යුක්රේන ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඇත්තෙන්ම මධ්‍යස්ථ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
යුක්රේනය වෙනුවෙන් හඬ නැඟීමට එක්වන්නැ යි එක්සත් ජනපදය, කැනඩාව, යුරෝපා සංගමය ඇතුළු රටවල් 14ක තානාපතිවරු සිකුරාදා (මාර්තු 18) ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියහ.
මෙතෙක් ශ්‍රී ලංකාවේ ස්ථාවරය වී ඇත්තේ මෙම යුද ගැටුම සම්බන්ධයෙන් මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කිරීම බව පෙනෙන්නට තිබේ.
එහෙත් ශ්‍රී ලංකාව රුසියාවට එරෙහිව එල්ලවන ඕනෑම යෝජනාවක දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකීමෙන් හෝ විපක්ෂව ඡන්දය ලබාදීමෙන් රුසියාවට පකෂපතීත්වය දක්වනු ඇතැ යි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයෝ පෙන්වා දෙති.
ශ්‍රී ලංකාවට මෙම ගැටුම සම්බන්ධයෙන් මධ්‍යස්ථ පිළිවෙතක සිටිය හැකි ද යන කරුණ අපි මේ ලිපියෙන් විමසා බලමු.
තානාපතිවරුන්ගේ ඉල්ලීම
පසුගිය දා ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානීන් 14 දෙනෙකු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ, යුක්රේනයේ සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්ම නගාසිටුවීම සඳහා ප්‍රසිද්ධ සහයෝගය දැක්වීමට ඔවුන් හා එක්වන ලෙස යි.
"මේ ඇරයුම එදිරිවාදිකම් වහා අවසන් කරන ලෙස රුසියාවෙන් ඉල්ලා සිටීමට අප හා එක්වීම සඳහා යි," තානාපතිවරුන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙයි.
"යුක්‍රේනයේ ස්වෛරීභාවය හා ස්වාධීනත්වය යථා තත්ත්වයට පත් කිරීම සහතික කිරීම සඳහා අපි ලොව පුරා සිටින අපගේ මිත්‍ර රටවල් සමග එක්ව කටයුතු කරන්නෙමු. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්වෛරීභාවය වෙනුවෙන් අපි යුක්රේනය වෙනුවෙන් පෙනී සිටින්නෙමු,"යි ද එහි සඳහන් වේ.
"රුසියාවේ ආක්‍රමණය සාමකාමී රටකට නීති විරෝධී ප්‍රහාරයකි. රුසියාව ලොව පුරා සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ මූලික මූලධර්මවලට තර්ජනය කරයි. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ ප්‍රකාශයට අපි අපගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙමු," තානාපතිවරුන් ප්‍රකාශ කර තිබුණි.
"එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අතීතයේ දී අභියෝගයට ලක් වූ නමුත් එය සාමය, ආරක්ෂාව, සංවර්ධනය, යුක්තිය, ජාත්‍යන්තර නීතිය සහ මානව හිමිකම් යන පැත්තේ ස්ථිරව සිට ඇත. යුක්රේනයේ සහ සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා මෙම වටිනාකම් පවත්වා ගැනීම උදෙසා ජාත්‍යන්තර ප්‍රජාව සිය බලයෙන් සෑම දෙයක්ම කළ යුතු ය," ඔවුන්ගේ ප්‍රකාශයේ දැක්වෙයි.
ඕස්ට්‍රේලියාවේ, එක්සත් රාජධානියේ, සහ කැනඩාවේ මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජතාන්ත්‍රිකයින් පිරිසක් මෙම ඒකාබද්ධ නිවේදනයට අත්සන් තබා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Delegation of the European Union to Sri Lanka
මාර්තු 2 වන දින පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ දී රටවල් 141ක් - අතිමහත් බහුතරයක් - රුසියාවේ ආක්‍රමණය හෙළා දැකීමට ඡන්දය දුන්හ.
කෙසේ වෙතත්, එම ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය යන දකුණු ආසියාතික රටවල් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියහ.
ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය?
2022 පෙබරවාරි 25 වැනි දා නිකුත් කළ ප්‍රකාශයක් හරහා විදේශ අමාත්‍යංශය යුක්රේන අර්බුදය පිළිබඳ ශ්‍රී ලංකා ස්ථාවරය ප්‍රකාශ කළේ ය.
"යුක්රේනයේ මෑතකාලීනව සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළයාම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්වී ඇත," එහි සඳහන් වේ.
කලාපයේ සාමය, ආරක්ෂාව, හා ස්ථාවරභාවය පවත්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් යුතුව ක්‍රියා කරන ලෙසත්, එදිරිවාදිකම් වහා නැවැත්වීම සඳහා කටයුතු කරන ලෙසත් මෙම ප්‍රකාශය හරහා ශ්‍රී ලංකාව අදාල සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.
රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් සහ අවංක සංවාදය තුළින් මෙම අර්බුදය විසඳා ගැනීමට අදාල සියලු පාර්ශ්වවල සාමූහික උත්සාහයක් දැරිය යුතුබව ද ශ්‍රී ලංකාව අවධාරණය කර තිබුණි.
සාමකාමී ප්‍රතිපත්තියක් තුළ සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳාගන්නැ යි යුක්‍රේනයෙන් සහ රුසියාවෙන් ඉල්ලා සිටින බව ද විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශයේ සඳහන් විය.
