යුක්රේන ආක්‍රමණයේ නවතම තත්ත්වය: න්‍යෂ්ටික බලාගාරයකට රුසියානු ප්‍රහාරයක්

Ukraine man crying in front of a burning building

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

රුසියාව එල්ල කළ ෂෙල් ප්‍රහාරයකින් පසු යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන සපරීශියා බලාගාරයෙහි ගින්නක් හටගෙන තිබේ. යුක්රේන හදිසි ප්‍රතිචාරකයින් ගින්න නිවාදැමීමට සමත්ව ඇත.

යුක්රේනයේ රාජ්‍ය හදිසි සේවාව ප්‍රකාශ කළේ ගින්නෙන් විපතට පත්වූවන් නොමැතිබව යි. ගින්න, ප්‍රතික්‍රීයකවලට ඈතින් පිහිටි මහල් පහකින් යුත් පුහුණු මධ්‍යස්ථානයකට හානි කළේ ය.

මේ වන විට, රුසියානු හමුදා සපරීශියා න්‍යෂ්ටික බලාගාරය අත්පත් කරගෙන ඇතිබව යුක්රේන බලධාරීහු පවසති.

බලාගාරයේ සේවකයින් අඛණ්ඩව රාජකාරියේ නිරත වෙමින් බල ඒකකවල තත්ත්වය නිරීක්ෂණය කරයි.

යුක්රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි චෝදනා කළේ, රුසියානුවන් තාපජ මූර්තන පහසුකම් සහිත යුධ ටැංකි භාවිතා කරමින් ප්‍රතික්‍රීයක හය සොයාගෙන, ඒවාට හිතාමතා ප්‍රහාර එල්ල කළබව යි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

බටහිර නායකයෝ රුසියාවේ මෙම ප්‍රහාරය මුළු යුරෝපයේම ආරක්ෂාවට තර්ජනයක් වූ "භයානක" සහ "නොසැලකිලිමත්" ක්‍රියාවක් ලෙස හඳුන්වමින් ක්ෂණිකව හෙළා දුටුවෝ ය.

පැය කිහිපයකට පෙර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පුටින්ගේ "න්‍යෂ්ටික ත්‍රස්තවාදයට" එරෙහිව ඉක්මණින්ම තවත් පියවර ගන්නා ලෙස අනෙකුත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

1986 චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ අනතුර වැනි ගෝලීය ව්‍යසනයක වියහැකියාව වටහාගන්නා මෙන් ඔහු යුරෝපීයයන්ගෙන් ඉල්ලා සිටි අතර, ඉතිහාසය තුළ න්‍යෂ්ටික බලාගාරයකට බෝම්බ හෙලීමට උත්සාහ කළ පළමු රට රුසියාවබව ද පැවසීය.

ukraine invasion
ඡායාරූප ශීර්ෂ වැකිය, යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාර

රුසියාව දකුණුදිග යුක්රේනයේ සිය යුද ව්‍යාපාරය ශක්තිමත් කරමින් සිටින අතර, දින දෙකකට පෙර කර්සොන් අල්ලාගැනීමෙන් පසු එහි වැදගත් නගරයක් වන මරියුපෝල් වෙත ළඟාවෙමින් සිටියි.

දකුණු වරාය නගරයක් වන මරියුපෝල් මේ වන විට දැඩි ෂෙල් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත.

එහි නියෝජ්‍ය නගරාධිපතිවරයා, යුක්රේනයට හමුදාවන් එවන ලෙස නේටෝ නායකයන්ගෙන් ඉල්ලා සිටින අතර, රුසියාව සිය රට කාන්තාරයක්බවට පත්කර, සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මරා දමන තුරු නවතිනු නැතිබව ප්‍රකාශ කළේ ය.

අද (මාර්තු 4) BBC රේඩියෝ 4 වැඩසටහනට සහභාගී වූ නියෝජ්‍ය නගරාධිපති සෙර්ගේයි ඔර්ලොෆ් මෙසේ පැවසීය: "නේටෝව අවදිවී, මෙය කලාපීය ගැටුමක් නොව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි යුද්ධයක්, නිදහසට එරෙහි යුද්ධයක්, විශාලතම යුරෝපීය ජාතියකට එරෙහි යුද්ධයක්බව වටහාගන්නා තුරු පුටින් ඉහළ සිට අපගේ සිවිල් වැසියන් ඝාතනය කිරීම නැවැත්විය නොහැකියි.'

