සමලිංගික විවාහ නීතිගත කිරීම ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඔබ දන්නවා ද?

The debate was keenly watched in a country which is home to an estimated tens of millions of LGBTQ+ people

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, මිලියන ගණනක LGBTQ+ ජනතාවකගේ නිවහන බවට ඇස්තමේන්තුගත කර ඇති රටක මෙම විවාදය දැඩි ඕනෑකමකින් යුතුව නැරඹිණි

විවාහ සමානාත්මතාව අපේක්ෂා කරන මිලියන ගණනක LGBTQ+ පුද්ගලයින්ගේ බලාපොරොත්තු සුන් කරමින්, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගික විවාහ නීතිගත කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

සමලිංගික යුවළ සඳහා වැඩි නීතිමය අයිතිවාසිකම් සහ ප්‍රතිලාභ ලබාදීම සලකා බැලීමට කමිටුවක් පිහිටුවීමට රජය කළ යෝජනාව අධිකරණය ඒ වෙනුවට පිළිගත්තේ ය.

තීන්දුවෙන් ඔවුන් කලකිරීමට පත්ව සිටින බව ත් ඔවුන්ගේ සටන නොනවත්වා කර ගෙන යන බව ත්, ක්‍රියාකාරීහු සහ සමලිංගික යුවළ ප්‍රකාශ කළහ.

සමලිංගික යුවළ සහ ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් 21ක් අධිකරණය විසින් සලකා බලනු ලැබිණි.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් අප්‍රේල් සහ මැයි මාසවල දී පුළුල් ලෙස විභාග කෙරුණු අතර, ඒවා "මහජනතාවට නැරඹීම සඳහා සජීවීව විකාශය" කෙරිණි.

විවාහවීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝණය වී ඔවුන් "දෙවන පන්තියේ පුරවැසියන්" බවට පත්කර ඇති බවට පෙත්සම්කරුවන් තර්ක කර තිබුණි.

විවිධ ආගම්, කුල සහ රටවල පුද්ගලයන් අතර විවාහයට ඉඩ සලසන විශේෂ විවාහ පනතට සමලිංගික විවාහ ඇතුළත් කිරීම සඳහා, "පිරිමියා" සහ "කාන්තාව" වෙනුවට "කලත්‍රයා" යන්න ආදේශ කළ හැකි බවට ඔවුන් අධිකරණය වෙත යෝජනා කර තිබිණි.

රජය සහ ආගමික නායකයන් මෙම පෙත්සම්වලට දැඩි ලෙස විරුද්ධ වී තිබිණි. විවාහය පිළිබඳ වන මෙම සමාජයීය නෛතික ප්‍රශ්නය සාකච්ඡා කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව රජය අවධාරණය කර තිබූ අතර, සමලිංගික විවාහවලට ඉඩදීමෙන් සමාජය තුළ "අවුල්සහගත තත්ත්වයක්" ඇති වන බවට තර්ක කළේ ය.

නීතියක් සම්පාදනය කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව ත්, විනිසුරුවරුන්ට කළ හැක්කේ ඒවා අර්ථ නිරූපණය කිරීම පමණක් බව ත් පවසමින් විනිසුරුවරුන් රජයේ තර්කය සමග එකඟ විය.

සමලිංගික නොවන යුවළ සඳහා ඇති අයිතිවාසිකම් සහ වරප්‍රසාද "LGBTQ+ යුවළ සඳහා ලබාදීම" ගැන සලකා බැලීමට රටේ ඉහළ ම නිලධාරියාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවීමට සොලිසිටර් ජනරාල් තුෂාර් මෙහෙතා රජය වෙනුවෙන් කළ යෝජනාව ඔවුහු පිළිගත්හ.

The petitioners had argued that not being able to marry violated their constitutional rights

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විවාහවීමට නොහැකි වීමෙන් ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට පෙත්සම්කරුවන් තර්ක කර තිබිණි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අගවිනිසුරු ඩී.වයි. චන්ද්‍රචූද් ඇතුළු විනිසුරුවරුන් දෙදෙනෙක් එම සම්බන්ධතා සඳහා නෛතික පිළිගැනීමක් අවශ්‍ය බවටත්, සමලිංගික යුවළ සඳහා “විවාහකයන් භුක්ති විඳින ප්‍රතිලාභ” ලබා දීමටත් කැමැත්ත පළ කළහ.

