සමලිංගික විවාහ නීතිගත කළ අග්නිදිග ආසියාවේ පළමු රට බවට තායිලන්තය පත්වෙයි

Gay couples in Thailand can register their unions from 22 January next year

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සමලිංගික විවාහ පිළිගත් අග්නිදිග ආසියාවේ පළමු රට බවට තායිලන්තය පත් කරමින්, එරට රජු විවාහ සමානාත්මතා පනත් කෙටුම්පතක් සඳහා අත්සන් තබා තිබේ.

මෙම කෙටුම්පත සඳහා ජූනි මාසයේදී සෙනෙට් සභාවේ අනුමැතිය ලැබුණු නමුත් එය නීතියක් බවට පත්වීමට රාජකීය අනුමැතිය අවශ්‍ය විය. අඟහරුවාදා රාජකීය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද එය ලබන වසරේ ජනවාරි 22 වන දා සිට ක්‍රියාත්මක වේ.

ක්‍රියාකාරීන් මෙම පියවර අගය කළේ එය ඓතිහාසික බව පවසමිනි. - එය විවාහ සමානාත්මතාව සඳහා වසර ගණනාවක් පුරා ගෙන ගිය සටනේ කූටප්‍රාප්තිය සනිටුහන් කරයි.

එවැනි ආකල්ප දුර්ලභ කලාපයක LGBTQ+ ප්‍රජාව සඳහා තායිලන්තය සාපේක්ෂව ආරක්‍ෂිත රටක් ලෙස දිගු කලක් තිස්සේ සැලකේ.

මෙම නව නීතිය යටතේ "සැමියන්", "භාර්යාවන්", "පිරිමි" සහ "කාන්තාවන්" වෙනුවට ස්ත්‍රී පුරුෂභාවය ඉස්මතු නොවන යෙදුම් භාවිත කරයි. තව ද එය සමලිංගික යුවළ වෙත දරුවන් හදා වඩා ගැනීමේ සහ දේපළ ආදිය සඳහා උරුමයේ අයිතිවාසිකම් ලබා දෙයි.

සමලිංගික විවාහ සඳහා නීතිමය පිළිගැනීමක් ලබා දෙන පනත් කෙටුම්පතක් පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීමත් සමග තායිලන්තය විවාහ සමානාත්මතාව වෙත තවදුරටත් සමීප වීමට ඓතිහාසික පියවරක් තැබීය.

නමුත් එය නීතියක් බවට පත් වීමට සෙනෙට් සභාවේ අනුමැතිය සහ රාජකීය අනුමැතිය අවශ්‍ය විය.

අදාළ රාජකීය අනුමැතිය හිමිවීමත් සමග සමලිංගික විවාහ පිළිගන්නා එක ම අග්නිදිග ආසියානු රට බවට තායිලන්තය පත් වනු ඇත.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

LGBTQ+ පිළිබඳ ආකල්ප දුර්ලභ කලාපයක එම යුවළවල් සඳහා සාපේක්ෂ වශයෙන් ආරක්‍ෂිත රටක් ලෙස තායිලන්තය දරන කීර්තිය එමගින් තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත.

"මේක තමයි සමානාත්මතාවයේ ආරම්භය. ඒක හැම ප්‍රශ්නෙකට ම උත්තරයක් නෙවෙයි. නමුත් ඒක සමානාත්මතාව සඳහා තියන පළමු පියවර," පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ විවාහ සමානාත්මතාව පිළිබඳ පහළ මන්ත්‍රී මණ්ඩල කමිටුවේ සභාපති දනූෆෝන් පුන්නාකන්ටා පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට පැවසීය. "මෙම නීතියට අවශ්‍ය මේ පුද්ගලයින්ට මේ අයිතිවාසිකම් නැවත ලබා දීමට මිස ඔවුන්ට අයිතිවාසිකම් ලබා දීමට නොවේ."

