යුක්රේන ආක්‍රමණය: රුසියානු ආක්‍රමණය නැවැතීමට චීනයට තවත් උත්සාහ දැරිය හැකි ද?

China's President Xi Jinping

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තම විදේශ ප්‍රතිපත්තියේ මූලික ප්‍රතිපත්තියක් වන්නේ අන්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම බව චීනය සැමවිටම ප්‍රකාශකර ඇත

මසකට පෙර චීන ජනපති ෂී ජින්පිං ප්‍රකාශ කළේ, රුසියාව සමග අලුතින් ශක්තිමත් වූ චීන සබඳතාවට "සීමාවක්" නොමැති බව යි.

ඔහු සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් බීජිංහිදී මුහුණට මුහුණ හමුවූ අතර, ඒකාබද්ධ ලියවිල්ලකට අත්සන් කිරීමෙන් අනතුරුව ඔවුහු ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භය නැරඹීමට ද පිටත්ව ගියහ. ක්‍රීඩා උළෙල අවසන් වී දින කිහිපයකට පසු රුසියාව යුක්රේනය ආක්‍රමණය කළේ ය.

චීනය රජය මෙම ප්‍රහාරය හෙළා දැකීම හෝ අනුමත කිරීම නොකළ අතර, එය 'ආක්‍රමණයක්' ලෙස හැඳින්වීමෙන් පවා වැළකී සිටිති. තම විදේශ ප්‍රතිපත්තියේ මූලික ප්‍රතිපත්තියක් වන්නේ අන්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම බව ඔවුන් සැමවිටම ප්‍රකාශකර ඇත.

එහෙත් පසුගිය සතිය මුල දී, චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී සටන් විරාමයක් සඳහා සාධනීය ලෙස මැදිහත්වීමේ කාර්යභාරය ඉටු කිරීමට සූදානම් බව අඟවා තිබුණි. රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ වෑන්ග් "යුක්රේනයේ ස්වෛරීභාවය සඳහා චීනයේ වෙනස් නොවන සහයෝගය නැවතත් තහවුරු කළ" අතර, රාජ්‍යතාන්ත්‍රිකභාවය හරහා යුද්ධය අවසන් කිරීමට සෑම උත්සාහයක්ම ගැනීමට චීනය සූදානම් යන්න සහතික වූ බවත් ය.

මෑතක දී චීන රජය ද හමුදා ක්‍රියාමාර්ගය ගැන සිය කණගාටුව ප්‍රකාශ කළේ සිවිල් වැසියන්ට සිදුවන හානි ගැන සිය අතිශයින් කනස්සල්ල පළ කරමිනි.

චීනය තවත් එක් විශේෂ කටයුත්තක් සිදුකර තිබුණි. ඒ, රුසියාවේ ආක්‍රමණය හෙළා දකින එක්සත් ජාතීන්ගේ යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි ඉන්දියාව ද ඇතුළු ජාතීන් 34න් එකක් බවට පත්වෙමිනි. විශ්ලේෂකයින් පවසන්නේ මෙය පුදුමයට කරුණක් බව යි. චීනය රුසියාවේ සහායට ඡන්දය දෙනු ඇතැ යි බොහෝ දෙනා අපේක්ෂා කර තිබුණි.

එසේනම් එය චීනයේ ප්‍රතිපත්ති වෙනස්වීමේ ලකුණක් ද?

එය, චීනය විසින් රුසියාව සිය "යුක්තිසහගත ආරක්‍ෂක ගැටලුවක්" ලෙස විස්තර කරනා දෙය පිළිගනන්නා අතරේම, යුක්රේනයේ ස්වෛරීභාවයට ගරු කිරීමේ මූලධර්මය අතර සමතුලිතතාවයක් ඇතිකර ගැනීමට උත්සාහ දරනා වග පෙන්වන ලකුණක් විය හැකි ය.

ෂී සහ පුටින් ජනාධිපතිවරුන් එකාබද්ධව අත්සන් කළ වචන 5,000ක ලේඛනය දෙස ආපසු හැරී බැලූවිට පෙනී යන්නේ අභ්‍යවකාශය, ආක්ටික් ප්‍රදේශය, සහ Covid-19 එන්නත් ආදී පොදු සහ සැලසුම්සහගත මෙහෙයුම් එමඟින් ආවරණයකර ඇතත්, ඔවුන් එක්සත් කර තිබෙන්නේ නේටෝ ව්‍යාප්තියට ඇති විරෝධය බව යි.

එය, අන්‍යෝන්‍ය වශයෙන් වාසි සහගත තත්ත්වයක් සඳහා චීනය සහ රුසියාව වඩාත් සමීපව කටයුතු කරන අනාගතයක් පිළිබඳ ඔවුන්ගේ පොදු දැක්ම යි.

මූලික වෙනස්කම් - සහ සමානකම්

රුසියාවට සහ ව්ලැදිමීර් පුටින්ට සහාය දැක්වීමේ හෝ රුසියාවේ ක්‍රියාකලාපය හෙළාදැකීමෙහි ලා චීනය ස්ථිර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පැහැදිලි කළ හැකි අනෙක් ප්‍රධාන කරුණ වන්නේ තායිවානය යි.

