, බැංකොක්හි අග්නිදිග ආසියානු වාර්තාකරු

තායිලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය නැවත වරක් තවත් අගමැතිවරයෙකු ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය.

පෙතොන්තාර්න් ෂිනවත්, ජූනි මාසයේදී කාම්බෝජයේ දිගු කලක් බලයේ සිටි දේශපාලන නායකයෙකු වන හුන් සෙන් සමග පැවැත්වූ දුරකතන ඇමතුමකදී සදාචාරාත්මක ප්‍රමිතීන් උල්ලංඝනය කර ඇති බවට එරට නිරන්තරයෙන් දේශපාලනයට මැදිහත් වීම් සිදු කරන කුප්‍රකට විනිසුරුවන් නව දෙනෙකුගෙන් යුත් මණ්ඩලය විසින් තීන්දු කරන ලදී. ඒ, එම දුරකතන ඇමතුම හුන් සෙන් විසින් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව ය.

එම සංවාදයේ, පෙතොන්තාර්න් තම රටවල දේශසීමා ආරවුල සම්බන්ධයෙන් හුන් සෙන්ට සහනශීලී ලෙස කතා කරන ආකාරය සහ ඇගේ හමුදාපතිවරයෙකු විවේචනය කරන ආකාරය ඇසෙන්නට විය.

ඇය තම පියා වන තක්සින් ෂිනවත්ගේ පැරණි මිතුරෙකු වන හුන් සෙන් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව වර්ධනය කර ගැනීමට උත්සහ කරමින් සිටි බව පවසමින් තම සංවාදය වෙනුවෙන් පෙනී සිටි අතර, එම සංවාදය රහසිගතව පැවතිය යුතුව තිබූ බව ද පැවසුවා ය.

මෙම සිදුවීම ඇයට සහ ඇගේ ෆුවෙ තායි පක්ෂයට හානිකර සහ දැඩි අපහසුතාවක් ගෙන දුන් එකක් විය. ඇයගේ විශාලතම සභාග හවුල්කරුවා රජයෙන් ඉවත් වූ අතර ඇයට ඉතා සුළු බහුතරයක් ඉතිරි කරමින් ඉල්ලා අස්වන ලෙසට වන ඉල්ලීම් මතු වන්නට විය.

ජූලි මාසයේදී, අධිකරණයේ විනිසුරුවන් නව දෙනාගෙන් හත් දෙනෙකු ම පෙතොන්තාර්න්ගේ වැඩ තහනම් කිරීමට පක්ෂව ඡන්දය දුන් අතර, එයින් ඇඟවුණේ ඇයට ඇගේ පූර්වගාමීන් සිව්දෙනාට අත්වන ඉරණමම අත්වනු ඇති බව ය. එබැවින් සිකුරාදා තීරණය පුදුමයක් නොවීය.

මෙම අධිකරණය විසින් ධූරයෙන් ඉවත් කරන ලද පස්වන තායි අගමැතිවරයා පෙතොන්තාර්න් වන අතර, ඔවුන් සියල්ලෝ ම ඇගේ පියාගේ සහය ලබන පරිපාලනවලින් පැමිණි අය වෙති.

සාමාන්‍යයෙන් ගතානුගතික, රාජකීය සංස්ථාපිතයට අභියෝග කරන හෝ තර්ජනය කරන ඕනෑ ම කෙනෙකුට එරෙහිව මෙම අධිකරණය තීන්දු දෙන බවට මෙමගින් තායිලන්තය තුළ පුළුල් විශ්වාසයක් ගොඩනැගී තිබේ.

මෙම අධිකරණය දේශපාලන පක්ෂ 112ක් ද තහනම් කර ඇති අතර, ඒවායින් බොහොමයක් කුඩා වුවත්, ඊට තක්සින්ගේ ෆුවෙ තායි පක්ෂයේ පෙර ආකාර දෙකක් සහ 2023දී පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපාරය වන මූව් ෆෝවර්ඩ් ද ඇතුළත් ය.

අධිකරණ අංශයක් විසින් දේශපාලන ජීවිතය මෙතරම් දැඩි ලෙස පාලනය කරනු ලබන්නේ වෙනත් රටවල් ස්වල්පයක පමණි.

A smiling Paetongtarn Shinawatra turns to her father and former Thai Prime Minister Thaksin Shinawatra with her hands folded in a gesture of respect. They are at a public event surrounded by other officials. Thaksin is wearing a navy blue suit with a pink tie and looking ahead, half-smiling. Paetongtarn is wearing a grey suit.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම අවස්ථාවේදී, පෙතොන්තාර්න්ගේ ඉරණම තීරණය කළේ ප්‍රසිද්ධියට පත් වුණු දුරකතන සංවාදයයි.

හුන් සෙන්, ෂිනවත් පවුල සමග ඇති මිත්‍රත්වය විනාශ කිරීමට තීරණයක් ගත්තේ මන්දැයි අපැහැදිලි ය. කාම්බෝජ නායකත්වය සිය තර්ක අවධාරණය කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කිරීම "වෘත්තීය නොවන"බවට පෙතොන්තාර්න් විසින් කරන ලද ප්‍රකාශයකට ඔහු කෝපයෙන් ප්‍රතිචාර දැක්වීය.

හුන් සෙන් එය විස්තර කළේ "පෙර නොවූ විරූ අපහාසයක්" ලෙස ය. එය ඔහුව "සත්‍යය හෙළිදරව් කිරීමට" පෙලඹවූ බව ඔහු පැවසීය.

