යුක්රේන ආක්‍රමණය: රුසියාව යුද්ධය සඳහා කුලී හේවායන් බඳවා ගනියි

ඡායාරූප මූලාශ්‍රය, @RSOTM telegram group
රුසියාවේ සමාජ මාධ්‍ය සහ පුද්ගලික මැසේජ් ගෲප්ස් හරහා යුක්රේනයට එරෙහිව සටන් කිරීම සඳහා කුලී හේවායන්ගෙන් යුත් නව බලකායක් බඳවාගැනීම් සිදුවන බවට බීබීසී වෙත වාර්තා වී ඇත.
රුසියාවේ ප්‍රමුඛ පෙළේ කුලී හේවායන්ගේ සංවිධානයකට සමීප සම්බන්ධතා ඇති හිටපු සටන්කරුවෙකු වන කුලී හේවායෙකු විසින් මෙම බඳවාගැනීම් පිළිබඳ විස්තර බීබීසී වෙත හෙළිකර තිබේ.
ඔහු පැවසුවේ, යුද්ධය ආරම්භවීමට සති කිහිපයකට පෙර පුද්ගලික ටෙලිග්‍රෑම් ගෲප් එකක් හරහා රහසිගත වැග්නර් සංවිධානයේ බොහෝ ප්‍රවීණයන් සම්බන්ධකර ගත් බව යි. ඔවුනට යුක්රේනයේ 'විනෝද චාරිකාවක' යෙදී 'සේලෝ (ඌරු මස් මේදය - යුක්රේනයේ සාම්ප්‍රදායික ආහාරයක්) රස බැලීමට' මේ හරහා ආරාධනා කර තිබේ.
මේ සඳහා "අපරාධ වාර්තා හෝ ණය ඇති, කුලී හේවා කණ්ඩායම්වලින් පිටමං කළ හෝ විදේශ ගමන් බලපත්‍රයක් නොමැති අයට" අයදුම් කරන ලෙස පණිවිඩයේ දැක්වේ. "රුසියානු ආක්‍රමණය යටතේ ඇති ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් සමූහාණ්ඩුවේ සහ ක්‍රිමියාවේ තැනැත්තන් සාදරයෙන් පිළිගන්නාබව," පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් විය.

ඡායාරූප මූලාශ්‍රය, @RSOTM telegram group
වැග්නර් කණ්ඩායම රුසියාවේ රහසිගතම සංවිධානයන්ගෙන් එකකි. එවැනි සංවිධානයක් නිල වශයෙන් නොපවතින අතර, කුලී හේවායෙකු ලෙස සේවය කිරීම රුසියානු සහ ජාත්‍යන්තර නීතියට පටහැණි ය. නමුත්, පසුගිය වසර හත තුළ ක්‍රියාකාරීන් 10,000ක් පමණ වැග්නර් වෙතින් අවම වශයෙන් එක් කොන්ත්‍රාත්තුවක්වත් ගෙන ඇති බව විශ්වාස කෙරේ.
නවකයින්, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා බුද්ධි අංශය වන GRUහි නිලධාරීන්ගේ අණ යටතේ පවතින ඒකකවලට බඳවා ගැනෙන බව බීබීසීයට කතා කළ කුලී හේවායා පැවසීය.
බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය වෙනස් වී ඇති බවත්, එහි සීමාවන් අඩුකර ඇති බවත් ඔහු අවධාරණය කළේ ය. "උන් හැම කොල්ල යි, බල්ලයිම බඳවගන්නවා," නව සටන්කරුවන්ගේ නුපුහුණු බව ගැන නොසතුටට පත්ව සිටින ඔහු පැවසීය.
බඳවා ගන්නා නව ඒකක තවදුරටත් 'වැග්නර්' ලෙස හඳුන්වනු නොලබන නමුත් නව නම් ('ද හෝක්ස්' වැනි) භාවිතා කරන බව ඔහු පැවසීය.
ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ රුසියානු සහ නැගෙනහිර යුරෝපීය අධ්‍යයන පිළිබඳ මහාචාර්ය කැන්ඩන්ස් රොන්ඩූ පවසන්නේ, වැග්නර් සමූහයේ "නම කැතවී ඇති" බැවින්, ඔවුන් නවමු ආකාරයකට පෙනී සිටීමට උත්සහ දරන බව යි.
වැග්නර්, සිරියාවේ සහ ලිබියාවේ සිය මෙහෙයුම්වල දී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් නිරන්තර චෝදනාවලට මුහුණ දී තිබේ.
බීබීසීයට කතා කළ කුලී හේවා ආරංචි මාර්ග පැවසුවේ, බඳවාගත් නවකයින් පිරිස දකුණු රුසියාවේ මොල්කිනෝහි රුසියානු හමුදා කඳවුරක් අසල පිහිටි වැග්නර් කඳවුරේ පුහුණුව ලබන බව යි.