බෙයිජිං විසින් 'අනියාමික පළාතක්' ලෙස සලකනු ලබන මෙම ස්වයං පාලන දිවයින, ජනාධිපති ෂී ජින්පිංට තම මව්බිමට නැවතත් ඈඳා ගැනීමට අවශ්‍ය ස්ථානයකි. ජනපති ෂී හමුදා බලයෙන් එය සිදුකළහොත් චීනයට එක්සත් ජනපදයෙන් සහ එහි මිත්‍ර පාර්ශ්වයන්ගෙන් හෙළා දැකීම්, සම්බාධක දැඩි කිරීම්, සංස්කෘතික බැහැර කිරීම් වැනි හෝ ඊට වඩා බරපතල ප්‍රතිචාරයකට මුහුණදීමට සිදුවනු ඇත.

තායිවානය යුක්රේනය නොවේ. වෙන කිසිවක්ම නොසැලකුවත්, දෙරටේ නීතිමය තත්ත්වයන් ද වෙනස් ය.

එහෙත් එය රුසියාවේ "යුක්තිසහගත ආරක්‍ෂක ගැටලු" ලෙස හඳුන්වන දේ පිළිගැනීමෙන්, සහ "සංකීර්ණ සහ විශේෂ සන්දර්භය" හේතුවෙන් ස්වෛරීත්වයට ගරු කිරීමේ මූලික මූලධර්මය අවතක්සේරු කරමින්, චීනයේ නායකයා අනාගතයේ තායිවානය "ආක්‍රමණය කිරීම" සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීමේත්, රුසියාවෙන් එවැනි සහායක් පිළිතුරු ලෙස අපේක්ෂා කිරීමේත් අවසරයක් ගැන බලාපොරොත්තු තබාගැනීමට ඉඩ තිබේ.

රුසියාවේ ජනාධිපතිවරයා පසුගිය මාසයේ ශීත ඍතු ක්‍රීඩා උළෙල සඳහා පැමිණියේ, කොවිඩ්-19 ආරම්භ වූ දා සිට චීනයට පැමිණි ප්‍රමුඛතම නායකයා බවට පත්වෙමිනි.

දෙදෙනාම තම ජනතාව සහ ඔවුන්ගේ "මාතෘභූමිය" අතර බැඳීම වර්ධනය කිරීමේ දැඩි අභිලාෂයෙන් කටයුතු කරන අත්තනෝමතික නායකයෝ වෙති. ෂී ජිංපිංගේ අනාගත දැක්ම වන්නේ, ස්වයංපෝෂිත විශාල ආර්ථිකයක් ඇති චීනය, මින්පෙර ප්‍රතිලාභ ලබා ඇති ඇතැම් ගෝලීය බැඳීම්වලින් යම් ප්‍රමාණයකට විසංයෝජනය වූ, වඩාත් ආත්මාවලම්බිත රාජ්‍යයක් වීම යි.

එහෙත් රුසියාව සමග අලුතෙන් ඇති වී ඇති 'සීමාවක් නැති' හවුල්කාරිත්වය, එක්සත් ජනපදයෙන්, එහි මිත්‍ර රටවලින්, සහ ලෝකය පාලනය වන පිළිවෙලින් ඈත්වීමේ නොවැළැක්විය හැකි පෙළගැස්වීමක් වෙනුවෙන් නොවිය හැකි ය.

මෑත වසරවල දී චීනය ලෝකයේ දේශගුණික විපර්යාස වෙනුවෙන්, සාමය රැකීම වෙනුවෙන් බොහෝ දේ සිදුකිරීමට උත්සාහකර තිබේ.

එමෙන්ම මෙහි ඇති දේශපාලනය ද සලකා බැලිය යුතු වේ. එය මැතිවරණ දේශපාලනය නොව සටන්කාමී ජාතියක් සමග සම්බන්ධ වීමේ දේශපාලනය යි.

වෙනත් ඕනෑම සාම්ප්‍රදායික ගැටුමකට වඩා යුද්ධයේ බරපතලකම බිහිසුණු විස්තර ද සහිතව, මිනිත්තුවෙන් මිනිත්තුන්වට සමාජ මාධ්‍යවල වාර්තා වන සමයක වුව චීනය එහි මිනිසුන්ට දැකිය හැකි සහ කියවිය හැකි බොහෝ දේ වාරණය කරන නමුත්, වය රුසියාව සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පිළිබඳ ගණනය කිරීමෙහි ලා වැදගත් සාධකයකි.

ෂී ජිංපිං සහ ඔහු වටා සිටින අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයින්, මෙම සම්බන්ධතාවයට ද සීමාවක් ඇති බව නිගමනය කර අඩියක් පසුපසට ගැනීම හෝ ඉදිරියට පැමිණ මොස්කව් නුවර සමග මැදිහත්කරුගේ භූමිකාව ඉටු කිරීමට උත්සාහ කළ යුතු ය. යුක්රේනය එය තමා විසින් භාරගැනීමට සූදානම් භූමිකාවක්බව පැවසූ නමුත්, තවමත් ආරම්භ වන බවට කිසිදු සලකුණක් නොපෙන්වන්නකි.