මිලියනයකට අධික සරණාගතයින් සංඛ්‍යාවක් මේ වන විට යුක්රේනයෙන් පලාගොස් තිබේ. සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා "මානුෂීය කොරිඩෝවක්" පිහිටුවීමට රුසියාව සහ යුකේනය යන දෙපාර්ශවයම එකඟවී ඇත.

දකුණුදිග යුක්රේනයේ මිකොලයෙව් නගරය වෙත ගමන් කරමින් සිටි රුසියානු හමුදා මේ වන විට නවතා දමා ඇතිබව යුක්රේන ජනාධිපති උපදේශකයෙකු පවසයි.

කළු මුහුදේ තීරණාත්මක වරායක් වන මිකොලයෙව් නගරයට රුසියානු හමුදා ඇතුළුවෙමින් සිටිනබව එහි නගරාධිපති විසින් ප්‍රකාශවීමෙන් වැඩි වේලාවක් යෑමට මත්තෙන් මෙම පුවත නිවේදනය කෙරිණි.

පහත සිතියමෙන් දැකගත හැකි පරිදි, රුසියානු හමුදාවන් මිකොලයෙව් අත්පත්කර ගැනීමට සමත්වුවහොත්, ඔවුන් ප්‍රධාන වරාය නගරයක් වන ඔඩෙසා වෙත සමීපවනු ඇත.

බ්‍රහස්පතින්දා චර්නිහිව් නගරයේ නිවාස සහිත දිස්ත්‍රික්කයකට එල්ලවූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 47 දෙනෙකු මියගියබව ප්‍රාදේශීය බලධාරීහු පවසති.

ප්‍රාදේශීය හදිසි සේවාවන්ට අනුව, බ්‍රහස්පතින්දා (මාර්තු 3) දැඩි ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් ගලවාගැනීමේ කටයුතු අත්හිටුවීමට සිදුවිය.

කලාපයට සතුරු ප්‍රහාර එල්ලවීම ඇරඹුනු දා සිට 148 දෙනෙකු (බහුතරය සිවිල් වැසියන්) මියගොස් ඇතිබව ප්‍රාදේශීය නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශකර සිටියි.

300,000ක ජනතාවක් සිටින මෙම නගරය රටේ උතුරට වන්නට, රුසියාව සහ බෙලරුස් දේශසීමාවන්ට ආසන්නව පිහිටා තිබේ.

රුසියාව යුක්රේනයේ දී සිදුකරන ක්‍රියාවන්ට විරුද්ධවන්නන්ට ජනාධිපති පුටින් අනතුරු අඟවා සිටියේ ය. ඒ, තම රටට තවත් සීමාවන් පනවමින් "තත්ත්වය තවත් උග්‍ර නොකරන ලෙස" ඉල්ලමිනි.

රුසියානු ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ රුසියානු රජයේ පාලනය යටතේ පවතින රොසියා 24 ප්‍රවෘත්ති නාලිකාවේ විකාශය වූ රජයේ රැස්වීමක දී ය.

"අපගේ අසල්වැසියන්ට එරෙහි කිසිදු අයහපත් චේතනාවක් අප තුළ නැත," පුටින් පවසා සිටියේ ය.

තව ද, සිය අසල්වාසීන්ට "අපගේ සබඳතා වඩාත් නරක අතට හැරවිය හැකි" ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට "අවශ්‍යතාවක් නොමැතියැ"යි සිය රජය සලකනබව පුටින් ප්‍රකාශ කළේ ය.

"සම්බන්ධතා සාමාන්‍යකරණය කරන්නේ කෙසේ ද, සාමාන්‍ය පරිදි සහයෝගයෙන් කටයුතු කරන්නේ කෙසේ ද, සහ සාමාන්‍ය අයුරින් සබඳතා වර්ධනය කරගන්නේ කෙසේ ද යන්න ගැන සියලුදෙනා කල්පනා කළ යුතුයැ යි මම සිතමි," ඔහු වැඩිදුරටත් පවසයි.