අගවිනිසුරුවරයා රජයට දිගු උපදෙස් මාලාවක් ද කියවා, "LGBTQ+ ප්‍රජාවට" එරෙහි සියලු වෙනස්කම් අවසන් කිරීම සහතික කරන ලෙස ත්, හිරිහැර හා ප්‍රචණ්ඩත්වයෙන් ඔවුන් ආරක්ෂා කරන ලෙස ත් ඉල්ලා සිටියේ ය. "සමලිංගික සහ අවිවාහක යුවළවලට" එක හා සමානව දරුවෙකු හදාවඩා ගැනීමට හැකියාව තිබිය යුතු බව විනිසුරු චන්ද්‍රචූද් පැවසුවේ ය.

නමුත් ඉන් පසුව සියලු ම විනිසුරුවරුන් ඔවුන්ගේ තීරණ ප්‍රකාශයට පත් කළ අතර, ඔවුන්ගෙන් බහුතරයක් වූ විනිසුරුවරුන් තිදෙනෙකු ඔහුගේ උපදෙස් මාලාවට සහාය නොදැක්වූයෙන්, විනිසුරු චන්ද්‍රචූද්ගේ උපදෙස් , උපදෙස් ලෙස ම පමණක් පවතිනු ඇත යන්න පැහැදිලි විය.

නඩු විභාගය ආරම්භයේ දී සමලිංගික විවාහවලට ඉඩදීමෙන් ඉන්දියාව ඉතිහාසයට එක්වීමට ආසන්න බවක් පෙනෙන්නට තිබිණි.

ඔවුන් ආගමික නීතිවලට මැදිහත් නොවන නමුත් LGBTQ+ පුද්ගලයන් ඇතුළත් කිරීම සඳහා විශේෂ විවාහ පනත සංශෝධනය කිරීමට සලකා බලන බව පංච පුද්ගල ව්‍යවස්ථාපිත විනිසුරු මඩුල්ල පවසා තිබුණේ ය.

නමුත් නඩු විභාගය ඉදිරියට ඇදී යත් ම, කාරණය කෙතරම් සංකීර්ණ ද යන්න පැහැදිලි විය. එය දික්කසාදය, දරුවෙකු දරුකමට හදාවඩා ගැනීම, දේපළ යනාදියට උරුමකම් කීම, නඩත්තුව සහ වෙනත් ඒ ආශ්‍රිත ගැටලු නීති ගණනාවක් මඟින් පාලනය වන බවට ත්, ඒවායින් බොහොමයක් ආගමික නීති යටතට වැටෙන බවට ත් විනිසුරු මඩුල්ල තීරණය කළේ ය.

අඟහරුවාදා ලබා දුන් තීන්දුව ක්‍රියාකාරීන් සහ සමලිංගික යුවළ "කලකිරීමට" පත් කර ඇත.

"මම අද උදේ උසාවි ගියේ බලාපොරොත්තු ගොඩක් ඇතිව. නමුත් විනිසුරුවරුන් ඔවුන්ගේ තීන්දුව කියවද්දි මට විශාල කලකිරීමක් දැනුණා. මගේ බලාපොරොත්තු සුන් වුණා," සමලිංගික අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයෙකු වන ෂරීෆ් රන්ග්නේකර් බීබීසීයට පැවසීය.

"මෙය පිහිටුවන්නේ කවදා ද, ඒ හරහා අපට අයිතිවාසිකම් ලබා දෙන්නේ කවදා ද කියන එක ගැන කාල නියමයක් නැතිව ඒ හැමදේ ම රජයේ කමිටුවකට පැවරීමට ගත් තීරණයෙන්, රජය මොන වගේ කටයුතු කරාවි ද කියන එක ගැන අවිනිශ්චිතතාවක අපව අතරමං කරලා තියෙන්නේ. ඒක හරි ම කණගාටුවට කරුණක්."

