යුක්‍රේන BBC සංස්කාරක: සිනහවත් කඳුළත් අතර ගෙවුණු දින 5ක්

ඡායාරූප මූලාශ්‍රය, Marta Shokalo
මුල් දිනය: බිය, ත්‍රාසය, සහ කරගන්නට දෙයක් නැතිකම. දෙවන දිනය: බිය සහ තරහ. තෙවන දිනය: සාමකාමී බව, ජනතාව සටනට සූදානම්ව පාරට බැසීම. 2013/14 ශීත ඍතුවේ දී දූෂිත, සහ රුසියානු ගැති එවකට ජනාධිපති වික්ටර් යනුකොවිච් නෙරපා හැරීම වෙනුවෙන් කළ මයිඩාන් විරෝධතා අතරතුර යුක්රේනියානුවන්ට දැනුණු ආකාරයත්, දැන් දැනෙන ආකාරය අතරත් වෙනසක් නැත.
දින හතර සහ පහ තුළ කඳුළු අතරින් සිනහව මතුවූ අතර, මිතුරන් සමඟ විහිළු කිරීමට තරම් සිත ප්‍රාණවත් බවක් ලබා ගනී.
බියෙන් පිරුණු බවේ සිට දවසේ සාමාන්‍ය දෙයක් දක්වා යුද්ධය සාමාන්‍යකරණය වේ. වරින් වර පුවත් ගැන සොයා බැලීම සඳහා නිතැතින්ම දුරකථනය අතට පැමිණේ. ඒ අතරේ ආහාර ගැනීම ඇතුළු සාමාන්‍ය දෛනික කටයුතු ද කෙරේ. යුක්‍රේනය පුරා බෝම්බ හඬ සමඟ නිදි වර්ජිතව සිටින්නන් අතරේ මා වගේ ඔබත් නිහඬව, හොඳින් නිදාගෙන සිටීවි.
කියෙව් හැර දා ආ පසු මා අගය කළ පළමු දෙය නිශ්ශබ්දතාවය සහ උණුසුම් ඇඳයි. මට නම් ඒවා තවමත් වටිනාම දේවල්.
රෑට නිදාගනිද්දි පුතා පිජාමා අඳින්නදැයි අසද්දී මා ඔව් කියන්නේ සතුටිනි. අපි මෙහි එන්නට පෙර හදිසියේ පලායාමට සිදුවුවහොත් ඊට ගැලපෙන ඇඳුමකින් නිදාගන්නට සිදු විය.
මුදල්, ඇඳුම් පැළඳුම්, සැලසුම්, නිවාඩු කාලය තවදුරටත් වැදගත් නොවේ. ආරක්ෂිතව, ජීවතුන් අතර දරුවා සමඟ සිටීම මට දැන් ලෝකයේ ඇති වැදගත්ම දෙයයි.
හැඟීම් දෙකක් මේ වන විට යුක්රේනයේ ආධිපත්යය දරයි ඒ රුසියාව කෙරෙහි දැවැන්ත කෝපය සහ ජාතියක් ලෙස යුක්රේනියානුවන්ගේ එක්සත්කම පිළිබඳ ඇදහිය නොහැකි හැඟීමයි. ඒවා කොතරම් පැහැදිලිව පෙනෙනවාද යත් ඔබට ඒවා ශාරීරිකව ස්පර්ශ කල හැකි අයුරින් දැනිය හැකිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බොහෝ රුසියානු බස වහරන යුක්‍රේනියානුවන් යුක්‍රේනියානු භාෂාවට මාරු වී ඇති අතර, කිසි විටෙකත් නැවත රුසියානු බසට මාරු නොවන බවට පොරොන්දු වී ඇත. ඔවුහු රුසියාවට කිසිදා සමාව නොදෙන බවට පොරොන්දු වෙති.