සාම සාකච්ඡා

පසුගිය දා, බෙලරුසියාවට මායිම් වන උතුරු දේශසීමාවේ දී යුක්රේන සහ රුසියානු නිලධාරීන් ඔවුන්ගේ පළමු සාකච්ඡා වටය අවසන් කළහ.

මෙම සැසියෙන් ඵලදායී විසඳුමක් ඉදිරිපත් වනු ඇතැ යි බලාපොරොත්තු නොවූ නමුත්, යුක්රේන නිලධාරියෙකු පැවසුවේ දෙවන වටයේ සාකච්ඡාවලට පෙර වැඩිදුර උපදේශන සඳහා දෙපාර්ශවයම ඔවුන්ගේ අගනුවරවල් වෙත යනු ඇතිබව යි.

දෙපාර්ශ්වයම තවදුරටත් සාකච්ඡා කිරීමට එකඟ වී ඇති බවත්, "ඉදිරි දින කිහිපය තුළ" නැවත හමුවන බවත් රුසියාවප්‍රකාශ කළේ ය.

හංගේරියාවේ අගමැති වික්ටර් ඕර්බන් BBC සමග පවසා සිටියේ යුක්රේනය සහ රුසියාව අතර සාම සාකච්ඡා පැවැත්වීමට පහසුකම් සැලසීමට හංගේරියාව කැමැත්තෙන් සිටිනබව යි.

හංගේරියා-යුක්රේන දේශසීමාවේ දී අදහස් දැක්වූ ඔහු, යුද්ධය නැවැත්විය හැක්කේ ප්‍රමන්ත්‍රණයන්, සාම සාකච්ඡා, සහ සටන් විරාමයකින් පමණක්බව BBCහි නික් තෝර්ප් හා ප්‍රකාශ කළේ ය.

යුද්ධය අවසන් කිරීමේ වගකීම බොහෝදුරට රුසියානු පාර්ශවය මතට පැවරෙන වග ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.

මේ අතරේ බටහිර විදේශ ඇමතිවරුන්, යුක්රේනයේ යුද්ධයට ලබාදිය යුතු ප්‍රතිචාරය තක්සේරු කිරීමේ සහ කළ යුතු තවත් දේ පිළිබඳව සලකා බැලීමේ බරපතල රාජ්‍ය තාන්ත්‍රික හමුවක් සඳහා බ්‍රසල්ස් වෙත රැස්වනු ඇත.

රුසියාව මත පීඩනය පවත්වා ගන්නා අතරේ යුක්රේනයට සහාය දැක්වීමේ නව මාර්ග සොයාබැලීමට ඇමතිවරුන් අපේක්ෂා කරයි.

ඉන්පසු නේටෝ, G7 සහ යුරෝපා සංගමයේ රටවල විදේශ අමාත්‍යවරුන් එකිනෙකා හමුවී වැඩිදුරටත් සිදුකළ යුතු දෑ ගැන සාකච්ඡා කරනු ඇත.

නැගෙනහිර ප්‍රදේශය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධව නේටෝ හමුදා සන්ධානය සලකා බලනු ඇත. ජෝර්ජියා සහ මෝල්ඩෝවා වැනි නේටෝ නොවන රටවලට සහාය දැක්වීම ද සාකච්ඡාවට බඳුන් කෙරෙනු ඇත.

යුරෝපා සංගම් අමාත්‍යවරු මෙහි මානුෂීය අර්බුදය තක්සේරු කරන අතර, ඔවුන්ගේ යුක්රේන සගයා වන ඩිමිත්‍රෝ කුලේබාගේ අදහස් ඔන්ලයින් මාධ්‍ය හරහා විමසනු ඇත. කුලේබා ගුවන් ආරක්ෂක හැකියාව වර්ධනය කරන ලෙස ඉල්ලා සිටිතැ යි අපේක්ෂා කෙරේ.

යුක්රේනය - ආක්‍රමණයට පෙර හා පසු

Ukraine before and after
Ukraine before and after
Ukraine before and after
Ukraine before and after