පැමිණ සිටි මන්ත්‍රීවරුන් 415න් 400 දෙනෙකු විසින් සම්මත කරන ලද මෙම නව නීතිය, විවාහය පුරුෂයෙකු සහ ස්ත්‍රියක අතර වෙනුවට පුද්ගලයන් දෙදෙනෙකු අතර හවුල්කාරිත්වයක් ලෙස විස්තර කරනු ඇත. තව ද එමගින් LGBTQ+ යුවළවලට විවාහක පුද්ගලයින්ට ලැබෙන බදු සහන, දේපළ අයිතිය සහ තම සහකරුවා හෝ සහකාරිය ශාරීරික හෝ මානසික දුර්වලතාවකින් පෙළෙන අවස්ථාවලදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කැමැත්ත පළ කිරීමට සමාන අයිතිවාසිකම් ලබා දෙනු ඇත.

මෙම නීතියට අනුව විවාහක සමලිංගික යුවළවලට ද දරුවන් කුලවද්දවා ගැනීමට හැකියාව ලැබේ. කෙසේ වෙතත්, "පියා සහ මව" වෙනුවට "දෙමව්පියන්" යන යෙදුම භාවිත කිරීමට කමිටුවේ යෝජනාව පහළ මන්ත්‍රී මණ්ඩලය සම්මත නොකළේ ය.

තායිලන්තයයේ දැනටමත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අනන්‍යතාව සහ ලිංගික දිශානතිය සම්බන්ධයෙන් වෙනස් කොට සැලකීම තහනම් කරන නීති ක්‍රියාත්මක අතර, එබැවින් එය ආසියාවේ වඩාත් ම LGBTQ+ ප්‍රජාව සඳහා මිත්‍රශීලී රටවලින් එකක් ලෙස සැලකේ.

නමුත් ඔවුන් සමලිංගික යුවළ විවාහ සමානාත්මතාවට මෙතරම් සමීප කිරීම සඳහා වසර ගණනාවක් පුරා සටන් කර තිබේ.

සමලිංගික විවාහ නීතිගත කිරීමට පසුගිය කාලයේ ගත් උත්සහයන් පුළුල් මහජන සහයෝගය තිබියදීත් අසාර්ථක විය. පසුගිය වසරේ අගභාගයේ කරන ලද රජයේ සමීක්ෂණයකින් පෙනී ගියේ, ඡන්දය ලබා දුන් අයගෙන් 96.6%ක් පනතට පක්ෂව සිටි බව ය.

"ඔව්, මම පාර්ලිමේන්තු විවාදය බලමින් හොඳ දෙයක් වේවි කියන බලාපොරොත්තු ඉන්නේ," යැයි තමන් සමලිංගික බව විවෘතව පිළිගන්නා 35 හැවිරිදි පොලිස් නිලධාරියෙකු වන ෆිසිට් සිරිහිරුන්චායි පවසයි. "ඒක ඇත්තට ම සිද්ධ වෙන්න යන නිසා මම සතුටින් වගේ ම දැනටමත් නොඉවසිල්ලෙන් ඉන්නේ. මගේ හීන හැබෑ වෙනවා දකින්න මම එන්න එන්න ම ළං වෙනවා."

වසර පහකට වැඩි කාලයක් එකට සිටි ඔහු සහ ඔහුගේ සහකරු මෙම නීතිය ක්‍රියාත්මක වන දිනයේ විවාහ වීමට සැලසුම් කරමින් සිටින බව ෆිසිට් පැවසීය.

"මට දැනෙන්නේ සමානාත්මතාව අද ඇති වෙලා වගේ. LGBTQI+ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන තායි පාර්ලිමේන්තුවට එය ඓතිහාසික දිනයක්," පසුගිය දශකය තුළ විවාහ සමානාත්මතාව සඳහා හඬ නැගූ විපක්ෂයේ එනම්, Move Forward පක්ෂයේ සමලිංගික මන්ත්‍රීවරයෙකු වන තුන්යාවාජ් කමෝල්වොන්ග්වාට් පැවසීය.

