තක්සින් ෂිනවත් : පිටුවහල් කර සිට ආපසු පැමිණි තායිලන්ත හිටපු අගමැති සිරගත කෙරේ

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න : වසර 15ක් රටින් පිටුවහල් කර සිටි තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්සින් ෂිනවත් යළි රටට පැමිණීමෙන් පසු
    • Author, ජොනතන් හෙඩ්
    • Role, බීබීසී, බැංකොක්

වසර 15ක් රටින් පිටුවහල් කර සිටි තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්සින් ෂිනවත් යළි රටට පැමිණීමෙන් පසු බන්ධනාගාරගත කර තිබේ.

කෙසේ වෙතත්, බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ ඔහු දිගු කාලයක් සිරගතව සිටීමෙන් වැළකෙන ගනුදෙනුවක් කර ඇති බව ය.

ඔහු අඟහරුවාදා උදෑසන පෞද්ගලික ජෙට් යානයකින් තායිලන්තයට පැමිණියේ එරට මීළඟ නායකයා සඳහා වන ඡන්දයට පෙර ය. මේ වන විට ඉදිරියෙන් සිටින්නේ ඔහුගේ ෆියු තායි පක්ෂයේ අපේක්ෂකයා ය.

පෙර කරන ලද අපරාධ චෝදනා මත ඔහුට වසර 8ක සිර දඬුවමක් නියම වූ අතර, ඔහු පවසන්නේ, එම චෝදනා දේශපාලනිකව අභිප්‍රේරණය ලැබූ ඒවා බව ය.

තායිලන්තයේ ඡන්දයෙන් තේරී පත්වූ වඩාත් ම සාර්ථක නායකයා වන තක්සින් දුර්වල කිරීම සඳහා හමුදා කුමන්ත්‍රණ සහ මතභේදාත්මක උසාවි නඩු විභාගවලට සහය දුන් ගතානුගතික රාජකීයයන් බොහෝ කලක සිට ඔහු බියට පත් කර සිටියහ.

කෙසේ වෙතත්, දේශපාලනික වශයෙන් අපේක්ෂාසහගත ටෙලිකොම් ක්ෂේත්‍රයේ දැවැන්තයා හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කර වසර ගණනාවකට පසු නැවතත් පැමිණ තිබේ. ඔහු බැංකොක්හි ප්‍රධාන ගුවන් තොටුපළට ගොඩ බැස්සේ ඔහු බැලීමට රාත්‍රිය පුරා රැස්ව සිටි පක්ෂපාතී "රතු කමිස" ආධාරකරුවන් සිය ගණනකගේ ඔල්වරසන් මධ්‍යයේ ය.

63 හැවිරිදි සැම්නියැං කොංපොල්පාර්න් පසුගිය දශක කිහිපය තුළ තක්ෂින්ගේ පක්ෂයේ බලකොටුව වූ ඊසාන දිග පිහිටි සූරීන් පළාතේ සිට සංචාරය කළ අය අතර විය.

"අපට හිටිය හොඳ ම අගමැති ඔහු. මම අද ඔහු බලන්න එන්න බැරි වුණත්, මට ඔහුට සහය දෙන බව පෙන්වන්න තවමත් අවශ්‍යයි," ඇය පැවසීය. "ඔවුන් හමුදා රජය සමග සංහිඳියාවක් ඇති කර ගත්ත එකට මම එකඟයි. එසේ නැත්නම් අපට සිද්ධ වෙන්නෙ සෙනෙට් සභිකයින් එක්ක ගැටෙන්න. අපට ඒක අවශ්‍ය නැහැ."

සිය දියණියන් දෙදෙනා සහ පුතුට මැදින් සිටි තක්සින් ගුවන් තොටුපළ පර්යන්තයෙන් ටික වේලාවකට මතු වී රජුගේ සහ රැජිණගේ ඡායාරූපයකට ගෞරවය පුද කළේ ය. 74 හැවිරිදි ඔහු වහා ම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන යනු ලැබූ අතර, එහිදී ඔහුට පෙර කරන ලද බව කියන වැරදි තුනකට වසර අටක සිරදඬුවමක් නියම කරන ලදී. පසුව ඔහු බැංකොක් රිමාන්ඩ් බන්ධනාගාරයට යොමු කරන ලෙස නියම කෙරිණි.

එහි සේවයේ නියුතු බන්ධනාගාර බලධාරීන් පවසන්නේ, ඔහුගේ වයස සැලකිල්ලට ගෙන ඔහු නිශ්චිත වෛද්‍ය උපකරණ සහිත කාමරයක රඳවා තබන බව ය. ඔහු දින 10 ක නිරෝධායනයකට ද භාජනය වනු ඇති අතර, එහි පළමු දින පහ එම කාමරයට සීමා වී ගත කිරීමට සිදුවනු ඇතැයි බලධාරීහු පවසති.

