තායිලන්තයේ ළාබාලතම නායිකාව ලෙස හිටපු අගමැතිගේ දියණිය තේරී පත් වෙයි

Paetongtarn Shinawatra

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ජොනතන් හෙඩ්, තන්යාරාත් ඩොක්සන් සහ කෙලී අංග්
    • Role, බැංකොක් සහ සිංගප්පූරුවේ සිට

තායිලන්ත පාර්ලිමේන්තුව විසින් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු සහ හිටපු නායක තක්ෂින්ගේ දියණිය වන පයේතොන්තාර්න් ෂිනවත්‍රා එරට අග්‍රාමාත්‍ය ධූරය සඳහා තෝරාගනු ලැබ තිබේ.

37 වන වියේ පසුවන ඇය, එරට ළාබාලතම අගමැතිනිය බවට පත් වනු ඇති අතර ඇයගේ නැන්දණිය වන යින්ග්ලක්ට පසුව එම තනතුර දරන දෙවන කාන්තාව වනු ඇත.

ඇය තෝරා පත් කර ගැනීම සිදුවන්නේ, හිටපු අගමැති ශ්‍රෙතා තවිසින් ව්‍යවස්ථාමය අධිකරණයක් විසින් ධූරයෙන් පහ කරනු ලැබීමෙන් දින දෙකකට පසුව ය. දෙදෙනා ම 2023 මැතිවරණයේදී දෙවන ස්ථානයට පත් වූ නමුත් පාලක සභාගයක් පිහිටුවා ගත් ෆුවෙ තායි පක්ෂයට අයත් වෙති.

පයේතොන්තාර්න් යනු, පසුගිය දශක දෙක තුළ අගමැති ධූරයට පත් වූ ෂිනවත්‍රා පවුලේ සිව්වන සාමාජිකාව ය.

ඇගේ පියා තක්ෂින් සහ නැන්දණිය යින්ග්ලක් ඇතුළු අනෙක් තිදෙනා හමුදා කුමන්ත්‍රණ හෝ ව්‍යවස්ථාමය අධිකරණ තීන්දු මගින් බලයෙන් පහ කෙරිණි.

පයේතොන්තාර්න්ගේ පත් වීම වටා ඇති තත්ත්වය තායිලන්තයේ තේරී පත් වූ ආණ්ඩුවල බලය කෙතරම් සීමා වී ඇතැයි ද යන්න පිළිබඳ ප්‍රබල සිහි කැඳවීමකි.

බ්‍රහස්පතින්දා, පයේතොන්තාර්න් පැවසුවේ, ශ්‍රෙතාගේ කාර්යය තමන් අගය කරන බව ත්, ඔහු සේවයෙන් පහ කිරීම අවාසනාවන්ත යැයි හැඟුණු බව ත් ය.

"අපි අද මෙහි රැස්ව සිටින්නේ අප අධිෂ්ඨානශීලීව, කැපවීමෙන් සහ රට ඉදිරියට ගෙන යාමට සූදානම් බව ජනතාවට පෙන්වීමට," බ්‍රහස්පතින්දා ඇය අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලද සිය පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් අමතමින් පැවසුවා ය.

තායිලන්තයේ ප්‍රභූ පාසල්වල සහ එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබූ ඇය වසර කිහිපයක් ගත කළේ, තම සැමියා නියෝජ්‍ය ප්‍රධාන ආයෝජන නිලධාරියා ලෙස සේවය කළ ෂිනවත්‍රා පවුලේ රෙන්ඩේ හෝටල් සමූහයේ ය.

ඇය 2021 වසරේදී ෆුවෙ තායි පක්ෂය හා සම්බන්ධ වූ අතර 2023 ඔක්තෝබර් මාසයේදී පක්ෂ නායකත්වයට පත් වූවා ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම හේතුවෙන් තායිලන්ත අගමැතිවරයා ධූරයෙන් පහ කෙරේ

Thai PM Srettha leads cabinet meeting prior charter court verdict on his ethics probe case
අධිකරණය සිය ආචාර ධර්ම පිළිබඳව විමර්ශනයට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර ශ්‍රෙතා කැබිනට් රැස්වීමේ මුලසුන හොබවමින්

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රෙතා තවිසින් අගමැති ධූරයට පත් වූයේ පසුගිය අගෝස්තු මාසයේදී ය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වරක් සිරගතව සිටි හිටපු නීතීඥවරයෙකු තම කැබිනට් මණ්ඩලයට පත් කිරීම හේතුවෙන් තායිලන්ත අධිකරණයක් විසින් එරට අග්‍රාමාත්‍ය ශ්‍රෙතා තවිසින් ධූරයෙන් නෙරපා හරිනු ලැබිණි.

එරට ව්‍යවස්ථාමය අධිකරණය තීන්දු කළේ, ශ්‍රෙතා "නොහික්මුණු හැසිරීම් ප්‍රදර්ශනය කිරීම" සමගින් "ආචාර ධර්ම පිළිබඳ නීති" උල්ලංඝණය කර ඇති බව ය.

වසරකට ත් අඩු කාලයක් බලයේ සිටි 67 හැවිරිදි ශ්‍රෙතා, වසර 16කට පසුව එම අධිකරණය විසින් ම ඉවත් කරන ලද තුන්වන අගමැතිවරයා වේ.

නව අගමැතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා තායිලන්තයේ පාර්ලිමේන්තුව රැස් වන තෙක් ඔහු වෙනුවට අන්තර්වාර නායකයෙකු පත් කෙරිණි.

