කොළඹ බිම්ස්ටෙක් සමුළුවට මියන්මාරයේ හමුදා රජයේ නියෝජිතයින් පැමිණෙයි

18th Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation (BIMSTEC) ministerial meeting in Colombo on March 29, 2022

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පස්වැනි බිම්ස්ටෙක් සමුළුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම මාර්තු 29 දා කොළඹ දී පැවැත්විණි

පස්වැනි බිම්ස්ටෙක් සමුළුව (BIMSTEC) ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මේ දිනවල කොළඹ දී පැවැත්වෙයි.

දශකයකට පමණ පසු ශ්‍රී ලංකාවේ මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වෙන්නේ 2013 වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවෙන් (CHOGM) අනතුරුව යි. ශ්‍රී ලංකාව තම ප්‍රතිරූපය ගොඩනැංවීම උදෙසා මෙම සමුළුව යොදාගනු ඇති බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයින් ප්‍රකාශ කරයි.

බිම්ස්ටෙක් සමුළුව මාර්තු 30 වැනිදා දක්වා දෙමුහුන් ආකාරයෙන් පැවැත්වෙනු ඇත.

බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල රැස්වීමට අද පැවැත්වෙන අතර බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ අමාත්‍යවරුන්ගේ සහ මියන්මාර විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙනි.

රාජ්‍ය නායක සමුළුව

බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල නායකයින්ගේ වර්චුවල් සහභාගීත්වයෙන් යුතුව, ශ්‍රී ලංකාවේ ජනාධිපති 2022 මාර්තු 30 වන දින 5 වැනි බිම්ස්ටෙක් සමුළුවේ මුලසුන හෙඹවීමට නියමිත ය.

මියන්මාරය නියෝජනය කරමින් මියන්මාර විදේශ අමාත්‍යවරයා සමුළුව සඳහා සහභාගී වනු ඇත.

සමුළුවේ දී බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මතකර ගැනීමට සහ නීතිමය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.

කොවිඩ් වසංගතය ආශ්‍රිත අභියෝග සහ සියලුම බිම්ස්ටෙක් සාමාජිකයින් මුහුණ දෙන ජාත්‍යන්තර පද්ධතිය තුළ ඇති අවිනිශ්චිතතාවයන්, සහ බිම්ස්ටෙක් තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව ඊළඟ මට්ටමට ගෙන යාමේ ඉලක්කය මෙවර සමුලුවේ නායකයින් විසින් සාකච්ඡා කරනු ලබන ප්‍රධාන විෂය වනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

කණ්ඩායමේ මූලික ආයතනික ව්‍යුහයන් සහ යාන්ත්‍රණයන් ස්ථාපිත කිරීම පිළිබඳව ද නායකයින් සාකච්ඡා කිරීමට නියමිත ය.

මොකද්ද මේ බිම්ස්ටෙක් කියන්නේ?

බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක් එකඟතාව (BIMSTEC) යනු 1997 ජුනි 06 වන දින බැංකොක් ප්‍රකාශනය අත්සන් කිරීමත් සමග පිහිටුවන ලද කලාපීය සංවිධානයකි.

මුල දී BIST-EC (බංග්ලාදේශය-ඉන්දියාව-ශ්‍රී ලංකා-තායිලන්ත ආර්ථික සහයෝගීතාව) ලෙස හැඳින්වූ මෙම සංවිධානය දැන් 'බිම්ස්ටෙක්' ලෙස හඳුන්වන අතර, 1997 දෙසැම්බර් 22 දින මියන්මාරයත්, 2004 පෙබරවාරි මාසයේ දී භූතානය සහ නේපාලයත් සංගමයට එකතුවීමත් සමග සාමාජික රටවල් හතකින් සමන්විත වේ.

BIMSTECහි ආයතනික පරිණාමය ක්‍රමානුකූලව සිදුවිය.

2014 තුන්වන බිම්ස්ටෙක් සමුළුවේ තීරණයකට අනුව එම වසරේ දීම බංග්ලාදේශයේ ඩකාහි බිම්ස්ටෙක් ලේකම් කාර්යාලය පිහිටුවන ලද අතර, සහයෝගීතාව ගැඹුරු කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ආයතනික රාමුවක් සපයයි.

අංශ මත පදනම් වූ කණ්ඩායමක් වන බැවින්, BIMSTEC තුළ සහයෝගීතාව 1997 දී (වෙළඳාම, තාක්‍ෂණය, බලශක්තිය, ප්‍රවාහනය, සංචාරක, සහ ධීවර කර්මාන්තය) අංශ හයක් කෙරෙහි මුලින් අවධානය යොමු කෙරිණ.