පවත්නා ගැටලු සාමාකාමීව විසඳාගත යුතු බව ශ්‍රී ලංකාවේ ස්ථාවරය යි යනුවෙන් එහි සඳහන් විය.
ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ද?
කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හසිත් කන්දඋඩහේවා ප්‍රකාශ කරන්නේ යුක්රේන අර්බුදයේ දී "මධ්‍යස්ථව සිටීමට" ශ්‍රී ලංකාවට නොහැකි බවකි.
"යුද්ධය ආරම්භ වුණාම ලංකාව නිල වශයෙන් ප්‍රකාශයක් කරා 'අපි මධ්‍යස්ථ යි' කියලා. මේ ගැටුම තුළ ලංකාවට මධ්‍යස්ථවෙලා ඉන්න බැහැ. හේතුව තමා, එකක් ලංකාවට තියෙන ආර්ථික අභිලාශයන්. මේ වෙනකොට සංචාරකයින් පැමිණීම සහ ආර්ථික ආදයමක් කේන්ද්‍ර වෙනවා රුසියාව කෙරෙහි. අපි මධ්‍යස්ථ යි කියන ලයින් එකේ හිඳගෙන කටයුතු කළත්, හැබැයි අපි මධ්‍යස්ථම නෙමේ," ඔහු පැවසුවේ ය.
"මම මේකට කියන්නේ 'ගතික මධ්‍යස්ථබව' කියලා. අපි ඒක පෙන්නුවා එක්සත් ජාතීන්ගේ ඡන්ද විමසීමේ දී ඡන්දය නොදී සිටීමෙන්. එක්කෝ අපට තිබ්බා පක්ෂ වෙන්න හෝ විරුද්ධ වෙන්න. ඡන්දය නොදීමෙන් ලංකාව සහ ඉන්දියාව පෙන්නුවේ අපි සහයෝගයක් දක්වනවා රුසියාවට වක්‍රව, සෘජුව නෙමෙයි. ඒ එක්කම ලංකාව ඉල්ලුවා රුසියාවෙන් මිලියන 300ක ක්‍රේඩිට් ලයින් එකක්. මට පේන විදිහට සාමාන්‍යයෙන් අපි රුසියාවට පක්ෂපාතී මතයක් තමා පෙන්නුම් කරන්නේ ගැටුමට සක්‍රීයව දායක නොවී," ඔහු පෙන්වා දුන්නේ ය.
ආචාර්ය කන්දඋඩහේවා පවසා සිටියේ, "මේ තානාපතිවරු 14 දෙනාගේ ඉල්ලීම හේතුවෙනවා රුසියාවට ඉන්දියානු සාගාර කලාපය තුළින් විරුද්ධත්වයක් දක්වන්න," යනුවෙනි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
"ඉන්දියාවත් මේ වෙනකොට රුසියාවට පක්ෂපාතී මතයක් තියෙන්නේ. මම හිතන්නැහැ ලංකාව නිල වශයෙන් යුක්රේනයටවත්, රුසියාවටවත් සහයෝගය දක්වයි කියලා හෝ රුසියාවේ ක්‍රියාමර්ග විවේචනය කරයි කියලා. එක්තරා විදහකට මේක පක්ෂපාතීත්වය දැක්වීමක්," ඔහු පවසා සිටියේ ය.
"මෙරටට සංචාරක පැමිණිම් අතින් ගත්තත් රුසියාව අංක එක. යුක්‍රේනය අංක තුන. අපිට ආර්ථික වශයෙනුත් රුසියාව වැදගත්, අපිට ඕනේ නම් තෙල් ගන්න පුළුවන්, ආර්ථික සහය ගන්න පුළුවන්."
"2011 සිට රුසියාව පෙන්වලා ඉවරයි අපේ හොඳ මිත්‍රයෙක් කියලා. රුසියාව හැම වෙලාවෙම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී අපිව ආරක්ෂා කළා. ඒ ප්‍රතිපත්තියෙම ලංකාව යනවා. රුසියාවට එරෙහිව එල්ලවන ඕනෑම යෝජනාවක දී ලංකාව රුසියාවට පකෂපතීත්වය දක්වාවි, ඡන්දය දීමෙන් හෝ නොදීමෙන්. දෙකෙන්ම දක්වන්න පුළුවන්නේ. ඒ ක්‍රියාවලිය ලංකාව කරාවි. ඇත්තටම එක නෙවේ මධ්‍යස්ථභාවය," ආචාර්ය කන්දඋඩහේවා පැවසීය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ අමෙරිකා එක්සත් ජනපදය "කෙතරම් කතා කළත් යුක්රේනය සම්බන්ධයෙන් සාධනීය මැදිහත්වීමක් නොකරන බව" යි.
"මේ ගැටුම රුසියාව දින්නොත් අමෙරිකාවේ සම්පූර්ණ හෙජමොනික බලය නැතිවෙනවා. රුසියාව පැරදුණොත් රුසියාවේ හෙජමොනික බලය නැතිව යනවා. යුද්ධය දික්ගැස්සෙනවා කියන එක පුටින්ට අවාසියි. දික්ගැස්සෙනවා කියන එක අමෙරිකාවට වාසියි. හැබැයි මේ කාරණයෙ දී ශ්‍රී ලංකාව අවනත නොවීම තුළ, යුරෝපා සංගමයෙන් මානව හිමිකම් කවුන්සිලය හරහා මානව හිමිකම් සම්බන්ධයෙන් ලංකාවට වක්‍ර බලපෑමක් තියෙනවා," ආචාර්යවරයා අවධාරණය කළේ ය.











