යුක්රේන ආක්‍රමණය: මරියුපොල් නගරය බිඳවැටීමට ආසන්න යි

Many apartments and a school in the region are severely damaged, while the windows of some houses in the vicinity are broken by the effect of an explosion and many vehicles become unusable, after an attack carried out by the Russian forces in Kyiv, Ukraine on March 18, 2022

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියානු හමුදා විසින් එල්ල කරන ප්‍රහාරවලින් පසු කියෙව්හි මහල් නිවාස රැසකට සහ පාසලකට දැඩි හානි සිදුවී තිබේ

නැගෙනහිර යුක්රේනයේ බෙදුම්වාදීන්, රුසියාවේ සන්නද්ධ හමුදාවල ද සහාය ඇතිව යුක්රේන නගරයක් වන මරියුපෝල් වටා දැමූ "තොන්ඩුව හිරකරනබව" රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේයැ යි රුසියාවේ RIA නොවෝස්ති පුවත් ඒජන්සිය වාර්තා කරයි.

මරියුපෝල් මධ්‍යයේ සටන් සිදුවෙමින් පවතින බව අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියි.

සති තුනකට ආසන්න කාලයක් තිස්සේ, මරියුපෝල් නගරය එය මුළුමනින්ම වටලා සිටින රුසියානු හමුදාවන්ගේ නිරන්තර ෂෙල් වෙඩි ප්‍රහාරයන්ට ලක්විය. පුද්ගලයන් 300,000ක් පමණ නගරය තුළ සිරවී සිටින නමුත් 30,000ක් පමණ දෙනා පලායාමට සමත්වී ඇතැ යි වාර්තා වේ.

එක්සත් ජනපද බුද්ධිමණ්ඩලයක් වන යුධ අධ්‍යයනය සඳහා වූ ආයතනයේ නවතම දෛනික වාර්තාවෙහි වැදගත් කරුණු කිහිපයක්ම අඩංගු විය.

එයින් පැවසෙන්නේ, ඉදිරි සති කිහිපය තුළ දීර්ඝ රුසියානු ප්‍රහාරයක් මධ්‍යයේ දකුණු වරාය නගරයක් වන මරියුපොල් ඇදවැටීමට ඉඩ ඇතිබව යි.

ලියවිව්හි වැසියන් සහ BBC වාර්තාකරුවන් ද අද උදෑසන පිපිරුම් මාලාවක් ඇසුණුබව වාර්තා කළ අතර, ඉන්පසු නගරයෙන් පිටත අහසේ ඝන කළු දුමාරයක් නැඟී එන ආකාරය දක්නට ලැබුණි.

අනතුරුව ලියවිව්හි නගරාධිපතිවරයා නිවේදනයකර සිටියේ ගුවන් තොටුපොළ අසල ප්‍රදේශයට රුසියානු මිසයිලයක් එල්ල වූබව යි. එය පතිතවූයේ ගුවන් තොටුපොළට නොව, අසල පිහිටි ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ කම්හල් ගොඩනැගිල්ලක් මතටබව ඔහු ප්‍රකාශ කළේ ය. කම්හලේ වැඩ කටයුතු නතරකර ඇති අතර කිසිවෙකුට හානියක් සිදු නොවූබව ඔහු සඳහන් කළේ ය.

යුක්රේන ගුවන් හමුදාව පවසන්නේ කළු මුහුදේ සිට කෲස් මිසයිල හයක් එල්ල කෙරුණුබව යි. ඉන් දෙකක් ගුවන් යානා නාශක මිසයිල මඟින් විනාශකර දමා ඇත.

ගුවන් හමුදාව පැවසුවේ එම මිසයිල Kh-555 වර්ගයට අයත්, විශාල උපායමාර්ගික බෝම්බ හෙළන යානාවකින් දියත් කරන ලද ගුවන් මිසයිලයක්බව යි.

Maxar color infrared satellite view of fires burning near Fontanna Street in eastern Mariupol, Ukraine. 14march2022

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මරියුපොල්හි ඇවිලෙන ගොඩනැගිල්ලක් Maxar චන්ද්‍රිකා ඡායාරූපවලට හසුව තිබුණේ මෙලෙස ය

යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය අද (මාර්තු 18) සිය දෛනික ෆේස්බුක් යාවත්කාලීනය හරහා පවසන්නේ, ගැටුම ආරම්භ වූ දා සිට රුසියානු සොල්දාදුවන් 14,200ක් මියගොස් ඇතිබවට ඇස්තමේන්තුගත කෙරුණු වග යි.

රුසියාව සහ යුක්රේනය යන දෙරටම විවිධ තරාතිරමේ ජීවිත හා අනෙකුත් හානි වාර්තා කිරීම හේතුවෙන්, එක් එක් පාර්ශවයේ නිශ්චිත මරණ සංඛ්‍යාව ගණනය කිරීම අභියෝගාත්මක කාර්යයක්බවට පත්ව ඇත.

මාර්තු 3 වන දින නිකුත්වූ දුර්ලභ යාවත්කාලීනයක් හරහා රුසියාව තම භටයින් 498 දෙනෙකු සටනේ දී මියගියබව ප්‍රකාශ කළ නමුත්, එදා පටන් වැඩිදුර සංඛ්‍යාලේඛණ නිකුත්කිරීමකින් තොරව නිහඬව පසුවෙයි.