කෘෂිකර්මය, මහජන සෞඛ්‍යය, දරිද්‍රතාවය පිටුදැකීම, ත්‍රස්තවාදයට එරෙහි වීම, පරිසරය, සංස්කෘතිය, මිනිසුන් අතර සම්බන්ධතා, සහ දේශගුණික විපර්යාස ඇතුළු කිරීමත් සමග 2008 දී ක්ෂේත්‍ර පුළුල් විය.

ලංකාවට වැදගත් වන්නේ ඇයි?

කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හසිත කන්දඋඩහේවා පවසන්නේ සාක් සංවිධානයට සාපේක්ෂව බිම්ස්ටෙක් සංවිධානය ආර්ථික හා තාක්ෂණික ක්ෂේත්‍රවලට පැතිර ඇති බව යි.

සමුළුව තුළින් ශ්‍රී ලංකාව රටක් ලෙස තම ජාත්‍යන්තර ප්‍රතිරූපය ප්‍රදර්ශනය කිරීමට උත්සහ කරනු ඇති බව ද ඔහු කියා සිටියේ ය.

President Rajapaksa meets Indian External Affairs Minister Dr. S. Jaishankar

ඡායාරූප මූලාශ්‍රය, Gotabaya Rajapaksa/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනපති ගෝටාභය රාජපක්ෂ මාර්තු 29 දා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුවිය

රුසියානු - යුක්‍රේන අර්බුදය මෙන්ම ගෝලීය තෙල් හා බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙම සමුළුවට ශ්‍රී ලංකාවට බොහෝ සෙයින් වැදගත් වන බව ඔහු පැවසීය.

"මේ වෙලාවේ බංග්ලාදේශය හා ඉන්දියාව තමා ආධාර දෙන්න පුළුවන් තැනක ඉන්නේ. ශ්‍රී ලංකාව උත්සහ කරයි වෙළෙඳ, ආර්ථික කෙන්ද්‍රයක් වටා සමුළුව ගෙනියන්න."

"ශ්‍රී ලංකාව රටක් විදිහට උත්සහ කරයි අපේ අපනයන භාණ්ඩ මෙම රටවලට වැඩි කරලා, භාණ්ඩ ආනයනය ක්‍රෙඩිට් ලයින් එකකට ණය පදනමක් මත ගෙනියන්න," ඔහු පෙන්වා දුන්නේ ය.

මේ අතර බංගලාදේශයේ විදේශ අමත්‍යවරයා නිවුස්ෆිර්ස්ට් වෙත පැවසුවේ එරටින් ලබාදුන් මුය හුවමාරුවේ කාලය දීර්ඝ කල බවත් තවත් ඩොලර් මිලියන 250ක මුදල් හුවමාරුවක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති බවයි. ඒ පිළිබඳව බංගලාදේශය මෙතක් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් එය සමාලෝචානය කරමින් සිටින බවයි.

මියන්මාර හමුදා රජයේ නියෝජිතයිනුත් සමුළුවට

මියන්මාර හමුදා රජයේ නියෝජිතයින් ද මෙවර බිම්ස්ටෙක් සමුළුව නියෝජනය කිරීමට නියමිත ය.

ආචාර්ය කන්දඋඩහේවා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය: "ලංකාව නොබැඳි රාජ්‍යයක් විදිහට සාමාන්‍ය සම්ප්‍රදාය තමා කුමන්ත්‍රණකාරීව බලයට පත්වන රජයක් සමග ගනුදෙනු කරන්න එතරම් ප්‍රවේශ වන්නේ නැහැ. හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් සමග විතරයි අප ගනුදෙනු කරන්න උත්සහ කරන්නේ. නමුත් මියන්මාර හමුදා පාලනය පිළිගැනීමක් අපි කරනවා නොනිල වශයෙන්. මේක සමහර විට චීනයේ බලපෑම මත සිද්ධ වෙච්ච දෙයක් වෙන්න පුළුවන්."

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා පෙන්වා දුන්නේ මියන්මාරයේ වත්මන් හමුදා පාලනය චීනයට දැඩි නැඹුරු පාලනයක් ගෙන යන බව යි.

ශ්‍රී ලංකාවේ නොබැඳි ප්‍රතිපත්තිය මේ වන විට සංකල්පයකට පමණක් සීමා වී ඇතැ යි ද ඔහු කියා සිටියේ ය.

ශ්‍රී ලංකාවෙන් පසු මීළඟ බිම්ස්ටෙක් සමුළුව තායිලන්තයේ දී පැවැත්වීමට නියමිත ය.