තක්සින් රාජකීය සමාව ඉල්ලා සිටිනු ඇතැයි අනුමාන කරන අතර, බන්ධනාගාර බලධාරීන් අඟහරුවාදා ප්‍රකාශ කළේ, ඔහුට බන්ධනාගාරයේ සිට ම වහා ම පෙත්සමක් ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බව ය. එම ක්‍රියාවලියට මාසයක් හෝ දෙකක කාලයක් ගත වනු ඇත.

Former Thai prime minister Thaksin Shinawatra greets supporters as he arrives at Don Mueang International Airport on August 22, 2023 in Bangkok, Thailand.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බැංකොක් වෙත පැමිණි තක්සින් සිය ආධාරකරුවන්ට ආචාර කරමින්

ඉදිරි අසුනේ පසු වන තක්සින්ගේ දේශපාලන පක්ෂය

තක්සින්ගේ ෆියු තායි පක්ෂය, සභාග ආණ්ඩුවකට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය මාස තුනක කාලයකදී තායිලන්තයේ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ ව්‍යාකූල ක්‍රියාවලියකි.

එය ආරම්භ වූයේ, මැයි මස පැවති මැතිවරණයෙන් වැඩි ම ආසන සංඛ්‍යාවක් දිනා ගත් රැඩිකල් තරුණයින් විසින් මෙහෙයවන ලද Move Forward පක්ෂය විසින් නායකත්වය දෙන ලද නව අරුණැල්ලක් පිළිබඳ බලාපොරොත්තු සමගිනි.

Move Forward මුලදී ෆියු තායි පක්ෂය සමග හවුල්කාරිත්වයක් ගොඩනගාගෙන සිටියේ ය. සන්ධානයට සියල්ලන් ම පාහේ ඇතුළත් වන බව දැන් සහතික වී ඇති නමුත් හිටපු කුමන්ත්‍රණ කරන්නන් විසින් නායකත්වය දෙන පක්ෂ දෙකක් ඇතුළුව ප්‍රතිසංස්කරණවාදීන් පවසන්නේ, සතුරන් සමග ගනුදෙනුවක් සඳහා ෆියු තායි පක්ෂය එකඟ නොවනු ඇති බව ය.

ෆියු තායි පක්ෂය අවධාරණය කරන්නේ, පාර්ශව දෙක එක් නොවන බව ය. එය පිළගන්නේ ඉතා ස්වල්ප දෙනෙක් පමණි.

2014 වසරේ කුමන්ත්‍රණයකින් පසු වසර පහක් තායිලන්තය පාලනය කළ හමුදා ජුන්ටාව විසින් එරට දේශපාලන භූමියේ වළ දමන ලද ආසන 250ක ව්‍යවස්ථාපිත බිම් බෝම්බයක් වන තේරී පත් නොවූ සෙනෙට් සභාව විසින් ෆියු තායි පක්ෂයේ දෑත් බැඳ ඇති බව සත්‍යයකි.

Move Forward පක්ෂය හමුවේ තමන්ට තිබූ සහය බෙහෙවින් අහිමි කර ගත් ෆියු තායි පක්ෂය මැතිවරණයේදී ලැබූ දුර්වල ප්‍රතිඵලය නිසා ඔවුන් සතුව තිබූ කේවල් කිරීමේ බලය දුර්වල වූ අතර පළමු වරට දෙවන ස්ථානයට පත්විය.

ජුන්ටාව යටතේ පත් කරන ලද සියලු ම සෙනෙට් සභිකයින්ට නව අගමැතිවරයෙකු තෝරා ගැනීම සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් 500 දෙනා සමග එක් වීමට අවසර තිබේ. තායිලන්තයේ දශක ගණනාවක් තිස්සේ තීරණ ගැනීමේ ආධිපත්‍යය දැරූ රාජාණ්ඩුව, හමුදාව සහ දැවැන්ත ව්‍යාපාරිකයන්ට තර්ජනයක් විය හැකි ඕනෑ ම පාර්ශවයක් අවහිර කිරීම ඔවුන්ගේ සියුම් වෙස්වලාගත් දඬුවමකි.