"මට මගේ අවංකකම ගැන විශ්වාසයි... මට කණගාටුයි, නමුත් මම තීන්දුවට එකඟ වෙන්නේ නැහැ කියල මම කියන්නේ නැහැ," තීන්දුවෙන් මද වේලාවකට පසු පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය. අධිකරණයේ තීන්දුව අවසාන තීන්දුව වන අතර ඊට අභියාචනා ඉදිරිපත් කළ නොහැක.

ශ්‍රෙතා ධූරයෙන් පහකිරීම යන්නෙන් අදහස් වන්නේ, ඔහු දැන් තායිලන්තයේ වෙනත් බොහෝ පක්ෂ සහ පාලකයින් ගිය මග ගොස් ඇති බව ය. එනම් ඔහු, එරට ව්‍යවස්ථාමය අධිකරණය සතු අසාමාන්‍ය බලයෙන් ධූරයෙන් නෙරපා ඇති බව ය.

තායිලන්තයේ දේශපාලනය සදාචාරසම්පන්න බවට ප්‍රසිද්ධ නොවේ; අල්ලස් ගැනීම සාමාන්‍ය දෙයක් වන අතර මීට වඩා බරපතළ වැරදි සහිත ඇමතිවරුන්ට අතීතයේ සේවය කිරීමට අවසර දී ඇත.

එරට බොහෝ දෙනෙකු මෙය දේශපාලනික තීන්දුවක් ලෙස දකිනු ඇති නමුත් එයට බලපෑම් කළේ කවුරුන් ද යන්න තවමත් අපැහැදිලි ය.

අල්ලස් ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් මීට පෙර මාස හයක සිරදඬුවම් නියම වූ පිචිත් චුවෙන්බන් පත් කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සෙනෙට් සභිකයින් 40 දෙනෙකු පමණ ගොනු කළ පෙත්සමක් විභාග කිරීමට මැයි මාසයේදී අධිකරණය විසින් තීරණය කරනු ලැබ තිබිණි.

බදාදා, විනිසුරුවරුන් නව දෙනාගෙන් පස් දෙනෙකු ම තීන්දු කළේ, දින 19කට පසු ඉල්ලා අස්වී තිබුණ ද, සාපරාධී වරදකරුවෙකු වූ නීතිඥවරයෙකු ඔහුගේ කැබිනට් මණ්ඩලයට පත් කිරීමෙන් ශ්‍රෙතා සැබවින් ම ඔහුගේ ධූරයේ ආචාර ධර්ම කඩ කර ඇති බව ය.

අස්ථාවර වෙමින් පවතින තම ආර්ථිකය පුනර්ජීවනය කිරීමට තායිලන්තය අරගල කරමින් සිටින අතරතුර නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනීමේ ඡන්දයේදී තිරය පිටුපස බොහෝ කේවල් කිරීම් සිදුවනු ඇත.

පසුගිය දශක දෙක පුරා රට කැළඹූ හමුදා කුමන්ත්‍රණ දෙකක් ඇතුළුව දේශපාලන කැළඹීමෙන් රට දැන් මිදී ඇතැයි යන්න අපේක්ෂා කිරීමට තව ත් කාලයක් ඇති බව ඔප්පු වී ඇත.

තායිලන්තයේ වසර නවයක හමුදා ආධිපත්‍යයක් සහිත ආණ්ඩු අවසන් කරමින් ශ්‍රෙතා අගමැති ධූරයට පත් වූයේ පසුගිය අගෝස්තු මාසයේදී ය.

ඔහුගේ පත්වීම ද පසුගිය වසරේ පැවති මහ මැතිවරණයෙන් වැඩි ම ආසන සහ ඡන්ද දිනාගත් තරුණ, ප්‍රතිසංස්කරණවාදී මූව් ෆෝවර්ඩ් (Move Forward) පක්ෂය බැහැර කළ දේශපාලන කේවල් කිරීමක ප්‍රතිඵලයකි.

එය තායිලන්තයට නව ආරම්භයක් වෙනුවෙන් බලාපොරොත්තු ඇති කළ විස්මිත ජයග්‍රහණයක් වූ නමුත් හමුදාව විසින් පත් කරන ලද සෙනෙට් සභාව මූව් ෆෝවර්ඩ් (Move Forward) පක්ෂයට රජය පිහිටුවීම සඳහා වූ අවස්ථාව අවහිර කළේ ය.

මැතිවරණයේ දෙවන විශාලතම ජයග්‍රාහකයා වූ ෆුවෙ තායි පසුව වෙනත් ගතානුගතික පක්ෂ සමග මූව් ෆෝවර්ඩ් පක්ෂය නොමැතිව පාලක සභාගයක් පිහිටුවීමට ගිවිසුමක් ඇති කර ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රෙතා එම රජයේ නායකත්වයට පත් විය.

පසුගිය සතියේ, ව්‍යවස්ථා විරෝධී මැතිවරණ ප්‍රචාරක පොරොන්දු දීම හේතුවෙන් ව්‍යවස්ථාමය අධිකරණය විසින් මූව් ෆෝවර්ඩ් පක්ෂය විසුරුවා හැර පක්ෂ නායකයින් එනම්, මන්ත්‍රීවරුන් 11 දෙනෙකුට වසර 10ක කාලයක් දේශපාලනයෙන් තහනම් කළේ ය.

අතිරේක වාර්තාකරණය බැංකොක්හි තන්‍යාරත් ඩොක්සන් විසිනි