පළමු දින දෙකේ කම්පනයෙන් මිදී, මිනිසුන් දැන් තම නගර, සහ ගම් ආරක්ෂා කිරීම සඳහා කණ්ඩායම් වශයෙන් සංවිධානය වෙමින් සිටියි. දැන් ආයුධ සන්නද්ධ පුද්ගලයින්ගෙන් යුත් මුරපොලවල්වලින් ඔබව නවත්වා ඔබගේ විදේශ ගමන් බලපත්‍රය පෙන්වන්නැයි ඉල්ලා සිටින බැවින් වෙනදා මෙන් ඕනෑම තැනක රිය පැදවිය නොහැක. ඔබ සෑම තැනකම කැලෂ්නිකොව් රයිෆල අතින් ගත් අය දකින්නට ලැබෙන අතර, එය තවදුරටත් පුදුමය දනවන දසුනක් නොව දැන් සාමාන්‍ය දෙයක් බවට පත්ව හමාරය.
මොලොටොව් කොක්ටේල් වට්ටෝරු බෙදා හදා ගන්නා කණ්ඩායම් ඕනෑ තරම් ඇති අතර සමහර අය ඒවා පිළියෙළ කිරීමට එකතු වෙති. වයසක අය පවා එකතු වෙති. එහෙමත් නැතිනම් ගෙදර දී ම සකසා ගනිති.
කියෙව් හි මිනිසුන්ට ජලය, පාන් සහ බෙහෙත් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නැති වී ඇත. සුපිරි වෙළඳසැල් සහ ෆාමසි අසල දිගු පෝලිම් තිබේ. බොහෝ අසල්වැසි ප්‍රදේශවල මිනිසුන් ආහාර පිළියෙළ කිරීමට, පාන් පිළිස්සීමට සහ අවශ්‍යතා ඇති පුද්ගලයින් සමඟ ඒවා බෙදා ගැනීමට කණ්ඩායම් සංවිධානය කරති.
රුසියානු හමුදාව විසින් සිදු කරන ලද විනාශය පිළිබඳ බිහිසුණු වීඩියෝ දර්ශන නිසා මිනිසුන් තවමත් කම්පනයට පත් වුවද, ඔවුන් සිනාසීම අමතක කර නැත. සමාජ මාධ්‍ය විහිළු කතා සහ මෙමේස් (උත්ප්‍රාසය පිරි හාස්‍යජනක කාටුන්) වලින් පිරී ඇත.
මිනිසුන් තම දෑතින් රුසියානු ටැංකි අල්ලාගෙන සිටින සහ අල්ලා ගත් රුසියානුවන්ට බැණ වදින ආකාරය පෙන්වන වීඩියෝ ඕනෑ තරම් තිබේ.
මෙම යුද්ධය අවසන් වන්නේ කෙසේදැයි නොදන්නා නමුත් මෙවැනි වීඩියෝ අපට බලාපොරොත්තුවක් ලබා දෙයි.
දැන් සංස්කාරකවරයෙකු ලෙස මගේ වැදගත්ම දෛනික චර්යාව වන්නේ මිනිසුන් ගණන් කිරීම සහ ඔවුන් ගැන සොයා බැලීමයි. ඔවුන් ආරක්ෂිතද, ඔවුන් කොහේද, ඔවුන් යන්නේ කොතැනටද? මම මෙය දිනකට දෙවරක් උදේ සහ සවස කරමි.
අපගේ ඔෆිස් චැට් එක ප්‍රවෘත්තිවලින් සහ "මට බෝම්බ වලින් ආරක්ෂා වීමට බංකරයකට යන්න ඕන! කවුරුහරි ලයිව් පේජ් එක භාර ගන්නවද?" වැනි පණිවිඩ වලින් පිරී තිබේ.
අපි හැමෝම දිවා රෑ වැඩ කරන්නෙමු. අපි පවුලේ අය සමඟ වෙනත් ස්ථානවලට යමින් මිසයිල වලින් ගැලවුණෙමු. අපගේ සජීවී පුවත් පිටුව දැන් දින පහක් පුරා ක්‍රියාත්මක වේ. මේ අපගේ ජීවිතයේ දුෂ්කරම හා භයානකම දින කිහිපය යි. මට මගේ සියලු රැකියා සගයන් ඔවුන්ගේ විශ්මිත සේවය වෙනුවෙන් වැළඳ ගැනීමට අවශ්‍යයි. එනමුත් මට එය නැවත කවදා හෝ කොතැනක දී කරන්නට හැකි වේදැයි මම නොදනිමි.