පුද්ගලික මැසේජ් ගෲප්වලට අමතරව, රුසියාව සඳහා කුලී හේවායන් බඳවා ගැනීම සඳහා ප්‍රසිද්ධ ව්‍යාපාරයක් ද ඇත.
රුසියානු සමාජ මාධ්‍ය වේදිකාවක් වන VKහි, ආරක්ෂක ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂඥයෙකු ලෙස පෙනී සිටින පිටුවක්, ආක්‍රමණයේ පළමු සතිය තුළ පැරණි සෝවියට් සංගමයේ රටවල "ආරක්ෂකයින්ට ආසන්න විදේශ රට" තුළ සටන් වැදීම සඳහා ඉල්ලුම් කරන ලෙස දැන්වීමක් පළ කළේ ය. එහි කියැවෙන රට යුක්රේනය බව හමුදා විශේෂඥයින් පවසා ඇත.
මීට පෙර, කුලී හේවායන්ට සම්බන්ධවීමට කැමති අයට පෙර අපරාධ වාර්තාවක් තිබීම බාධාවක් විය. එසේම පක්ෂපාතීත්වය පිළිබඳ සැකයන් ඇතිහෙයින් රුසියාවෙන් පිටත උපත ලැබූ අයට ද සම්බන්ධවීමට නොහැකිවන සේ සීමාවන් පනවා තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, VK social media site
VK හි තිබූ දැන්වීම මෙසේ ය: "වැඩ කරන්නන්ගේ ඉල්ලීම පරිදි, ආසන්න විදේශ රටක් සඳහා ආරක්ෂකයන් අවශ්‍යව ඇත! උපන් ස්ථානය (ජෝර්ජියාව හැර), ණය, විදේශ බලපත්‍රය සලකා නොබැලේ."
"සටන්කරුවන් සඳහා ඉහළ ඉල්ලුමක්" පවතින අතර භූමියේ වෙනසක් ඇති කිරීම සඳහා "ඔවුනට කුලී හේවායන් දහස් ගණනක් අවශ්‍ය වනු ඇතැ" යි එක්සත් ජනපදයේ ආරක්ෂක බුද්ධි මණ්ඩලයක් වන සුෆන් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක අධිසාමාජිකයෙකු වන ජේසන් බ්ලැසාකිස් පවසයි.
ඉකුත් සිකුරාදා රුසියානු ආරක්ෂක අමාත්‍ය සෙර්ගෙයි ෂොයිගු පැවසුවේ මැද පෙරදිග සටන්කරුවන් 16,000ක් රුසියානු හමුදාව වෙනුවෙන් සටන් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව යි. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මැදපෙරදිග සටන්කාමීන් යුද්ධයට යෙදවීමට අවසර ලබා දුන්නේ ය.
වැග්නර් කණ්ඩායමේ සටන්කාමීන් 400ක් පමණ යුක්රේනයේ සිටි බවට වාර්තා වී තිබේ.
වැග්නර් කණ්ඩායම ප්‍රථම වරට හඳුනාගනු ලැබුවේ, 2014 වසරේ නැගෙනහිර යුක්රේන ගැටුමේ දී රුසියානු හිතවාදී බෙදුම්වාදීන්ට පිටුබලය දෙමින් සිටිය දී ය.
යුක්රේන ආක්‍රමණයේ මුල් දිනවල දී තමා රටේ දෙවන නගරය වන කාර්කිව් වෙත යවන ලද බවත්, එහිදී තම ඒකකය එක්තරා මෙහෙයුමක් (කුමක්දැ යි හෙළි නොකළේ ය) සාර්ථකව නිම කළ බවත් සේවයේ නියුතු වැග්නර් සටන්කරුවා පැහැදිලි කළේ ය.
"මාසයක් වැඩ කළාට ඩොලර් 2,100ක් අරගෙන අපි ආපහු රුසියාවට ආවා," ඔහු බීබීසී වෙත පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, @RSOTM telegram group
බ්ලැසාකිස් කුලී හේවායන් භාවිතා කිරීම විස්තර කරන්නේ, රුසියානු මහජනතාවගේ සහයෝගය ලබා ගැනීම සඳහා වන "අවසන් බලාපොරොත්තුවේ සලකුණක්" ලෙස යි. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාව තුළ විරෝධතා කිහිපයක් මතුව තිබුණි. විරෝධතාකරුවන් දහස් ගණනක් අත්අඩංගුවට පත්වී ඇත. කුලී හේවායන් භාවිතා කිරීම "හරියට කාලතුවක්කු උණ්ඩ විදීම මෙන් සිදුවන නිසා", රුසියානු භටයින්ගේ මරණ සංඛ්‍යාව අඩු මට්ටමක තබාගැනීමට ක්‍රෙම්ලිනයට හැකිබව බ්ලැසාකිස් පැවසීය.
රුසියාව කුලී හේවා කණ්ඩායම් පිළිබඳ චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
රුසියානු බලධාරීන් "යුක්රේනයේ විශේෂ හමුදා මෙහෙයුමක්යැ"යි හඳුන්වන ක්‍රියාමාර්ගය සඳහා අතිරේක හමුදා බඳවා ගැනීමට මොල්කීනෝ කඳවුර භාවිතා කරන්නේදැ යි බීබීසීය රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයෙන් විමසා සිටි නමුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි.