පහළ මන්ත්‍රී මණ්ඩලයේ අණසක පතුරුවන බහුතර බලය තිබියදී, ෆියු තායි සමග Move Forward ප්‍රමුඛ සන්ධානයට සහය දීම ප්‍රතික්ෂේප කිරීම පුදුමයට කරුණක් නොවේ. නව සභාගයක් සඳහා සාකච්ඡා කිරීමට ෆියු තායි පක්ෂයේ වාරය පැමිණි විට, සෙනෙට් සභාවේ සහය අවශ්‍ය වූ හෙයින් හිටපු විරුද්ධවාදීන්ගෙන් සමහරක් එයට එක් කර ගැනීමට සිදු විය.

A Thaksin supporter outside the airport

ඡායාරූප මූලාශ්‍රය, Lulu Luo/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, ආධාරකරුවන්ගෙන් වැඩි පිරිසක් තක්සින්ගේ බළකොටුවක් වන ඊසාන දිගින් පැමිණ තිබිණි

කෙසේ වෙතත්, ඇතැම් ෆියු තායි දේශපාලඥයින් තර්ක කරන්නේ, දැඩි මතධාරී ගතානුගතික කණ්ඩායම් සමග එක රජයක කටයුතු කිරීම ප්‍රතික්ෂේප කර, පක්ෂය වඩා හොඳ ගනුදෙනුවක් සඳහා බලා සිටිය යුතු බව ය. ෆියු තායි සහ Move Forward යන පක්ෂ නොමැතිව පිහිටුවනු ලබන ඕනෑ ම සුළුතර පරිපාලනයක් ඉක්මනින් බිඳ වැටෙනු ඇත. මන්ද, සෙනෙට් සභිකයින්ට අයවැය වැනි කරුණු සම්බන්ධයෙන් සාමාන්‍ය පාර්ලිමේන්තු ඡන්දවලට සම්බන්ධ විය නොහැකි බැවිනි.

එහෙත් ෆියු තායි පක්ෂයේ නායකත්වය අවස්ථාවක් හිමි වන තුරු බලා සිටීමට කැමති වූයේ නැත; එය සන්ධානයට එක් වන ලෙස රාජකීය අන්තවාදී පක්ෂයක් වන යුනයිටඩ් තායි නේෂන් පක්ෂයට පවා ඇරයුම් කළේ ය. යුනයිටඩ් තායි නේෂන් පක්ෂයේ නායකයින් අතීතයේදී ෂිනවත්‍ පවුල සහ ඔවුන්ගේ ආධාරකරුවන් දැඩි ලෙස විවේචනය කර ඇති අතර තක්සින්ගේ සොහොයුරිය වන යින්ග්ලක් විසින් නායකත්වය දෙනු ලැබූ අවසන් ෆියු තායි රජය නෙරපා හැරීමට ද මූලික විය. මේ දෙපිරිස දැන් එක ම ආණ්ඩුවක එකට අසුන් ගැනීම තායිලන්ත දේශපාලනය කොතෙක් දුරට විපර්යාසයකට ලක්ව ඇත්ද යන්න පෙන්නුම් කරයි.

අවසානයේදී, යුනයිටඩ් තායි නේෂන් පක්ෂයට Move Forward විසින් එල්ල කරන ලද තර්ජනයක් සහ තායිලන්ත තරුණ පරම්පරාවක් රාජාණ්ඩුවේ බලය සහ ධනය පිළිබඳ සංවාදයක් ඉල්ලා සිටීම යන කරුණු හේතුවෙන් ෂිනවත් පවුල සමග පැවති ඔවුන්ගේ දීර්ඝ කාලීන වෛරය යටපත් විය.

ෂිනවත් පවුලට සහ ෆියු තායි පක්ෂයට එම පක්ෂයේ වඩාත් ගතානුගතික, ව්‍යාපාරික අදහස් ඇති පුද්ගලයින්ට පක්ෂයේ කීර්තිය ගැන වදවීමට වඩා විශාල ප්‍රමුඛතාවක් වී ඇත්තේ, නැවත රජයට එක් වීම සහ තක්සින් නැවත ගෙන ඒමේ ගනුදෙනුව සහතික කිරීම ය.

කෙසේ වෙතත්, ප්‍රායෝගික වශයෙන් පෙනෙන මෙම ගනුදෙනුවේ නරුම ස්වභාවය නිසා භීතියට පත් වූවන්, ෆියු තායි පක්ෂය තුළ පවා සිටිති. දිගු කලක් තිස්සේ සිටින උද්‍යෝගිමත් බිම් මට්ටමේ ආධාරකරුවන් පවා පක්ෂයට අහිමි විය හැකි බවටත්, ඇතැම් විට සදහට ම තායිලන්තයේ මැතිවරණ දේශපාලනය මත දශක දෙකක් තිස්සේ පැවති ආධිපත්‍යය අහිමි වනු ඇති බවටත් ඔවුහු අනතුරු අඟවති.