දේශපාලන පක්ෂ කිහිපයක් පසුගිය වසරේ මැතිවරණයට පෙර සිය මැතිවරණ ව්‍යාපාරයේ කොටසක් ලෙස සමලිංගික විවාහ පිළිගැනීමට පොරොන්දු විය. අග්‍රාමාත්‍ය ශ්‍රෙතා තවිසින් ද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී බලයට පත් වූ දා සිට ඒ සඳහා තමන් සහය දක්වන බව පැවසීය.

දෙසැම්බර් මාසයේදී, පහළ මන්ත්‍රී මණ්ඩලය සමලිංගික විවාහ පිළිගැනීම සඳහා යෝජිත පනත් හතරක් සම්මත කර ගත්තේ ය. ඉන් එකක් තවිසින්ගේ පරිපාලනය විසින් ඉදිරිපත් කරන ලද අතර තුනක් විරුද්ධ පක්ෂවලින් ඉදිරිපත් විය. පසුව මේවා තනි පනතක් බවට ඒකාබද්ධ කරන ලද අතර බදාදා පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරනු ලැබුවේ එය යි.

කෙසේ වෙතත්, තායිලන්තයේ වැඩි වශයෙන් සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවන් සිටීම නොතකා, මිනිසුන්ට ඔවුන්ගේ ලිංග අනන්‍යතාව වෙනස් කිරීමට ඉඩ දීමේ යෝජනා තායි පාර්ලිමේන්තුව මේ දක්වා ප්‍රතික්ෂේප කර ඇත.

සමලිංගික සම්බන්ධතා අපරාධයක් ලෙස සලකෙන ඇතැම් රටවල් ඇති අග්නිදිග ආසියාව තුළ තායිලන්තය තවමත් කැපී පෙනෙයි. ආසියාව තුළ ද එය සම්පූර්ණයෙන් ම පාහේ වෙනස් ය.

2019 වසරේදී තායිවානයේ පාර්ලිමේන්තුව සමලිංගික විවාහ නීතිගත කළ ආසියාවේ ප්‍රථම රට බවට පත් විය. නේපාලය සිය පළමු සමලිංගික විවාහය ලියාපදිංචි කළේ, පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊට පක්ෂව තීන්දුවක් ලබා දී මාස පහකට පසුව ය.

ඒ, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට එරෙහිව තීන්දුවක් ලබා දී මාසයකට පසුව ය. එහිදී සමලිංගික යුවළ සඳහා වැඩි නීතිමය අයිතිවාසිකම් ලබා දෙන්නේ ද යන තීරණය කිරීමට කමිටුවක් පත් කරන බව පැවසූ රජයට එම තීරණය ගැනීම භාර කෙරිණි.

සමලිංග විවාහ සඳහා ඇති තහනම ව්‍යවස්ථා විරෝධී බවට දිස්ත්‍රික් අධිකරණයක් මගින් තීන්දු කර ඇති ජපානයේ ද LGBTQ+ ප්‍රජාව විවාහ සමානාත්මතාව සඳහා ද සටන් කර ඇත. ඒ සම්බන්ධයෙන් සිදු කර ඇති මත විමසීම් ද ඊට ඇති මහජන සහයෝගය පෙන්වන නමුත් පාලක පක්ෂයේ සම්ප්‍රදායික අදහස් දරන ජ්‍යෙෂ්ඨයින්ගේ දැඩි විරෝධය නිසා එම උත්සහයන් අඩාල වී ඇත.

සිංගප්පූරුව 2022 වසරේදී සමලිංගික සේවනය තහනම් කරන ලද යටත් විජිත යුගයේ නීතිය අවලංගු කළ අතර, විවාහය යනු, පුරුෂයෙකු සහ ස්ත්‍රියක අතර සිදුවන්නක් ලෙස අර්ථ දැක්වීම සඳහා අධිකරණයට අභියෝග කිරීම වැළැක්වීමට එහි ව්‍යවස්ථාව ද සංශෝධනය කළේ ය.