මේ අතර, එක්සත් ජනපද නිලධාරීන් බ්‍රහස්පතින්දා (මාර්තු 17) ප්‍රකාශ කළේ ජීවිතක්ෂයට පත් රුසියානු භටයින්ගේ සංඛ්‍යාව 7,000 ඉක්මවිය හැකි අතර, 14,000ක් පමණ දෙනා තුවාල ලබා ඇතිබව යි.

රුසියානු ආයුධ සහ යුද රථවලට සිදු කරන ලද අනෙකුත් හානි ද ඇතුළුව, යුක්රේනය කියා සිටින්නේ තම හමුදා විසින් පහත සඳහන් දෑ විනාශකර දමා ඇතිබව යි:

  • යුද ටැංකි 450ක්
  • ගුවන් යානා 93ක්
  • හෙලිකොප්ටර 112ක්
  • ගුවන් යානා නාශක අවි පද්ධති 43ක් අඩපණකර ඇත

මෙම ප්‍රකාශයන් ස්වාධීනව තහවුරුකර ගැනීමට BBCය සමත්වූයේ නැත.

රුසියානු ආක්‍රමණයේ 23 වැනි දිනයේ යුක්රේනයේ නවතම තත්ත්වය පිළිබඳ සාරාංශයක් මෙන්න:

  • ලියවිව්හි ගුවන්තොටුපොළ අසල කම්හලක් අද උදෑසන ප්‍රහාරයකට ගොදුරු වූ නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා නොවීය. ලියවිව් යනු පෝලන්ත දේශසීමාවේ සිට කිලෝමීටර 70ක් දුරින්, යුක්රේනයේ නැගෙනහිර සහ දකුණේ ප්‍රධාන සටන් පෙරමුණුවලට බොහෝ දුරින් පිහිටි නගරයකි
Russian advancement Ukraine 18 March 2022
ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියානු හමුදා පැමිණ ඇති දුර - මාර්තු 18. බටහිර ප්‍රදේශයේ දේශසීමාවට ආසන්නයෙන් ලියවිව් (Lviv) පිහිටා තිබේ
  • එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ ආරක්ෂක නිලධාරීන් පවසන්නේ රුසියානු හමුදා මෑත දිනවල දී නව ප්‍රදේශ අත්පත්කර ගෙන නැති අතර, චිත්ත ධෛර්යය සහ සැපයුම් සම්බන්ධ ගැටලු සමග පොරබදමින් සිටිනබව යි
  • යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් වෙත අඛණ්ඩව ෂෙල් වෙඩි ප්‍රහාර එල්ලවන නමුත් ප්‍රාදේශීය හමුදා තවමත් නගරය ආරක්ෂා කරයි
  • ගිනිකොණදිග නගරයක් වන මරියුපොල් තවමත් රුසියානු හමුදාවන්ගේ දැඩි ප්‍රහාරයට ලක්ව තිබෙන නමුත් 30,000ක පමණ පිරිසක් පලායාමට සමත්ව ඇතැ යි ප්‍රාදේශීය බලධාරීන් පවසයි
  • යුක්රේන බලධාරීන් පවසන පරිදි රුසියානු බෝම්බවලින් විනාශවුණු මරියුපෝල්හි රඟහලක නටබුන් අතරින් දිවි ගලවාගත් අය මතුවෙමින් පවතිනබව පැවසේ. මේ වන විට 130 දෙනෙකුගේ දිවි ගලවාගෙන ඇත
  • නිලධාරීන් පවසන්නේ එක් රැයක් තුළ යුක්රේනියානුවන් 1,000කට වැඩි පිරිසක් බස්රථ සහ මෝටර් රථ මඟින් කියෙව් ප්‍රදේශයෙන් ඉවත් කෙරුණුබව යි
  • අද දිනයේ දී ලබාගන්නා ඇමතුමක් හරහා ක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, බටහිර සම්බාධකවලින් රුසියාව ගලවාගතහොත් චීනයට ඒ සඳහා "විශාල මිලක් ගෙවීමට" සිදුවනු ඇතැ යි චීන ජනපති ෂී ජින්පිංට අනතුරු අඟවනු ඇතැ යි අපේක්ෂා කෙරේ
  • යුක්රේනයේ ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි, යුරෝපය නිදහස හා පීඩාව අතරට බෙදන නව ආකාරයේ තාප්පය "කඩා දමන ලෙස" ජර්මානු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි අතර, එහිදී බර්ලින් තාප්පය බිඳ දැමීම සිහිපත් කළේ ය
  • රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් තුර්කි නායකයා සමග සිදුකළ දුරකථන සංවාදයක් හරහා, යුක්රේනය සමග සාම ගිවිසුමක් පිහිටුවීම සම්බන්ධයෙන් සිය ඉල්ලීම් ඉදිරිපත්කර සිටියේ ය
  • තමන් පෙර සැලසුම් කළ පරිදි එක්සත් ජාතීන්ගේ ඡන්දය සඳහා සිකුරාදා දිනයේ දී මානුෂීය යෝජනාවක් ඉදිරිපත් නොකරනබව රුසියාව ප්‍රකාශ කළ අතර, එක්සත් ජනපදය එයට සහාය නොදෙන ලෙස ජාතීන්ට බලපෑම් කරනබවට චෝදනා කළේ ය