නමුත් ඔහුගේ තීරණය තායිලන්තයේ දේශපාලන අර්බුදයක් ඇති කළේ ඔවුන්ගේ දේශසීමාව පිළිබඳ ආතතීන් අවුළුවාලමිනි. එය 40කට වැඩි පිරිසකට මරු කැඳවූ පසුගිය මාසයේ දින පහක යුද්ධයක් දක්වා ඔඩු දිවීය.

තායි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉතා සීමිත ලැයිස්තුවකින් නව අගමැතිවරයෙකු තෝරා ගැනීමට සිදුවනු ඇත.

පසුගිය මැතිවරණයට පෙර සෑම පක්ෂයක් ම අපේක්ෂකයින් තිදෙනෙකු නම් කිරීමට අවශ්‍ය වූ අතර, පසුගිය වසරේ අධිකරණය විසින් ශ්‍රෙතා නෙරපා හැරීමෙන් පසු, ෆුවෙ තායි පක්ෂය දැන් ඔවුන්ගේ අපේක්ෂකයින් දෙදෙනෙකු ම භාවිත කර ඇත.

ඔවුන්ගේ තුන්වන අපේක්ෂකයා වන චයිකාසෙම් නිතිසිරි, හිටපු අමාත්‍යවරයෙකු සහ පක්ෂයේ ප්‍රබලයෙකු වන නමුත්, ඔහු එතරම් ප්‍රසිද්ධියකට හිමිකම් නොකියන අතර දුර්වල සෞඛ්‍ය තත්ත්වයක පසුවේ. විකල්පය වනු ඇත්තේ අනුතින් චාන්විරකුල් ය. ඔහු හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වන අතර, ඔහුගේ භූම්ජයිතායි පක්ෂය පාලක සන්ධානයෙන් ඉවත් වූයේ, ප්‍රසිද්ධියට පත් වූ දුරකතන ඇමතුම හේතුවෙන් බව පෙනේ.

පක්ෂ දෙක අතර සබඳතා දැන් පළුදු වී ඇති අතර, ස්ථාවරත්වය සඳහා විසඳුමක් නොවන රජයක් පිහිටුවීම සඳහා අනුටින්ට තවත් ආසන රාශියක් ඇති ෆුවෙ තායි පක්ෂය මත යැපීමට සිදුවනු ඇත.

පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය වන, දැන් විසුරුවා හැර ඇති මූව් ෆෝවර්ඩ්හි (Move Forward) කලින් සිටි සහ මහජන පක්ෂය (The People's Party) ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද පක්ෂයේ මන්ත්‍රීවරුන් 143 දෙනා, කිසිදු සන්ධානයකට සම්බන්ධ නොවන බවටත්, නව මැතිවරණයක් පවත්වන තුරු විපක්ෂයේ රැඳී සිටින බවටත් සපථ කර ඇත.

වත්මන් දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමට නව මැතිවරණයක් පැහැදිලිව ම මාර්ගයක් ලෙස පෙනෙන්නට තිබුණත්, ෆුවෙ තායි පක්ෂයට මැතිවරණයක් අවශ්‍ය නොවේ.

තරුණ වියෙහි අත්දැකීම් අඩු වූ පෙතොන්තාර්න් රටේ සැබෑ අධිකාරියක් ස්ථාපනය කිරීමට අසමත් වූ අතර, බොහෝ තායිලන්ත ජාතිකයින් උපකල්පනය කළේ ඇගේ පියා සියලු ප්‍රබල තීරණ ගන්නා බව ය.

නමුත් තක්සින් ෂිනවත්ට ඔහුගේ ඉන්ද්‍රජාලික ශක්තිය අහිමි වී ගොස් ඇති බව පෙනේ. පසුගිය මැතිවරණයේදී ෆුවෙ තායි පක්ෂයේ ප්‍රධාන ප්‍රතිපත්තියක් වූ සෑම තායි වැඩිහිටියෙකුට ම බාට් 10,000 (ඇ. ඩොලර් 308) ලබා දෙන ඩිජිටල් මුදල් පසුම්බි ව්‍යාපෘතිය ඇණහිට ඇති අතර, එය අකාර්යක්ෂම යැයි පුළුල් ලෙස විවේචනයට ලක් විය.

කැසිනෝ නීතිගත කිරීම සහ ඉන්දියානු සහ පැසිෆික් සාගර සම්බන්ධ කරන "ගොඩබිම් පාලමක්" ඉදිකිරීම වැනි අනෙකුත් මහා සැලසුම් කිසිවක් සාර්ථක වී නැත.

කාම්බෝජය සමග දේශසීමා යුද්ධය හේතුවෙන් තායි ජාතිකවාදී හැඟීම් ඇවිළී ඇති අවස්ථාවක, ෂිනවත් පවුල සහ හුන් සෙන් අතර දිගුකාලීන මිත්‍රත්වය - දැන් බිඳී ගියත් - ඔවුන් සැමවිට ම තම ව්‍යාපාරික අවශ්‍යතා ජාතියේ අවශ්‍යතාවලට වඩා ඉහළින් තබනු ඇතැයි යන සැකය ගතානුගතික කණ්ඩායම් තුළ වැඩි වී තිබේ.

පක්ෂයේ ජනප්‍රියතාව පහත වැටී ඇති අතර, දැන් මැතිවරණයකදී එහි ආසන 140න් බොහෝ ආසන අහිමි වීමට ඉඩ තිබේ.

දශක දෙකකට වැඩි කාලයක් එය තායි දේශපාලනය ආධිපත්‍යය දැරූ පරාජය කළ නොහැකි මැතිවරණ බලවේගයක් විය.

එය කව දා හෝ එම ආධිපත්‍යය නැවත ලබා ගන්නේ කෙසේ දැයි සිතීම දුෂ්කර ය.