වසර 34ක් පුරා සමලිංගික සම්බන්ධතාවක සිටින පියා චන්දා "ශ්‍රේෂ්ඨාධිකරණය බෝලය පාස් කරමින් සිටිනවා" යනුවෙන් බීබීසීය, වෙත පැවසුවා ය.

"මේ තීන්දුව මෙහෙම විකාර එකක් වේවි කියලා කියන්න පුළුවන් එකක්. වෙනස්කොට සලකන එකේ අඩුවක් වෙන එකක් නෑ," ඇය වැඩිදුරටත් පැවසුවා ය.

Attitudes to sex and sexuality remain largely conservative in India

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගිකත්වය පිළිබඳ ආකල්ප ඉන්දියාවේ බොහෝ දුරට ගතානුගතිකව පවතින්නකි

එම තීන්දුව බොහෝ දෙනාගේ ප්‍රසාදයට ද ලක්ව තිබේ.

සමලිංගික විවාහ නීතිගත කිරීමට එයට බලයක් නොමැති බවට රජය ඉදිරිපත් කළ තර්කය අධිකරණය පිළිගෙන තිබීම ගැන ඔහු සතුටු වන බව, ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ සංගමයේ සභාපති අදීෂ් අගර්වාලා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ය.

"ඒ අයිතිය තියෙන්නේ ඉන්දීය පාර්ලිමේන්තුවට විතරයි. අධිකරණය අප සමග එකඟ වීම ගැන අපි සතුටු වෙනවා," ඔහු තවදුරට ත් පැවසීය.

සමලිංගික විවාහවලට ඉඩ දීම "ඉන්දියාවේ පවතින ක්‍රමයට අනුකූල නොවන" බැවින් එය හොඳ අදහසක් නොවන බව, නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර අගර්වාලා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ය.

මිලියන ගණනක LGBTQ+ ජනතාවකගේ නිවහන බවට ඇස්තමේන්තුගත කර ඇති රටක මෙම විවාදය දැඩි ඕනෑකමකින් යුතුව නැරඹිණි. 2012 වසරේ දී ඉන්දීය රජය ඔවුන්ගේ LGBTQ+ ජනගහණය මිලියන 2.5ක් බවට ගණන් බලා තිබුණු නමුත්, ගෝලීය ඇස්තමේන්තු අනුව සිදුකර ඇති ගණනය කිරීම්වලින් පෙනී යන්නේ එය සමස්ත ජනගහනයෙන් අවම වශයෙන් 10%ක් (හෝ මිලියන 135) ඉක්මවා යන බව ය.

සමලිංගික යුවළ මෙම වැදගත් තීන්දුව මත ඔවුන්ගේ බලාපොරොත්තු තබා ගෙන සිටි අතර පෙත්සම් ජයග්‍රහණය කළහොත් තමන් විවාහවන බවට බොහෝ දෙනෙකු මීට පෙර බීබීසීයට පවසා තිබිණි.

ඉන්දියාවේ ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගිකත්වය පිළිබඳ ආකල්ප බොහෝ දුරට ගතානුගතිකව පවතින අතර, එම ප්‍රජාව දිගින් දිගට ම අපකීර්තියට හා වෙනස්කම්වලට මුහුණ දෙනු ඇති බව ක්‍රියාකාරීන් පවසයි.

නඩු විභාගය අතරතුර, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයෙකු වන මුකුල් රොහත්ගි, ව්‍යවස්ථාව යටතේ LGBTQ+ පුද්ගලයින් සමාන ලෙස පිළිගැනීමට සමාජයට ඇතැම් විට තල්ලුවක් අවශ්‍ය වන බව ත්, ඉහළ අධිකරණයේ තීන්දුව එම ප්‍රජාව පිළිගැනීමට සමාජය පොලඹවන බව ත් කියා සිටියේ ය.

නමුත් ඉන්දියාවේ LGBTQ+ ප්‍රජාවට එම තල්ලුව ඊයේ නොලැබිණි.